මීතොටමුල්ලේ ජීවිත හානියකට රු. මිලියනයක් | දිනමිණ

මීතොටමුල්ලේ ජීවිත හානියකට රු. මිලියනයක්

කසල කන්ද කඩා වැටීමේදී, මට චෝදනා කරපු මාධ්‍ය වලට යට වුනා නම් අද මේ ජීවිත හානියකට වෙන් වුන ලක්ෂ 10 වත් ලැබෙන්නෙත් නැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් මහතා පවසයි.

හෙතෙම මෙම අදහස් පළ ක‍ළේ මීතොටමුල්ල කසල කන්ද හේතුවෙන් සිදුවූ එක් ජීවිතහානියක් සදහා රුපියල් ලක්ෂ 10 බැගින් වූ රජයේ වන්දි මුදල ප්‍රදානය කිරීමේ අවස්ථාවකට කොළොන්නාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී එක් වෙමින්ය.

"මේ කසල කන්ද කඩන් වැටුණු දවස් වල මට නොබැනපු කෙනෙක් නෑ. සමහර අන්තර්ජාල භාවිතා කරන්නන් වගේම ඇතැම් මාධ්‍ය ආයතනත් පෙන්නුවේ අපි කරන්න තියෙන ලොකුම පාපකර්මය කලා වගේ කියලයි.සමහරුන් කිසිම දෙයක් දන්නේ නැතිව මට මඩ ගැහුවේ ඒ මරණ 32 මං කළා වගේ කියලයි. අපි දේශපාලන නායකත්වය ගන්නවානම් ප්‍රශ්නවලට මුහුණ දෙනවා මිසක් ප්‍රශ්න වලින් පැනලා යන්නේ නෑ. සමහර බංකොළොත් දේශපාලන පක්ෂ සුදු කොඩි ඔසවන්න ඕන තැනට කළු කොඩි ගෙනල්ලා තමන්ගේ දේශපාලනය මල ගෙදර කරන්න ගියා. ඒ අයට කරන්න පුළුවන් උසි ගැන්වීම් හා කදුළු විකුණන එක විතරයි. නමුත් මං දන්නවා. ඔය උණු කදුළු හත්දවසේ දානේ ඉවර වෙලා දවස් 10 ක් යනකොට උන්නාද මළා ද , කන්න ලැබෙනවාද , වන්දි ලැබෙනවාද , ගෙවල් ලැබෙනවාද , මේ කුණු කන්ද ප්‍රතිචකීරණය කරන්න පුළුවන්ද කියලා බලන්න කවුරුවත් නෑ අන්තිමට කරගහන්න වෙන්නේ මට තමයි කියලා. එදා මට චෝදනා කරපු ෆේස්බුක් සහ ඇතැම් ජනමාධ්‍ය ආයතනවලට යට වුනා නම් අද මේ ජීවිත හානියකට වෙන් වුන ලක්ෂ 10 ලැබෙන්නෙත් නෑ. මෙච්චර ඉක්මනට ගෙවල් ලැබෙන්නෙත් නෑ. පසුගිය අගහරුවාදා මං තරයේම කිව්වා තුන්මාසේ දානේට කලින් මේ ජීවිත හානි වන්දි මුදල දෙන්න ඕනේ කියලා. අගමැතිතුමා මහා භාණ්ඩාගාරයට උපදෙස් දුන්නා ඒ අනුව ඉක්මනින් මුදල් ලබා ගන්න පුළුවන් වුනා.

ඒවගේම කුණු කන්ද විරෝධි ව්‍යාපාරයක් එක්ක සාකච්ඡා කළා,  මේ සිදුවීමට වැරදිකරුවන්ට දඩුවම් ලබා දෙන්න කියලා ‍ශ්‍රේෂ්ඨාධිකරණයට යන්න . එතුමන්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට යන්න සහයෝගය මං ලබා දෙනවා. නැතිනම් මං හරි ශ්‍රේෂ්ඨාධිකරණයට යනවා. දැනට මේ කසල කන්දේ සිදුවීම සම්බන්ධව ජනාධිපතිතුමා පත් කරපු කොමිෂන් සභාවෙන් මං ස්වේඡාවෙන් ඉල්ලීමක් සාක්ෂි ලබා දෙන්න පුළුවන් කියලා මටත්. අනිවාර්යයෙන්ම මේ ජීවිත 32 කින් වන්දි ගෙවන්න සිදුකරපු අයට තරාතිරම නොබලා දඩුවම් දිය යුතුය යන ස්ථාවරයේ අපි දැඩිව ඉන්නවා.."

 

නව අදහස දක්වන්න