ජූනි වැටුප අඩු කළැයි වතු කම්කරු උද්ඝෝෂණයක් | දිනමිණ

ජූනි වැටුප අඩු කළැයි වතු කම්කරු උද්ඝෝෂණයක්

ආගරපතන, හුට්හීල්වත්තේ, බ්‍රේමෝර් කොටස වතු කම්කරුවන් පිරිසක් පෙරේදා (10) දින උද්ඝෝෂණයක නිරත වූහ. ඔවුන්ගේ පසුගිය මාසයේ වැටුප අඩුකර ඇතැයි පවසමින් මේ විරෝධතාව පැවැත්විණි.

වතු පාලන අධිකාරි‍යේ උපදෙස් මත මෙසේ වැටුප් අඩුකොට සකසා ඇති බවත් ඊට අමතරව වර්ෂාව පවතින මේ දිනවල නියමිත තේ දළු කිලෝ 18 කැඩිය නොහැකි බවත් පවසමින් ඔවුහු එම වත්තේ දළු එකතු කරන මධ්‍යස්ථානය අසලට එක්රැස්වී මෙසේ විරෝධතාවයේ යෙදිණි.

තමන්ට සාධාරණයක් ඉටුකරදීමට වතු පාලක පක්ෂය පියවරගත යුතු යැයි කියමින් පැවැති මේ විරෝධතාව සඳහා වතු කම්කරුවන් 100ක පමණ පිරිසක් එක්ව සිටියහ.

උද්ඝෝෂණය පැවැති ස්ථානයට පැමිණි වතු වෘත්තීය සමිති නියෝජිතයන් සහ වතු අධිකාරිවරයා අතර පැවැති සාකච්ඡාවකින් පසු මේ ගැටලුවලට විසඳුම් ලබාදීමට වතු පාලන අධිකාරිය එකඟවීමත් සමඟ වර්ජනය අත්හල කම්කරුවෝ දෛනික වැඩවල නිරතවූහ.

නුවරඑළිය සමූහ - සී. මහගම
ඡායාරූපය - නුවරඑළිය සමූහ

 


නව අදහස දක්වන්න

Or log in with...