ජී 20 අර්බුද මැද්දේ ලොක්කෝ හමුවෙති | දිනමිණ

ජී 20 අර්බුද මැද්දේ ලොක්කෝ හමුවෙති

ධම්මික සෙනෙවිරත්න

මෙවර සමුළු න්‍යාය පත්‍රයේ ප්‍රමුඛ කාරණා ලෙස පවතිනු ඇත්තේ දේශගුණික විපර්යාස පිළිබඳ ප්‍රශ්නය, නිදහස් වෙළෙඳාම සහ සංක්‍රමණික ප්‍රශ්නය බව ජර්මන් චාන්සලර්වරිය පවසා තිබිණි. මේ මූලික කාරණා සම්බන්ධයෙන් පවා ට්‍රම්ප් පාලනය සහ යුරෝපා සංගමය අතර ඇත්තේ බරපතළ වෙනස්කමකි. දේශගුණික විපර්යාස පිළිබඳ කාරණයේදී ජනාධිපති ට්‍රම්ප් සහ යුරෝපා සංගමය සිටින්නේ අන්ත දෙකකය.

ලෝක ආර්ථික බලවතුන් විසිදෙනාගේ කණ්ඩායම හෙවත් ජී - 20 වාර්ෂික සමුළුව ජර්මනියේ හැම්බර්ග් නගරයේදී ඊයේ ආරම්භ විය. එය අද දින ද පැවැත්වේ. මෙය 12 වෙනි සමුළු වාරයයි. ජර්මනිය, ප්‍රංශය, චීනය,රුසියාව, ජපානය, ඔස්ට්‍රේලියාව, බ්‍රසීලය,කැනඩාව,ආජන්ටිනාව, ඉන්දියාව,ඉන්දුනීසියාව ඉතාලිය, මෙක්සිකෝව, සවුදි අරාබිය, අප්‍රිකාව සහ ද. කොරියාව, තුර්කිය, එක්සත් රාජධානිය, එක්සත් ජනපදය යන රටවල රාජ්‍ය නායකයෝ ඊට සහභාගිවී සිටිති. ඒ හැරුණුවිට නිත්‍ය ආරාධිතයකු ලෙස ස්පාඤ්ඤ ය ද සමුළුව නියෝජනය කරයි. 20 වැනි සාමාජිකයා වන්නේ යුරෝපා සංගමය (EU) නිරීක්ෂණ මට්ටමින් ආරාධිත රාජ්‍යයන් ලෙස ගිනියාව, නෙදර්ලන්තය, නෝර්වේ, සෙනෙගාලය, සිංගප්පුරුව සහ වියට්නාමයද ඊට සහභාගිවන අතර එක්සත් ජාතීන්ගේ සංවිධානයද ඇතුළුව විවිධ අන්තර් ජාතික සංවිධාන කිහිපයක්ද ආරාධිත මට්ටමින් ඊට එක්ව සිටී.

මේ වසර ආරම්භයේදී පැවැති අටදෙනා‍ගේ කණ්ඩායම හෙවත් ජී. 8 සමුළුවට වඩා මෙය පුළුල් මෙන්ම වැදගත්කමින්ද වැඩිය. ජී. 8. රුසියානු සාමාජිකත්වය ක්‍රිමියානු අර්බුදය මුල්කර ගනිමින් අත්හිටුවා තිබුණද රුසියාව ජී. 20 ට සහභාගි වේ. ලෝකයේ සමස්ත දළ ජාතික නිෂ්පාදනයෙන් 85% කට හිමිකම් කියන්නේ ජී. – 20 රටවල්ය. එමෙන්ම එහි ලෝක ජනගහනයෙන් 2/3ක්ම නියෝජනය වේ.

ජී - 20 පිහිටුවා ගැනුණේ 1999 වසරේදී බර්ලින් නුවරදීය. ආරම්භක අවධියේදී සාමාජික රටවල මුදල් අමාත්‍යවරු සහ මහ බැංකු අධිපතීන් ඊට සහභාගි වුවද 2008 වස‍රේදී අමෙරිකාවේ ලීමන් බ්‍රදර්ස් බංකොලොත්වීමත් සමඟ ඇරැඹි ලෝක ආර්ථික අර්බුදය රාජ්‍ය නායක මට්ටමේ සහභාගිත්වයක් ඇතිව එය පැවැත්වීමට තරම් බලපෑවේය.

අමෙරිකාවේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ජර්මන් චාන්සලර් ඇන්ජලා මර්කල් අතර හමුවක්, ට්‍රම්ප්ගේ පරිසර ප්‍රතිපත්තිය ගැන මර්කල් කළ තියුණු විවෙචනයෙන් පසු සිදුවන පළමු අවස්ථාව මෙයයි. ට්‍රම්ප් බලයට පත්වූ පසු ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් හමුවන පළමු අවස්ථාව මෙය වන නිසාද එය වැදගත්ය.

