කන්තලේ සමූහ ඝාතනයේ පොලිස් නිලධාරීහු නිදහස් | දිනමිණ

කන්තලේ සමූහ ඝාතනයේ පොලිස් නිලධාරීහු නිදහස්

අනුරාධපුර මධ්‍යම විශේෂ

යුද සමයේ දී කන්තලේ භාරතිපුරම්හි දී නිරායුද සිවිල් දමිළ වැසියන් අට දෙනෙකු වෙඩි තබා මරාදැමූ බවට අනුරාධපුර මහාධිකරණයේ විභාගවන නඩුවේ ‍අධිචෝදනා ලැබ සිටි පොලිස් නිලධාරීන් පස් දෙනෙකුට එරෙහිව ප්‍රමාණවත් සාක්ෂි නොමැති නිසා ඔවුන්ව නිදොස් කොට නිදහස් කරන්නැයි උතුරු මැද පළාත්බද මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා නියෝග කළේය. ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි පොලිස් කොස්තාපල්වරුන් වන පොල්වත්තගේ ජයරත්න, ඒ.කේ.රම්ම්‍යසිරි, ඩබ්.එම්.බර්ටි සමරසිංහ, එස්.එම්.අජිත් සිසිර කුමාර, හා කේ.එම්. ලක්මිණි විජේබණ්ඩාර යන චූදිතයන් සියලු චෝදනාවන්ගෙන් නිදොස්කර මුදා හැරිණි.

ඔවුන්ට එරෙහිව නගා ඇති චෝදනාවන් ඔප්පු කිරීමට තරම් අධිකරණය හමුවේ ප්‍රමාණවත් සාක්ෂි නොමැති බව නිගමනය කළ විනිසුරුවරයා ඔවුන් මුදා හැරියේය.

මෙම සිද්ධියට චෝදනා ලැබ සිටින සේවයේ නියුතු ප්‍රධාන පොලිස් පරික්ෂකවරයකු උප පොලිස් පරික්ෂකවරයකු ඇතුළු සෙසු විත්තිකරුවන් හය දෙනාට ඇප ලබාදීම නැවතත් තරයේ ප්‍රතික්ෂේප කරමින් නඩුව නැවත විභාගයට ගන්නා මේ මස 31වැනි දා දක්වා ඔවුන්ව තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස විනිසුරුවරයා නියෝග කළේය.

තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කෙරුණේ නඩුවේ චූදිතයන් වන කේ.එම්. නිහාල් ප්‍රේමසිරි කෝනාර, ජී.ජී.තිස්ස බණ්ඩාර, ආර්. එම්. රණරාජා බණ්ඩාර, යාගම ලියනගේ සෝමරත්න, ටී.එස්.එම්. මයුරසේන, ආර්. ආර්.සෙනරත් බංඩාර මැදවෙළ‍ යන අයවළුන්ය.

ඝාතන නඩුවේ ප්‍රධාන විත්තිකරුලෙස නම්කර සිටින කේ.කේ.චන්ද්‍රරත්න බණ්ඩාර දීර්ඝකාලයක් තිස්සේ නඩු විභාගයට අධිකරණය හමුවේ පෙනී නොසිටීම නිසා ඔහු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කරමින් විනිසුරුවරයා විවෘත වරෙන්තු නිකුත් කළේය. නඩුවේ හත්වන විත්තිකරු වූ පොලිස් කොස්තාපල් කේ.කේ.දයාරත්න බණ්ඩාර සේවයේ නිරත වෙමින් සිටිය දී ත්‍රස්ත වෙඩි ප්‍රහාරයට ලක්වී ජිවිතක්ෂයට පත්වී තිබේ.

යුද්ධය පැවති 1998 වර්ෂයේ පෙබරවාරී මස 1 වන දින හෝ ඊට ආසන්න දිනයක දී අයුතු ජනරාශියක සමාජිකයන් වී නිරායුද දමිළ සිවිල් වැසියන් අට දෙනෙකු සිරකර තබා වදහිංසා පමුණුවා වෙඩිතබා මරා දැමීම ඇතුළු අධි චෝදනා 37ක් යටතේ එවකට සේවයේ නියුතුව සිටි පොලිස් පරික්ෂකවරයකු උප පොලිස් කොස්තාපල්වරුන් ඇතුළු ආරක්ෂක නිලධාරීන් ඇතුළු 13 දෙනෙකු මහාධිකරණය හමුවේ චෝදනා ලබා සිටි.

විත්තිකරුවන් කන්තලේ භාරතිපුරම් තඹලගමුව ප්‍රදේශයේ දී රාජකාරිය සඳහා නිකුත්කර තිබූ ස්වක්‍රීය ටී-56 වර්ගයේ ගිනි අවි,එල්.එම්.ජී අවි හා ස්වයංක්‍රීය පිස්තෝල යොදාගෙන පොන්නම්බලම් කනගසබේ, අමරතලිංගම් සුරේන්ද්‍රන්, අමරතලිංගම් ගජේනද්‍රන්, ආරුමුගම් සේගර්, කුණරත්නම් සිවරාජා, සුබ්‍රමනියම් තිවාකරන්, මුරුගේසූ ජනගන් හා නාගන් පවලනාදන් යන පුද්ගලයන්ගේ ඝාතනයන් සම්බන්ධයෙන් ප්‍රධාන පොලිස් පරික්ෂකවරයා ඇතුළු පිරිස අපරාධ පරික්ෂණ දෙපාර්තුමෙන්තුව මගින් සැකපිට අත්අඩංගුවට ගෙන ත්‍රීකුණාමලය මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත්කර තිබුණි.

ඝාතනයට භාවිතාකල බව කියන රාජකාරී සදහා නිකුත්කල ටී-56 වර්ගයේ ගිනි අවි 14ක්, චීනයේ නිෂ්පාදිත පිස්තොලයක්, රිවෝල්වරයක් හා එල්.එම්.ජී වර්ගයේ ගිනි අවි තුනක් සමඟ හිස් පිත්තල පතුරම් කොපු කිහිපයක් අපරාධ පරික්ෂන දෙපාර්තුමේන්තුව නඩු භාණ්ඩ වශයෙන් අත්අඩංගුවට ගෙන තිබුණි.

සිද්ධියෙන් අනතුරුව චූදිතයන් වැඩ තහනමට ලක්වී ඇති අතර පසුව පැවැති පරික්ෂණවලින් අනතුරුව ඔවුන් නැවත සේවයේ පිහිටුවා තිබුණි.පොලිස් අධිකාරීවරයකු පොලිස් නිලධාරින් හා සමාන්‍ය වැසියන් ඇතුළු පුද්ගලයන් 62ක් අධිකරණය හමුවේ විභාගවන නඩුවේ සාක්ෂිකරුවන් ලෙස නම්කර සිටි. 

 

නව අදහස දක්වන්න