මට අවශ්‍ය හොඳ නිර්මාණ කරන්නයි | දිනමිණ

මට අවශ්‍ය හොඳ නිර්මාණ කරන්නයි

තරංග අතුරලිය

තරංග අතුරලිය ශ්‍රී ලංකාවේ කලා ක්ශේත්‍රය සමඟ සම්බන්ධවන නවක නිෂ්පාදකයන්ගේ ලැයිස්තුවේ ඉහළ සිටින තරුණයෙක් ලෙස හඳුන්වා දිය හැකිය. සේයා චිත්‍රපටයේ නිෂ්පාදකයා ලෙස කරලිගතවන හෙතෙම ඉන් අනතුරුව අප හමුවන්නේ නාලක විතානගේගේ අධ්‍යක්ෂණයෙන් හැඩ වන සරුංගල් චිත්‍රපටයේ නිෂ්පාදකවරයා ලෙසටය. සරුංගල් හමාරවන්නටත් ප්‍රථම අතිදැවැන්ත පිරිවැයක් යොදමින් චරිත් අබේසිංහගේ අධ්‍යක්ෂණයක් වන මිණිගංදෑල නම් කලාත්මක ටෙලි නාට්‍යයට නිෂ්පාදනයෙන් දායකවන තරංග ඉදිරියේදී තවත් චිත්‍රපට කිහිපයක් නිර්මාණය කිරීමට මේවනවිට සැලසුම් සකසමින් සිටී. අපේ රටේ DVD චිත්‍රපට ක්ෂේත්‍රයේ නමක් රැන්දූ නීරෝ වීඩියෝ ආයතනයේ සම හිමිකරු වන තරංග අද අප සමඟ කතාබහට එක්වෙයි. නිෂ්පාදකයකු ලෙස තමා සැලසුම් කරන ගමන් මඟ පිළිබඳත් අපේ රටේ වර්තමානයේ DVD වෙළෙඳපොළ ගැනත් අපි තරංග සමඟ කතාකරමු.

l තරංග මුලින්ම අපි මේ ගමන ඇරඹූ තැනට යමු.

කුඩා කාලයේ ඉඳලම මගේ ශරීරය ඇතුලෙ කලාව කියන විෂය ජීවත්වුණා. පාසල් කාලයේදීත් මම කලාවට ආශාවෙන් හිටිය චරිතයක්. මෙහෙම කලක් ගතවුණා. උසස් අධ්‍යාපනයට පස්සෙ මම තාත්තාගෙ ව්‍යාපාරය සමඟ එකතුවුණා. ව්‍යාපාරය වෙනුවෙන් වෙහෙසුණා. මෙහෙම පසුබිමකදී තමයි මට මගේ ව්‍යාපාරික මිතුරෙක් චිත්‍රපට සඳහා නිෂ්පාදකයකු ලෙස එක්වන්නට ආරාධනා කරන්නෙ. ඔහු මගේ ඉතාමත් සමීප මිත්‍රයෙක්. ඒ නිසා මම ඒ වෙනුවෙන් දායකත්වය ලබාදුන්නා. කුඩා කාලයේ සිටම කලාවට ඇළුම්කළ මම චිත්‍රපට ක්ශේත්‍රයට පාතබන්නෙ අහම්බෙන්.

l චිත්‍රපට කර්මාන්තය කියන්නෙ අද අතුරෙ යනවා වගේ වැඩක්. .

