රෝහල්වල පුහුණුව නොදෙනවා නම් අඛණ්ඩ වර්ජනයක් | දිනමිණ

රෝහල්වල පුහුණුව නොදෙනවා නම් අඛණ්ඩ වර්ජනයක්

සන්ධ්‍යා කරුණාරත්න

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සම සෞඛ්‍ය සිසුන්ට පේරාදෙණිය හා මහනුවර ශික්ෂණ රෝහල්වලින් සායනික පුහුණුව ලබාගැනීමට තවදුරටත් ඉඩ නොදෙන්නේ නම් පරිපූරක වෘත්තීයවේදීන් දීප ව්‍යාප්ත අඛණ්ඩ වැඩ වර්ජනයකට අවතීර්ණ වන බව රජයේ ඖෂධවේදීන්ගේ සංගමයේ සභාපති අජිත් පී. තිලකරත්න මහතා පවසයි.

නිදහස් අධ්‍යාපනය ආරක්ෂා කළ යුතු බවට රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය ප්‍රකාශ කළද රජයේ විශ්වවිද්‍යාලයකින් ඉගෙන ගන්නා මෙම සිසුන්ට ළඟම ඇති රජයේ රෝහල්වලින් සායනික පුහුණු ලබාදීමට එරෙහිව වෛද්‍යවරුන් ගෙනයන දෙබිඩි පිළිවෙත නිසා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සම සෞඛ්‍ය සිසුන්ට පේරාදෙණිය හා මහනුවර රෝහල්වල සායනික පුහුණුව ලබාගැනීම වසර 10ක් තිස්සේ නතරව පවතින බවත් එය හේතු කර ගනිමින් ඖෂධවේදීන්, වෛද්‍ය රසායනාගාර තාක්ෂණ විද්‍යා නිලධාරින්, භෞතචිකිත්සක හා වෘත්තීය චිකිත්සක නිලධාරින් ඊයේ (6) ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ සංකේත වැඩ වර්ජනය තාවකාලිකව අත්හිටවූ බවත් ඒ මහතා පැවැසුවේය.

රෝහල්වල අධ්‍යක්ෂවරුන් සමඟ කළ සාකච්ඡාවෙන් පසුව ඉදිරි සති දෙක තුන ඇතුළත විසඳුමක් ලබාදීමට ඔවුන් එකඟ වූ බවත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ බලධාරීන් මැදිහත්ව මේ ගැටලුව විසඳීමට ඉදිරි සතිය තුළ ක්‍රියා කළ යුතු බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

මෙම සිසුන්ට පසුගිය කාලයේදි කුරුණෑගල, ගම්පොළ, කෑගල්ල, කොළඹ රෝහල්වලින් සායනික පුහුණුව ලබාදීම සඳහා ප්‍රවාහන ගාස්තු ලෙස රුපියල් මිලියන 60කට වැඩි මුදලක් වියදම් කිරීමට පේරාදෙණිය විශ්වවිද්‍යාලයට සිදු වී තිබේ.

පසුගිය මාසය තුළ රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ සාමාජිකයන් ද සහභාගි වූ රැස්වීම් දෙකකදීම මේ සිසුන්ට පේරාදෙණිය හා මහනුවර රෝහල්වලින් සායනික පුහුණුව ලබාදීමට වෛද්‍යවරුන් එකඟතාව පළ කළද පුහුණුව සඳහා රෝහල්වලට ගිය විකිරණ විද්‍යා ශිෂ්‍යයන් 10ක් නැවත හරවා යැවීමට රෝහල්වල බලධාරීන් කටයුතු කර ඇති බව ද ඔහු පැවසුවේය. 

නව අදහස දක්වන්න