කෙටි කවිය මගේ ආත්මය වගේ | දිනමිණ

කෙටි කවිය මගේ ආත්මය වගේ

උපේක්ෂා ප්‍රේමතිලක

සයිබර් අවකාශය තුළ මුදු අධ්‍යාත්මික ස්වරයකින් කවි සිත්තම් කළ ඈ, ජීවිතේ දේදුන්න දකින්නට 'පළිඟු කැට' නමින් ස්වකීය පළමු කාව්‍ය සංග්‍රහය මුද්‍රිත කෘතියක් ලෙස සහෘද සම්මුඛයට රැගෙන ආවා ය. ඒ, 2012 වසරේදී ය. ඉනික්බිතිව අඛණ්ඩව සයිබරීය අවකාශය තුළ මෙන් ම ඉන් පිටත ද කාව්‍යමය අල්ලාප සල්ලාපයෙහි නියැළී සිටි, 'සුසුම් නාඳුනන අප දෙදෙන' නමින් දෙවැනි කාව්‍ය සංග්‍රහය අප අතට පත් කරන ඈ උපේක්ෂා ඉමාලි ප්‍රේමතිලක ය. එළැඹෙන ඇසළ මහේ 15 වැනි දා සවස 3.00 ට ජාතික පුස්තකාල සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේ දී සුසුම් නාඳුනන්නියගේ කාව්‍යමය කල්පනා සහෘදගත වේ. මේ ඒ නිමිත්තෙන් කළ කෙටි සංවාදයකි.

* කොහොමද කවිය ඔබේ ජීවිතයට සමීප වෙන්නෙ? කවිය සමඟ වන ආත්මීය ගනුදෙනුවේ ඇරැඹුම කොතැනද?

මම පුංචි කාලෙ ඉඳලා කවි ලිව්වා. ඒකට බලපාන්න ඇත්තේ නිරන්තර පොත් කියවීම. කොහොමත් මම නිහඬව ඉන්න කැමැති කෙනෙක්. හිතට එන සිතුවිලි ඉබේම වගේ කවිවලට හැරවුණා .

* බොහෝ විටමත් නෙවෙයි හැම විටම වගේ මුලින්ම ඔබේ කවියට පියාපත් පැළඳෙන්නෙ සයිබර් අවකාශය තුළ. ඉන් අනතුරුවයි එය මුද්‍රිත කෘතියක් ලෙස සහෘද පාඨක ප්‍රජාවට පිරිනැමෙන්නෙ. සයිබර් අවකාශය තුළ කවියට ලැබෙන ඉඩ ගැන ඔබේ අත්දැකීම සහ හැඟීම කෙබඳුද?

මම කවි ලියන්නේ මුහුණු පොතේ. මගේ වෝල් එකේ සහ ‘වලාකුළු අතර හිඳ’ සමූහයේ. මගේ පළමු පොත දක්වාත්, එතැනින් පසු දෙවැනි පොත දක්වාත් අඩුපාඩු හදාගෙන ඉස්සරහට එන්න සයිබර් අවකාශය මහඟු පිටිවහලක් වුණා. ඒ එක්කම නිරන්තර පුහුණුවීම් මඟින් මගේ කවිය ඔප මට්ටම් වුණා කියලා මට හිතෙනවා. මගේ කවිවලට බොහෝ ප්‍රමාණයේ ලයික්, කමෙන්ට්ස් වැටෙන්නේ නැහැ. ඒත්, ඒවා කියවා අදහස් සපයන පිරිසක් ඉන්නවා. ඒ අදහස්වලින් මම පෝෂණය වෙනවා.