නමුත් මට ආරාධනා කල ව්‍යාපාරික මිතුරා කවදාවත් නරක දෙයකට මට කතා කරන්නෙ නෑ කියල මට විශ්වාසය තිබුණා. ඒ වගේම කලාවට මගේ හිතේ ඇති ආදරය මේ ගමනට මට පෙරැත්ත කළා. තව දෙයක් අපි ඕනෑම ව්‍යාපාරයකට හෝ ආයෝජනයක් වෙනුවෙන් මුදල් යොදවද්දී ඒ ගැන හොඳ අධ්‍යයනයක් තිබිය යුතුයි කියල මම විශ්වාස කරනවා. ඒ නිසා මේ ගමන ගැන මට විශ්වාසයය. අපි නිතරම කලාව වෙනුවෙන් පවතින යමක් කරන්නට උත්සාහ ගන්නවා. ඒක තමයි අරමුණ. අරමුණ හොඳනම් ගමන වරදින්න විදිහක් නෑ.

l ඔබේ පළමු චිත්‍රපටය සේයා. .

ඔව් කල්‍යාණ චන්ද්‍රසේකර තමයි සේයා අධ්‍යක්ෂණය කළේ. සේයා ඉතාම ඉක්මනින්ම ප්‍රදර්ශනය වීමට නියමිතයි

l ඔබ ඊළඟට සරුංගල් හදනවා. .

සරුංගල් පිටපත කියෙව්වාම මට තේරුණා මේ චිත්‍රපටය අපේ ප්‍රේක්ෂකයා ආසාවෙන් රසවිඳී කියල. නාලක විතානගේ එම පිටපත ඉතාමත් රසට ලියල තිබුණා. ඒ වගේම සරුංගල් වෙනස්ම කතාවක්. චරිත් අබේසිංහ සහ චමත්කා ලක්මිණි තමයි ප්‍රධාන චරිත මවන්නෙ. නාලක ඉතා දක්ෂ තරුණ අධ්‍යක්ෂවරයෙක්. මම ඔහු සමඟ චිත්‍රපටය කිරීමට තීරණය කළා. මම හිතනවා මේ මොහොතෙ අපේ තරුණ ජවය එකට එකතුවිය යුතුයි කියල. ඒ නිසා අපි ඉතා සාර්ථකව චිත්‍රපටය නිමා කළා. ඉතාමත් ඉක්මනින් අපට එට ප්‍රේක්ෂකයන් අතරට ගෙනයන්නට හැකිවේවි.

l මිණිගංදෑලට පාර කැපෙන්නෙ සරුංගල් හරහා නේද. .

ඔව්. . සරුංගල් චිත්‍රපටයේ ප්‍රධාන නළු භූමිකාව අපූරුවට කළ චරිත් අබේසිංහ තමයි මිණිගංදෑලේ අධ්‍යක්ෂවරවයා. අපි සරුංගල් අතරතුර මේ ගැන කතාබහ කළා. ඒ වනවිට චරිත්ගේ නිර්මාණය මම දැකල තිබුණා. ජූලියා, ජූලි 7යි, වගේ චිත්‍රපට මෙන්ම මෑත කාලයේ රූපවාහිනිය වටා ප්‍රේක්ෂකයන් එක් කළ මහරජ ගැමුණු 01 ටෙලිනාට්‍යය තුළ චරිත්ගේ නිර්මාණශීලී හැකියාවන් මනාව පෙන්නුම් කරල තිබුණා. චරිත් මේ කතාව මට කිව්වම මම ඒ වෙනුවෙන් නිශ්පාදනය කරන්නට තීරණය කළා. මෙම කතාව රචනා කරන්නෙ ප්‍රියාල් වීරසිංහ. ඔහුත් පරිණත පිටපත් රචකයෙක්. මේ හේතුකාරණා නිසා අපි මේ වැඩේට අත තිබ්බ. මිණිගංදෑල වෙනස් කතාවක්. කැළණි මිටියාවතේ යුග තුනක කතාව තමයි මේ ටෙලිනාට්‍යය පුරා විහිදෙන්නෙ. අති විශාල පිරිවැයක් මේ සඳහා දරන්න වුණත් මම මේ කටයුත්ත සිදුකරනවා. ඉස්සෙල්ල කිව්ව වගේ මෙයත් තරුණයන්ගේ එකමුතුවක්.

l DVD ව්‍යාපාරය සමඟ සම්බන්ධවෙන්නෙ කොහොමද. .

