කෙටුම්පතක්වත් නැතිව සාකච්ඡා පමණක් කෙරෙන ව්‍යවස්ථාවකට මේ තරම් කලබල විය යුතු නෑ | දිනමිණ

කෙටුම්පතක්වත් නැතිව සාකච්ඡා පමණක් කෙරෙන ව්‍යවස්ථාවකට මේ තරම් කලබල විය යුතු නෑ

රාජ්‍ය ඇමැති ලක්ෂ්මන් සෙනෙවිරත්න

ලොව ඇති එකම සිංහල බෞද්ධ රට ශ්‍රී ලංකාව බවත් ව්‍යවස්ථාපිතව තහවුරු කර ඇති බුදු දහමට ඇති ස්ථානය වෙනස් කිරීමට දුන්නොත් ඒ අය ජාතිද්‍රෝහීන් වන බවත් විද්‍යා තාක්ෂණ හා පර්යේෂණ රාජ්‍ය ඇමති ලක්ෂ්මන් සෙනෙවිරත්න මහතා පැවසීය.

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්බන්ධ කෙටුම්පතක් හෝ නොමැතිව සාකච්ඡා පමණක් සිදු කෙරෙන බවත් ඒ සම්බන්ධයෙන් විවිධ අය පවසන කතා සම්බන්ධයෙන් කලබල විය යුතු නැති බවත් හෙතෙම අවධාරණය කෙළේය. රටේ අනෙක් අය මෙන්ම තමන්ද ගෙවත්තේ කසළ ප්‍රතිචක්‍රිකරණය නොකර ඉවත දමන බවත් කසළ කොළඹ ගොඩ ගැසෙන්නේ කසළ දැමීමට ඉඩනොදී දේශ සීමා වෙන් කරගෙන ඇති නිසා බවත් මෙහිදි ඇමතිවරයා සඳහන් කෙළේය.

කොළඹ කර්මාන්ත තාක්ෂණ ආයතනයේ ශ්‍රවණාගාරයේ පැවැති හමුවට එක්වෙමින් රාජ්‍ය ඇමති සෙනෙවිරත්න මහතා එම අදහස් පළකෙළේ ය.

එහිදී ඇමතිවරයා වැඩිදුරටත් මෙසේ ද සඳහන් කෙළේය.

ලබන මාසේ වන විට ශ්‍රීලනිපයේ 18 දෙනෙක් ඒකාබද්ධ විපක්ෂයේ වාඩි වන බව කියනවා. මේ කරන්න යන්නෙ කුමක්ද ශ්‍රීලනිපය දෙකට කැඩීමක්ද එසේ වුණොත් තවත් අවුරුදු පහළොවකට විස්සකට වැඩි කාලයක් විරුද්ධ පක්ෂයේ සිටීමට සිදුවේවි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තෛනිකායික ස්වාමීන්වහන්සේලා හමුවේ ප්‍රකාශ කළ දේ අපි රටක් ලෙස ගරු කළ යුතු යි.

ඒ අනුව ව්‍යවස්ථාවේ තහවරු කර ඇති අයුරින් බෞද්ධාගමට ඇති ස්ථානය වෙනස් නොකරන බව ජනාධිපතිතුමා පැවසුවා. මේ රට සිංහල බෞද්ධ රටක් බව අපි හැමෝම පිළිගන්නවා. ලොව ඇති සිංහල බෞද්ධ එකම රට මෙය .එය වෙනස් කිරීමට අපි කිසිවෙක් කැමති වෙන්නේ නැහැ.

කිනම් ආකාරයෙන් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් පිළිබඳ විවිධ අය කතා කළත් එවැනි කෙටුම්පතක් හෝ මේ වන තෙක් ඉදිරිපත්ව නැති නිසා සම්බන්ධයෙන් කතා කිරීමෙන් පලක් නැති බවයි මගේ හැඟීම.

පළාත් පාලන මැතිවරණය පැවැත්වීම පිළිබඳ කටයුතු ලබන ඔක්තෝබර් 31 දක්වා විෂයට අදාළ ඇමතිවරයා කල්දමා තිබෙනවා. මීට හේතුව ඒ සම්බන්ධ ගැටලු තවමත් නිරාකරණය වී නැති නිසයි. කෙසේ වුවත් ලබන සතියේ මැතිවරණයක් පැවැත්වුවත් ඒ සඳහා අප සූදානම්. කසළ ගැටලුව විසඳීමට අසීරු වී ඇත්තේ දේශසීමා වෙන් කරගෙන තිබෙන නිසායි.