මෙවර සමුළු න්‍යාය පත්‍රයේ ප්‍රමුඛ කාරණා ලෙස පවතිනු ඇත්තේ දේශගුණික විපර්යාස පිළිබඳ ප්‍රශ්නය, නිදහස් වෙළෙඳාම සහ සංක්‍රමණික ප්‍රශ්නය බව ජර්මන් චාන්සලර්වරිය පවසා තිබිණි. මේ මූලික කාරණා සම්බන්ධයෙන් පවා ට්‍රම්ප් පාලනය සහ යුරෝපා සංගමය අතර ඇත්තේ බරපතළ වෙනස්කමකි. දේශගුණික විපර්යාස පිළිබඳ කාරණයේදී ජනාධිපති ට්‍රම්ප් සහ යුරෝපා සංගමය සිටින්නේ අන්ත දෙකකය. පැරිස් සම්මුතියට අත්සන් නොකර සිටීමට ජනාධිපති ට්‍රම්ප් ගත් තීරණය බටහිර රටවලද විවේචනයට ලක්ව තිබිණි. ට්‍රම්ප්ගේ ආර්ථික ප්‍රතිපත්තිය ජාතිකවාදී එකක් බව ප්‍රකාශ වී තිබේ. එයද යුරෝපා සංගමයේ නිදහස් ආර්ථික ප්‍රතිපත්තියට වෙනස් ය. සංක්‍රමිණකයන් පිළිබඳ කාරණයේදී ජර්මන් චාන්සලර්වරිය සංක්‍රමණිකයන් මිලියනයකට එරටට ඇතුළුවීමට ඉඩ දී ඇති අතර ජනාධිපති ට්‍රම්ප් සියලුම මුස්ලිම් සංක්‍රමණිකයන් සඳහා තහංචි පනවා තිබේ.

ජර්මන් චාන්සලර්වරිය සහ අමෙරිකා ජනාධිපතිවරයා අතර ඉකුත් මාර්තු මස සිදුවූ පළමු හමුවේදී ට්‍රම්ප් මර්කල්ට අතට අත දීමෙන් වැළැකී සිටියේය. ජර්මනියට එරෙහිව ජනාධිපති ට්‍රම්ප් අවස්ථා කිහිපයකදීම අදහස් දක්වා තිබේ. ජනාධිපතිවරණ ව්‍යාපාරයේදී ද ඔහු එසේ කළේය. ඔහු විවේචනය කළ එක් කාරණයක් නම් ජර්මනිය සිරියානු සරණාගතයන් භාරගැනීමට ක්‍රියා කිරීමය. තවත් අවස්ථාවක යුරෝපා සංගමයේ නිලධාරීන් හමුවේ ඔහු කියා සිටියේ ජර්මනිය වෙළෙඳාමේදී ඉතාමත් නරක අන්දමින් ක්‍රියා කර ඇති බවය. නිදහස් වෙළෙඳාම සහ පරිසරය පිළිබඳ ජනාධිපති ට්‍රම්ප්ගේ ප්‍රතිපත්ති විවේචනය කරමින් ජර්මන් චාන්සලර්වරියද අවස්ථා කිහිපයකදීම අදහස් දක්වා තිබේ. ඉකුත් සතියේදී ජර්මන් පාර්ලිමේන්තුව අමතමින් ඇය කියා සිටියේ මේ ලෝකයේ කවර හෝ ජාතියක් හුදෙකලාව හෝ ආරක්ෂණවාදී ලෙස ගැටලු විසඳාගැනීමට වෑයම් කරන්නේ නම් එය විශාල වරදක් වනු ඇති බවය. මර්කල් මෙම ප්‍රකාශය මඟින් ඉලක්ක කළේ කවුරුන්දැයි වටහාගැනීම අසීරු නොවේ.

ජී - 20 හැම්බර්ග් සමුළුව පැවැත්වෙන්නේ මෙවැනි වියවුල්සහගත පසුබිමකය. න්‍යාය පත්‍රයේ ඇතුළත් කිසිදු ප්‍රමුඛ කාරණයක් සම්බන්ධයෙන් එහිදී ජන්ද විමසීමක් සිදුවන්නේ නැත. එහෙත් එකිනෙකා අතර පවතින මතවාදීමය හා ප්‍රතිපත්තිමය වෙනස්කම් එහිදී දිගහැරෙනු ඇත.