මම මෙම ව්‍යාපාරය සමඟ සම්බන්ධවෙලා දැනට වසර පහළොවක් විතර වෙනවා. ඒ හරහා ලංකාවේ ප්‍රේක්ෂකයන්ට නව රසවින්දනයක් ලබාදෙන්න තමයි අපි සැලසුම් කළේ. ඒ . පාරිස්ටර් මහතා තමයි මේ ව්‍යාපාරය සුළුවට ආරම්භ කළේ. ඉන් අනතුරුව අපි එකතුවෙලා මේ ව්‍යාපාරය පුළුල් කළා. අද වනවිට ලංකාවේ අංක එකේ DVD ව්‍යාපාරික ආයතනය බවට පත්වන්නට අපට හැකිවෙලා තිබෙනවා. මේ ආයතන මඟින් අපේ රටේ කලාවර විශාල සේවාවක් සපයනවා. මේක වෙනම ව්‍යාපාරයක්.

l එදා තිබුණ ඉල්ලුම අද DVD චිත්‍රපට සඳහා තිබෙනවද. .

ඕනෑම දෙයාකට ඉල්ලුම තිබෙන්නෙ ටික කාලයයි. ඒ ඒ දේවල් ක්ෂණිකව යාවත්කාලීන වෙනවා. ඉස්සර ඩී. වී. ඩී වලට තිබුණු මාර්කට් එක අද නෑ. නමුත් සතුටුදායක මට්ටමක තිබෙනවා. ලාභයට වඩා අපේ අරමුණ හොඳ නිර්මාණ රසිකයන්ට තිළිණ කිරීම. එම කටයුත්තට සරිලන ලාභයක් අප ලබනවා.

අද වනවිට තාක්ෂණය ඉතා දියුණුයි. ඒ නිසා ඩී. වී. ඩී වලට වඩා උසස් ප්‍රමිතිගත දේවල් අද ලෝකය භාවිත කරනවා. පෙන් ඩ්‍රයිව් එකක ෆිල්ම් දහයක් විතර දාන්න පුළුවන්. ඉතින් මේ කරුණු ගත්තම අපි අප්ඩේට් වෙන්න ඕනෙ කාලෙ ඇවිල්ල. ඒ නිසා ඉහළම තාක්ෂණය ප්‍රයෝජනයට ගනිමින් උසස් ප්‍රමිතියෙන් යුතු නිර්මාණ රසිකයන්ට දායක කරන්නට අප සැලසුම්කොට තිබෙනවා. අප කරන්නෙ ලෝකය සහ අපේ නිර්මාණ සම්බන්ධීකරණ කිරීම පමණයි.

l අපේ රටේ DVD සම්බන්ධයෙන් පවතින නීතිය ගැන මොකද හිතන්නෙ.

ඇත්තෙන්ම මෙතෙක් අප ලැබූ අත්දැකීම් අනුව නීතිය ඉතාමත් හොඳින් ක්‍රියාත්මකවී තිබෙනවා. අපේ ඇතැම් පුද්ගලයන් නිර්මාණයක වටිනාකම් දන්නෙ නැහැ. ඒ නිසා තමයි මේ ගැටලු ඇතිවෙනෙ. අද වනවිට DVD බිස්නස් එකෙන් ජීවත්වන පිරිස ඉතා ඉහළයි. මේ හැමෝම තමන්ගේ ජීවිතය ගෙවන්නෙ නිර්මාණ බිහිවන නිසා. අප නිරතුරුවම ඒ පිළිබඳ සිතීම වැදගත්. ව්‍යාපාරයක් නීතිමය කටයුතු වලින් සග ගැටලු වලින් තොරව පවත්වාගැනීම තමයි සාර්ථක.