* ජපන් හයිකු කවිය පිළිබඳ අදහස් දක්වන ඩොරති බ්‍රිටන් කිවිඳිය වරෙක සඳහන් කරනවා, එය ‘මහ සමුදුරක සිතුවිලි ගුලි කරගෙන සිටින සිහින් බෙලි කටුවක් වගෙයි‘ කියා. ඔබත් කෙටි කවිය බෙහෙවින් ඇලුම් කරන්නියක්. ඔබේ කාව්‍ය සංග්‍රහ දෙක ම එයට සාක්ෂ්‍ය සපයනවා. මේ තරම් ම කෙටි කවිය හා බැඳෙන්නට විශේෂ හේතුවක් තියෙනවද?

කෙටි කවිය මගේ ආත්මය වගේ. ඒකෙන් අදහස් කරන්නෑ මම දිගු කවියට අකමැතියි කියලා. මම දිගු කවිත් ලියනව. ඒත් මම හිතනවා සිතුවිල්ලක් විස්තරාකාරයෙන් ඉදිරිපත් කරනවට වඩා, කෙටියෙන් කිව්වහම රස විඳින්නාට ඔහුගේ හෝ ඇයගේ අත්දැකීම් අනුවත් කවිය තේරුම් ගැනීමේ අවකාශය ඉතිරි කරනවා කියල. ඒ කියන්නේ හිතන්න යමක් තියෙනවා කියලයි.

අපි ජීවත්වෙන්නේ කලබලකාරි වටපිටාවක. හැමදේම කෙටියෙන් කර ගැනීමේ වුවමනාව හැමෝටම තියෙනවා. ඒ නිසා ම, කෙටි කවි කියවන්නත් පෙලඹිලා ද කියලා මට හිතෙනවා. බොහෝ වෙලාවට කවියේ මතුපිටින් පෙනෙන තේරුමට වඩා හාත්පසින් වෙනස් තේරුමක් තමා කවියක යටි පෙළෙන් දිවෙන්නේ. ඒක හරියටම කියනව නම්, උඩු හිත කියවා යටි හිත තේරුම් ගන්නවා වගේ වැඩක්.

* ඔබේ කවිය තුළ මූලිකව හමු වෙන්නෙ පෞද්ගලික වූ අධ්‍යාත්මික ස්වරයක්. ඇතුළාන්ත අත් විඳුමකින් පැන නැඟෙන කවිය සතු සමාජමය වගකීම පිළිබඳ ඔබ දරන්නෙ මොන වගේ අදහසක්ද?

මම පෞද්ගලිකව විශ්වාස කරන්නේ, කවිය තියෙන්නේ‍ රස විඳින්න කියලයි. එහි සමාජ වගකීම වෙන්නේ මිනිස්සුන්ගේ මනස සැහැල්ලු කිරීමයි. අපි ඉන්නේ ප්‍රශ්න පිරුණු කර්කශ වටපිටාවක. මට දැනෙන විදිහට අද සමාජයේ මිනිස්සු අතින් රස වින්දනය ගිලිහෙමින් යන ගතියක් පෙන්නුම් කරනව.

* කවි ලිවීම තරම් සොඳුරු නැහැ කවි පොත් එළිදැක්වීම. ඔබ කොහොමද මේ අභියෝගය ජය ගන්නෙ?

සුසුම් නාඳුනන අප දෙදෙන නිකුත් වන්නේ නිලන්ත ගමගේ සහෘදයා ගේ ‘සයුර’ ප්‍රකාශනයක් විදිහට. අම්මා, තාත්තාගෙනුත් ,මගේ යහළු යෙහෙළියන්ගෙ සහයත් මට නොලැබුණා නම්, මේ එළි දැක්වීම කරන්න වෙන්නෙ නෑ.මේ පොත, ඒ හැමෝගෙම ශක්තියෙන්,හැමෝගෙම මහන්සියේ ප්‍රතිඵලයක් මිසක්, මගේ තනි ප්‍රයත්නයක් නෙවෙයි . ඒ හැමෝටම ස්තූතිවන්ත වෙනවා.

 

සංවාද සටහන
තරුරසී ප්‍රනාන්දු


නව අදහස දක්වන්න

Or log in with...