පමණ දැන සීනි | දිනමිණ

පමණ දැන සීනි

සිනී යනු,නිවෙසකට නැතිවම බැරි දෙයකි. ඒත්,ඕනෑවට වඩා ඒවා ආහාරයට ගැනීම, ශරීර සෞඛ්‍යයට එතරම් හොඳ නැත .සිනී යනු අස්වාභාවික මෙන් ම, නූතන තාක්ෂණය මඟින් නිපදවා ඇති පිරිපහදු ආහාරයකි.(තන්තු ආදී ද්‍රව්‍ය ඉවත් කර, පිරිසුදු තත්ත්වයට ගෙන එන ලද ආහාර) පොදුවේ සලකන විට සියලු ම පිරිපහදු ආහාර වර්ග ශරීර සෞඛ්‍යයට ගුණදායක නොවේ.

පලතුරක් අනුභව කළවිට එයින් ඇති වන රුධිර සිනී නැගීම ඉතා අඩු ය. ඒ පලතුරේම ඇති මදය ගෙන, ද්‍රවීකෘත කර පානය කළහොත්, එයින් ඇතිවන රුධිර සිනී නැගීම ඊට වඩා වැඩි ය. පලතුරේ ඇති සීනි උකහා පිරිසුදු කර අනුභව කළහොත්,රුධිර සිනී නැගීම ඉතාමත් වැඩි ය.

දිනකට තේ කෝප්ප 5ක් හෝ 6ක් හෝ පානය කරන්නකුට, ඒ සෑම කෝප්පයකටම සීනි තේ හැඳි තුන හතරක් මුසුකර ගන්නේ නම්, ඒ මඟින් සිරුරට ඇතුළු වන සිනී ප්‍රමාණය අහිතකර ප්‍රතිඵල උදා කරයි. රසායනික විශ්ලේෂණ මඟින් පැහැදිලි වනුයේ, කවර පැණි රසක් වුව,අවසාන පලය ලෙස සිරුර තුළ ග්ලුකෝස් නිපදවන බව ය. එබැවින් සිනී පැණි රස ය. පහත දක්වා ඇත්තේ පැණි රස ආහාර වර්ග කිහිපයක අඩංගු කැලරි ප්‍රමාණයන් ය.

සුදු සිනී ග්‍රෑම් 100ක කැලරි 390 , මී පැණි මිලි ලීටර් 100 ක කැලරි 300 , කිතුල් පැණි මිලි ලීටර් 100 ක කැලරි 230 ,හකුරු ග්‍රෑම් 100 ක කැලරි 340 ,චොක්ලට් ග්‍රෑම් 100 ක කැලරි 550 ක් ද , ටොෆි ග්‍රෑම් 100 ක කැලරි 400 ක් ද අන්තර්ගත වේ. සිනී තේ හැඳි එකක කැලරි 15 ක් අඩංගු වී ඇත. විස්කෝතුවක සිනී තේ හැඳි 1- 1 1/2 ක් ද, කේක් පෙත්තක සීනි තේ හැඳි 4ක් ද, අයිස් ක්‍රීම් කෝප්ප ( 1/2) ක සිනී තේ හැඳි 10ක් ද, සිසිල් බීම වීදුරුවක සිනී තේ හැඳි 3 1/2ක් ද අන්තර්ගතව ඇත.

දියවැඩියා රෝගීන් සඳහා නිෂ්පාදනය කරන ලද චොක්ලට් වර්ගවල,සෝබිටෝල් සංයෝගය අඩංගු ය. සෝබිටෝල්වල කැලරි බොහෝ ප්‍රමාණයක් අඩංගු වී නොමැති නිසා ඒවා දියවැඩියා රෝගීන්ට හිතකර ය.

උපදෙස් - ජාතික රෝහලේ හෘද රෝග විශේෂඥ වෛද්‍ය රුවන් ඒකනායක

- මදාරා මුදලිගේ

නව අදහස දක්වන්න