l ඔබ සමජ සුබසාධන කටයුතුවල ක්‍රියාකාරීව නිරතවන බව ආරංචියි

මේ හැමදෙයක්ම තාවකාලිකයි. අපි මිනිස්සු විදියට ඉපදුණාම මිනිස් සමාජයට සේවයක් කළ යුතුයි. ඒ අරමුණ ඇතුව වැඩසටහන් කිහිපයක් දියත් කරනවා. උතුරු කොළඹ මහවත්ත ආසනයේ දරුවන් දහසකට වසරකට අවශ්‍යය පාසල් උපකරණ සහ පොත් නොමිලේ ලබාදීමට මම කටයුතු කරනවා. ඉදිකිරීම් ක්ෂෙත්‍රයේ නියැලී මා ලබන මුදලින් ඒ හැමදේම ඉතාමත් තෘප්තිමත් ආකාරයෙන් සිදුකරනවා.

l දේශපාලනයට සක්‍රීයව දායක වෙන්නද සැලසුම් කරන්නෙ

ඔව්. මේවනවිටත් මම දේශපාලනයට සම්බන්වෙලයි ඉන්නෙ. කොළඹ නාගරික මන්ත්‍රීවරයකු ලෙස මම දේශපාලනයට පිවිසුණා. අදටත් දේශපාලනය සමඟ සක්‍රීයව කටයුතු කරනවා. ඒ හරහා ජනතාවට සහනයක් ලබාදෙන්න මම බලාපොරොත්තු වෙනවා. තරුණ දේශපාලනඥයකු ලෙස රටට කලාවට සේවය කිරීම තමයි මගේ අරමුණ.

l නිර්මාණය කිරීමට වඩා ඒවා විකාශය කිරීම අපහසු බවට බොහෝ නිෂ්පාදකයන් මැසිවිලි නඟනවා.

ඔව් අපේ රටේ එහෙම ප්‍රබල ගැටලුවක් තිබෙනවා. නමුත් එහෙමයි කියල හරසුන් බාල නිර්මාණ තැනීම ඒකට විසඳුමක් නොවෙයි. අපේ නිර්මාණය ගැන ඕනෑම තැනක තර්කානුකූලව කතා කරන්නට හැකිනම් අපි සාර්ථක වේවි. මම හිතන්නෙ එහෙමයි. ප්‍රදර්ශනයයේදී මතුවන ගැටලු විසඳාගැනීමට මූලික අදියරේදීම සැලසුම කිරීම ඉතා වැදගත්.

l ඉදිරියේ මොනවද කරන නිර්මාණය

නිර්මාණය කිහිපටක් ඇරඹීමට මේ වනවිට සාකච්ඡා පවත්වමින් යනවා. නාලක විතානගේ අධ්‍යක්ෂණය කරන වෙනස්ම හැඩයක් සහ කතා තේමාවක් රැගත් චිත්‍රපට මගේ ඊළඟ නිෂ්පාදනය වේවි. ඒ වෙනුවෙන් මේ දිනවල මූලික සැලසුම් සිදුකරමින් පවතිනවා. ඒ වගේම මිණිගංදෑල රූගතකිරීම් මේ දිනවල සිදුවෙනවා. මිණිගංදෑල දැවැන්ත ටෙලි නිර්මාණයක්. ප්‍රධාන පෙළේ නළු නිළියන් 60ක් විතර ඒ සඳහා දායක වෙනවා. ඒ කටයුතු වෙනුවෙන් තමා මේ දිනවල වෙහෙසෙන්නෙ.

l බලාපොරොත්තුව මොකක්ද කලාව පැත්තෙ. .

ඉහළ මට්ටමක නිර්මාණ අපේ රසිකයාට තිළිණ කිරීම තමයි බලාපොරොත්තුව. කවදාකහෝ මගේ නිශ්පාදනයකින් මේ රටට කෑන්ස් සම්මානයක් ගෙනඒම තමයි මගේ හීනය

චතුර ගීතනාත් බණ්ඩාර
ඡායාරූප -නිරෝෂ් ප්‍රියංක 

නව අදහස දක්වන්න