මහින්දගේ හිටපු රියදුරා 18 තෙක් රිමාන්ඩ් | දිනමිණ

මහින්දගේ හිටපු රියදුරා 18 තෙක් රිමාන්ඩ්

මඟ නැඟුමේ යන්ත්‍රෝපකරණ සමාගමේ මුල්‍ය වංචාවක් සිදු කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින මහින්ද රාජපක්ෂ මහතාගේ හිටපු රියදුරු හා පුත්තලම ප්‍රාදේශීය සභාවේ හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා තවදුරටත් ලබන මස 18 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් චානිමා විජේබණ්ඩාර මහත්මිය ඊයේ (11) නියම කළාය.

මෙසේ බන්ධනාගාරගත කරනු ලැබුවේ පුත්තලම ප්‍රාදේශීය සභාවේ හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී එම්.ලාල් ප්‍රියන්ත පිරිස් මහතා හා රියදුරු කැප්ටන් තිස්ස විමලසේන යන අයයි.

සැකකරුවන්ට කවර කොන්දේසි මත හෝ ඇප ලබා දෙන ලෙසට මෙහිදී නීතිඥයන් කරන ලද ඉල්ලීම ප්‍රතික්ෂේප කළ මහෙස්ත්‍රාත්වරිය සැකකරුවන් තවදුරටත්මේ මස 18 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළාය.

තවද එක් එක් සැකකරුවන්ට කවර පනත් මඟින් චෝදනා ගොනු කරන්නේ ද? යන්න සම්බන්ධයෙන් වාර්තාවක් කැඳවීමට අධිකරණය පොලිසිය වෙත මෙහිදී නියම කෙළේය.

මෙහිදී දෙවන සැකකරු වන හිටපු පුත්තලම ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයා සිද්ධිය සම්බන්ධයෙන් පාපොච්චාරණයක් සිදු කිරීමට අවස්ථාව ලබාදෙන ලෙසට කරණු ලැබූ ඉල්ලීම සම්බන්ධයෙන් ප්‍රතිචාර දැක්වූ මහෙස්ත්‍රාත්වරිය පවසා සිටියේ තවදුරටත් කල්පනා කර බලන ලෙසය.

2011 වර්ෂයේ මඟ නැඟුම මාර්ග ඉදිකිරීම් යන්ත්‍රෝපකරණ සමාගම විසින් අයථා අන්දමින් ඇමරිකානු ඩො‍ලර් 679753ක් වැය කර කොන්ක්‍රීට් ඇතිරීම, මිලියන 10ක් වැය කර ස්කැවෙටර් යන්ත්‍රයක් මිල දි ගැනීම එම යන්ත්‍රයෙන් කඩුවෙල කොරතොට වත්ත ඉඩමේ පිහිටි කළු ගලක් කැණීම් කටයුතු සඳහා සැකකරු වෙත ලබා දීම යන චෝදනා මත මුල්‍ය අපරාධ කොට්ඨාසය විසින් සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කර තිබිණ.

2011 අංක 92,900 කොන්ක්‍රිට් ජේටර් රථයක් ඇඩින් ඉන්ටනැෂනල් ආයතනය මඟ නැඟුමට මිල දී ගැනීම රු 73,907,243.55 ගෙවා ඇති ඉහත ආයතනය මෙම රථයට 36,506,995.35 ඇස්තමේන්තු කර එම මුදල රුපියල් 37.370,248.00 වැඩිපුර ගෙවා මඟනැගුම බැංකු ගිණුමෙන් ලබා ගෙන මුදල් අක්‍රමිකතා සිදු කිරීම හා ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ඩෙන්ජරස් කාගෝ ඇහිරිමක් සම්බන්ධයෙන් රුපියල් 1,096,000 මඟ නැඟුම මාර්ග ඉදිකිරීම ශ්‍රී ලංකා වරායට නොගෙවීම යන සිද්ධි සම්බන්ධව ද මුල්‍ය අපරාධ කොට්ඨාසය හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ රියදුරු කැප්ටන් තිස්ස විමලසේන යන අය හා පුත්තලම ප්‍රාදේශීය සභා හිටපු මන්ත්‍රි එම්.ලාල් ප්‍රියන්ත පිරිස් යන අය අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

සිරන්ජනි කුමාරි

නව අදහස දක්වන්න