සමුළුව පැවැත්වෙන හැම්බර්ග් නගරය ජර්මනියේ දෙවන විශාලතම නගරයයි. එහි දැඩි ආරක්ෂක විධිවිධාන සලසා ඇත. සමුළුවට විරෝධය පළකරමින් සංවිධානාත්මක විරෝධතා ව්‍යාපාර කිහිපයක්ම දියත්ව තිබේ. හැම්බර්ග් නගරයට රැස්වූ විරෝධතාකරුවන්ට ජල ප්‍රහාර එල්ල කර විසුරුවා හැරීමටද පොලිසිය පියවර ගත්තේය. එහිදී කිහිපදෙනකු තුවාල ලැබූ අතර තවත් කිහිපදෙනකු අත්අඩංගුවට ගැනිණි.

විරෝධතාකරුවන් රහසිගත අවි සඟවා තිබීමට ඉඩ ඇති බවට පොලිසිය චෝදනාවක්ද නැඟීය. මේ විරෝධතා ක්‍රියාමාර්ගවලට එක්ව සිටින්නේ ජර්මන් ජාතිකයන් පමණක් නොවේ, විවිධ රටවලින් එහි පැමිණි මතවාදී විරෝධීන් මෙන්ම මධ්‍යම පාංතික කොටස්ද එහි දැකිය හැකිය. පොලිසිය අපේක්ෂා කළේ විරෝධතාකරුවන් 5000ක් පමණ එහි සිටිනු ඇති බවයි. එහෙත් එමෙන් දෙතුන් ගුණයක් එහි රැස්ව සිටිති. ජර්මන් අභ්‍යන්තර කටයුතු ඇමැති තෝමස් ඩී මයි ෂියරේ අනතුරු අඟවා සිටියේ ජී - 20 ට එහි විරෝධතා ප්‍රචණ්ඩ මුහුණුවරක් ගැනීමට ඉඩ ඇතැයි තොරතුරු ලැබී ඇති බවය. ඊට මුහුණදීමට හැකිවන පරිදි 15,000ක පොලිස් බල ඇණි යොදවා ඇති බවද ඔහු පැවසීය. සමුළුව කඩාකප්පල් කිරීමට විරෝධතාකරුවන් ක්‍රියා කරනු ඇතැයි රජයට තොරතුරු ලැබී තිබුණු බව ප්‍රකාශ විය. ඇතැම්විට නගරයේ මර්මස්ථාන විරෝධතාකරුවන් විසින් අත්පත්කරගනු ලැබීමට පවා ඉඩ තිබූ බව පැවසේ.

මෙම වි‍රෝධතා ක්‍රියාමාර්ග සාමකාමීව දියත්ව තිබියදී පොලිස් ප්‍රහාර එල්ල වූ බවට විරෝධතාකරුවන් චෝදනා කර තිබේ. අවසර ලබාදී ඇත්තේ විරෝධතා 30 කට පමණක් බව පොලිසිය ප්‍රකාශ කර ඇත. චාන්සලර්වරිය ඉල්ලීමක් කරමින් විරෝධතා සාමකාමීව කරන ලෙස පවසා තිබිණී. විරෝධතා හිංසාකාරී අතට යොමුකිරීමෙන් ප්‍රජාතන්ත්‍රවාදයට සරදම් නොකරන්නැයි ඇය අවවාදාත්මක ස්වරූපයෙන් දන්වා ඇත.

විරෝධතාකරුවන් නගර වීදිවල මෙන්ම ඇළ මාර්ගවලදී ද දැකගත හැකි විය. ඇළ මාර්ගවල බෝට්ටුවලින් ගමන් කරමින් ද විරෝධතාකරුවෝ මීට එක්ව සිටිති. ගෝලීයකරණයට එරෙහිව හඬනඟන ඔවුන්ගේ ප්‍රධාන සටන් පාඨය වී ඇත්තේ “ජී - 20 අපායට සාදරයෙන් පිළිගනිමු!” යන්නය. ඔවුන්ගෙන් එක් කණ්ඩායමක් නිකුත් කළ ප්‍රකාශයක සඳහන් වූයේ නව හා පැරැණි ධනේශ්වර පාලකයන්ට එරෙහි ප්‍රතිරෝධ යේ කේන්ද්‍රස්ථානය බවට හැම්බර්ග් පත්කිරීම සඳහා එක්වන ලෙස සමස්ත ලෝකයාගෙන් ඉල්ලා සිටින බවය.

අඟහරුවාදා රාත්‍රිය වනවිට විරෝධතාකරුවන් සහ පොලිසිය අතර ගැටුම් ඇතිවිණි. විරෝධතාකරුවන් විසුරුවා හැරීම සඳහා පොලිසිය ජල ප්‍රහාරවලට අමතරව ගම්මිරිස් කුඩු ද භාවිත කළේය.