ගැටලුවට නිසි විසඳුමක් ලෙස දේශීය ශ්‍රීලාංකික පුද්ගලයෙකු ඉදිරිපත්කළ යෝජනාවක් මත දේශීය දැනුමෙන් නිර්මාණයක් මේ වන විට නිපදවෙනවා. එය සාර්ථක වුණොත් කසළ ප්‍රතිචක්‍රිකරණය සිදුකිරීමට හැකි වෙනවා. එවිට මේ කසළ ගැටලුව නිරාකරණයකර ගැනීමට හැකිවේවි. මේ කසළ ගැටලුව මීට බොහෝ කලකට පෙර විසඳන්න තිබුණේ. එසේ වූවානම් මීතොටමුල්ල, කරදියාන, බ්ලූමැන්ඩල් ප්‍රදේශවල කසළ ටොන් ලක්ෂ ගණන් රැස්වෙන්නෙ නැහැ. අපි ඒ කසළ මත හිටගෙන සිටියා. විසඳුම් සෙවිමට උත්සහ කළේ නැහැ. ව්‍යවස්ථා කිමිටුවේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්බන්ධයෙන් තවමත් සාකච්ඡා වෙනවා පමණයි . මාධ්‍ය පනත සම්බන්ධයෙනුත් තවමත් සාකච්ඡා වීම පමණයි සිදුවන්නේ.

අපේ රටේ මාධ්‍ය කාර්ය භාරය නිසි පරිදි සිදුවෙනවාද? මාධ්‍යට රටක් ගොඩනැඟීමත් විනාශකිරීමත් දෙකම කළ හැකියි. අපේ මාධ්‍යට රට වෙනුවෙන් බොහෝ දේ කළ හැකියි. ඒ දේ කරන්න කියා මා ඉල්ලා සිටිනවා.

මම හිතන්නේ නැහැ 18 දෙනෙක් ඉවත්ව ඒකාබද්ධයේ ඉඳගනීවි කියා. කෙසේ වුවත් එසේ වුවොත් වෙන්නේ ශ්‍රී ලනිපය කෑලිවලට කඩා දැමීමක්. අපි කලබල වෙලා ඉන්නෙ ණය ගෙවන් නොහැකිවයි.

රටත් පාලනය කිරීමේ දී හැමෝම එකඟ නැතත් යම් යම් තීන්දු ගන්න සිදු වෙනවා. නිවසකත් පියා ගන්නා සෑම තීන්දුවකටම දරුවන් එකඟ නොවුණත් අනාගත සුබසිද්ධිය සඳහා තීන්දු ගන්නවා.

රටක නායකයෙකුට ජනප්‍රිය තීන්දු ගන්න බැහැ. නමුත් තීන්දුවකදී සෑම පාර්ශ්වයක්ම විරුද්ධ නම් ඒ සම්බන්ධයෙන් සොයා බැලිය යුතුයි.

බුද දහම භික්ෂූන්වහන්සේලා අපේ මුදුන් මල්කඩ. භික්ෂූන් වහනසේලාට මම නිරන්තරයෙන් ගරු කරනවා. කිසිවිටෙක දොස් කියන්නැහැ. රාජ්‍ය නායකයාත් ගරු කළ යුතුයි. ජනාධිපතිතුමාත් භික්ෂූන්වහසේලාට ඇහුම්කන් දෙනවා. ගරු කරනවා. මේ රට සිංහල බෞද්ධ රටක්. මෙය විනාශවන කිසිවකට අප එකඟවෙන්නෙ නැහැ. ජනධිපතිතුමා තමන් බලයේ සිටින තුරු කිසිම ලෙසකින් බුදු දහමට ඇති ස්ථානය වෙනස් කිරීමට ඉඩ නොදෙන බව තෛනිකායික හිමිවරුට පැවසීම ඉතා වැදගත්.

චන්ද්‍රිකා මැතිනියගේ කාලෙත් එකක වැඩි බලයෙන් සිටි ආණ්ඩුව වැටෙයි කියා බලා සිටියත් එය වුණේ නැහැ. මේ කියන ලෙස ආන්ඩු වැටෙනවා නම් අද රටවල්වලට මේ අයුරින් ඉදිරියට යන්න බැහැ.

චන්ද්‍රිකා පෙරේරා 

 

නව අදහස දක්වන්න