ග්‍රීන්පීස් සංවිධානයද විරෝධතාවයට එක්ව සිටින අතර ඔවුන් අහස නැංවූ බැලුන්වල ‘පළමුව මිහිතලය’ යනුවෙන් සඳහන්ව තිබිණි. එමඟින් ඔවුන් පිළිබිඹු කළේ අමෙරිකා‍වේ දේශගුණික විපර්යාස පිළිබඳ ප්‍රතිපත්තියට ඇති විරෝධයයි.

“අපි ජී - 20 දිහා බලා සිටිනවා. ප්‍රතිඵලයක් නොලැබුණොත් ඊළඟට ජී - 19 පැරිස් සම්මුතිය ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් පෙරට යා යුතුයි.” එසේ පවසා සිටියේ ග්‍රීන්පීස් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ ජෙනිෆර් මෝර්ගන්ය.

හැම්බර්ග් ගුවන් තොටුපොළ සහ සමුළුව පැවැත්වෙන පරිශ්‍රයද ආවරණය වන පරිදි වර්ග කි. මී 38 ක ප්‍රදේශයක් ආරක්ෂිත ප්‍රදේශයක් බවට පත්කර තිබේ. විරෝධතාකරුවන් එහි ඇතුළුවීම වැළැක්වීමට කටයුතු කර ඇත. ආරක්ෂිත ප්‍රදේශයේ පදිංචිකරුවන්ගෙන් විරෝධතාකරුවන් ඉල්ලා සිටින්නේ බැනර් සහ කොඩි ඔසොවා වි‍රෝධය පළකරමින් තමන් සමඟ එක්වන ලෙසය.

තම විරෝධතා ක්‍රියාමාර්ග සාමකාමී ඒවා බව ග්‍රීන්පීස් සංවිධානය කියා සිටී. Peace යන්න තම සංවිධානයේ නාමයේම ඇති දෙයක් බව පවසන ඔවුන් මේ සමඟ හිංසාව පටලවා ගැනීමට වෑයම් කිරීම ලජ්ජාසහගත බව කියා සිටී. එමඟින් සිදුවන්නේ දේශගුණික විපර්යාස ඇතුළු අනෙකුත් කාරණා පිළිබඳ ඇති අවධානය වෙනතකට යොමුවීම බවද ග්‍රීන්පීස් විධායක අධ්‍යක්ෂවරයාගේ අදහසය.

මීට පෙර ජර්මනියේදී ජී - 8 සමුළුව 2007 වර්ෂයේදී පැවැත්වෙනවිට සහ ජී - 7 සමුළුව 2015 දී පැවැත්වෙනවිටද මේ අන්දමින් විරෝධතා පැන නැඟිණි. ඊට අමරව ලෝක කම්කරු දිනයේදී ද විරෝධතාකරුවන් සහ ‍පොලිසිය අතර ගැටුම් ඇතිවිය.

මෙවර සමුළුව පැවැත්වෙන අතරතුර මහජන රැලියක් පැවැත්වීම සඳහා තුර්කි ජනාධිපති ටයිප් චර්ඩොගාන් විසින් කර තිබූ ඉල්ලීමක්ද ජර්මන් බලධාරීන් ප්‍රතික්ෂේප කර තිබිණි. ඊට හේතුව වශයෙන් ඔවුන් දක්වා තිබුණේ ජර්මනියේ කුර්දි ජාතිකයන් විශාල සංඛ්‍යාවක් සිටින නිසා ඔවුන්ගෙන් විරෝධයක් එල්ලවිය හැකි බවයි.

සමුළු න්‍යාය පත්‍රයේ ප්‍රමුඛ අවධානය යොමුව ඇති මාතෘකාවලට අමතරව ඉකුත් 04 වැනිදා උතුරු කොරියාව සිදුකළ මිසයිල අත්හදාබැලීමද සාකච්ඡාවකට ලකුණු පළවී තිබිණි. අමෙරිකාව, ජපානය සහ දකුණු කොරියාව මේ පිළිබඳ සාකච්ඡා කිරීමට නියමිත විය.

අමෙරිකාවේ හිටපු ජනාධිපති බැරක් ඔබාමා සිය පාලන සමය තුළ වෑයම් කළේ අමෙරිකානු ආර්ථික න්‍යාය පත්‍රයට බරව ජී - 20 හැසිරවීමටය. වත්මන් ජනාධිපති ට්‍රම්ප් එහිදී ක්‍රියාකරනු ඇත්තේ කෙලෙසදැයි හැම්බර්ග්හිදී පැහැදිලි වනු ඇත.

අදහස් 1ක් ඇත

Search barayehi , type kararana deya swayankreeyawa sinhlata pariwarthanaya weemata sakasannenam wada yogya yai ma sithami .

නව අදහස දක්වන්න