ලිවීමේ මුල්ම පියවර පිනවීමයි | දිනමිණ

ලිවීමේ මුල්ම පියවර පිනවීමයි

අනීටා දේසායි

තුන් වතාවක් ‘බුකර් සම්මානයෙන්’ පිදුම් ලැබූ ඉන්දියානු ජාතික ලේඛිකාවක් වන අනීටා දේසායි , මේ වනවිට මහාචාර්යවරියක ලෙස ද කටයුතු කරයි. ඉංග්‍රීසියෙන් ලේඛනයේ යෙදුණු ඉන්දියානු ලේඛිකාවක වන නමුත් ඇය දැන් ජීවත් වන්නේ විදේශයක ය. ඇගේ ‘විලේජ් බයි ද සී ‘ නම් වූ ළමා නවකතාව ශ්‍රී ලංකාව තුළ ද අතිශයින් ජනප්‍රියත්වයට පත් වූ කෘතියකි. මැයගේ ඇතැම් කෘති පසුකාලීනව සිනමාවට ද නැඟුණි. ඉන්දියානු සාහිත්‍යයට සිදු කළ සේවාව වෙනුවෙන් පද්ම භූෂණ සම්මානයෙන් පිදුම් ලැබූ මේ විශිෂ්ට ලේඛිකාව, වෙබ් අඩවියකට ලබා දුන් සම්මුඛ සාකච්ඡාවක පරිවර්තනයකි මේ.

* ඔබ කොහොමද මුලින්ම ඔබට ලිවීමේ හැකියාවක් තිබෙනවා කියලා දැනගත්තේ?

මගේ ගෙදර පරිසරයේ තිබුණේ කියවන වටපිටාවක්. ‍පොත් බොහොමයක් ගෙදර තිබුණා. මතක ඇතිදා ඉඳන්ම මං දැක්කේ, ගෙදර අය හැමෝමත් පොත් කියවනවා තමා. මාත් එහෙමයි. ඉතා කුඩා කාලයේ සිටමයි මාත් පොත් අතපත ගාන්න, කියවන්න පටන් ගත්තෙ. මං ගෙදර කොහේ හරි මුල්ලකට වෙලා හැම වෙලේම කළේ අකුරු කුරුටු ගාන එක. ඒ වෙනකොට මට හරියට අකුරක්වත් ලියා ගන්න බෑ. ඒත්, ගෙදර පරිසරයත් එක්ක මට ඒ ආභාෂය ලැබුණා. ඒ දවස්වල ඉඳන්ම ගෙදර අය මට කිව්වෙ ‘රයිටර්’ කියලා. මට පොත් ලිවීමේ ආශාවත් ඒ කාලේ ඉඳන්ම තිබුණා.

* ඔබ මොකක්ද මුලින්ම ලිව්වේ? ඒ කියන්නෙ පුවත්පතකට හෝ සඟරාවකට හෝ මුලින්ම ලියපු දෙය කුමක් ද ? මුලින්ම ඔබ ලියූ දෙයක් පළ වූ ආකාරය හෝ ඒ අවස්ථාව ඔබට මතකද ?

මට වයස අවුරුදු නමයේදී තමයි මං ළමා සඟරාවකට ලියන ලද ලිපියක් ප්‍රථම වතාවට පළ වුණේ. මට එදා පුදුමාකාර සතුටක් දැනුණේ. ඒත් ඒ සතුට විඳ දරා ගන්නත් මං කුඩා වැඩියි. ඒ වෙනකොට ආපසු හැරිලා බලද්දී මම බොහෝ දේ හිතනවා.

මම දන්නේ නෑ ඒ හැම දෙයක්ම වාසනාවකටද? අවාසනාවකට ද සිදු වුණේ කියලා. ඒත්, යමක් කියැවීමෙන් හැම වෙලේම මම සතුටු වුණා . අතට අසුවුණු ඕන දෙයක් මං කියවනවා. ඒවගේම පොඩි කාලේ ඉඳන්ම මගේ අතට සල්ලි කීයක් හරි ලැබුණොත්, මම කරන්නේ මුලින්ම ‍පොත් සාප්පුවකට ගිහින් පොත් ගන්න එක.

* ඒ කාලයේ ඔබට මොන ආකාරයේ කියැවීමක් ද තිබුණේ?

ඒ දවස්වල ඒ කිව්වේ තරුණ කාලයේ මගේ ලේඛන ජීවිතයට විශාල බලපෑමක් කළ ලේඛිකාවක් හිටියා. ඇය බ්‍රිතාන්‍ය ජාතික වර්ජිනියා වුල්ෆ්. ඒ වගේම තෝමස් හාඩි, එච්. ඩී. ලෝරන්ස් වැනි අයත් ඒ අතර හිටියා. ඒත් කියන්නම ඕන දෙයක් තියෙනවා. මගේ කියැවීමේ පුරුද්ද වැඩි දියුණු වුණේ රුසියානු සාහිත්‍ය පරිශීලනය කරන්න ගත්තට පස්සෙ.

ලේඛකයකු විදිහට මිනිස් හැඟීම්, සිතුම් පැතුම් ගැන වඩාත් ගැඹුරින් හොයන්න මට එය පිටිවහලක් වුණා. ලියෝ ටෝල්ස්ටෝයි, පියදෝර් දොස්තයෙවුස්කි වගේම මගේ ප්‍රියතම රුසියානු ලේඛකයා වුණේ නිකොලොයි ගොගොල්. ඔහුගේ පොත් ආකර්ෂණීය වගේම ඉතාම විශිෂ්ට ඒවා. එම පොත්වල තියෙන ගුප්ත බව, අපැහැදිලි බව සහ රහස් හොයන්න, මම ඒවා නිතරම කියැවීමෙන් උත්සාහ කළා.

* ඔබ ලේඛන කටයුතුවල යෙදෙන්නේ ඔබටම ආවේණික ආකාරයකින්ද?

මම කෘතියක් ලියමින් සිටියත් නැතත්, හැමදාම උදේට පැය තුනක් පමණ මගේ ලියන මේසයේ ඉඳන් මම වැඩ කරනවා. මේසයයි, පුටුවයි, ලියන්න සුදුසු මුල්ලකුයි මට ඕනෑමයි. ජනේලයකුත් ඒ අසල තියෙනවා නම් වඩාත් හොඳයි. කොහොම නමුත් ලියද්දි මට වැදගත්ම වන දෙයක් තියෙනවා. ඒ තමයි, ලියන වෙලාවට හුදෙකලාවේ ඉන්න තියෙන්න ඕනැවීම. මම කවදාවත් ලියද්දී පරිගණකය භාවිත කරන්නේ නෑ.

* ඔබ ලිවීම කියන ක්‍රියාවලිය විග්‍රහ කරන්නේ කොහොමද?

ලිවීමේ මුල්ම පියවර තමා පිනවීම. එය සිත් ඇදගන්නා දෙයක් වගේම, එතැන යම් තිගැස්මකුත් තියෙනවා. මම හරියටම දන්නේ නෑ මේ කතාව මොන වගේ එකක් වෙයිද? කොහොමද ඉවර කරන්නේ? කියලා. ඒ ලිවීම හරියයිද කියලා කියන්න දන්නෙත් නෑ. ඒ නිසා මම හිතනවා ලේඛනය කියන්නෙ ඉතා අපහසු කාර්යයක් කියලා.

ඒකට හේතුව ලේඛකයා පාඨකයන්ට ලබා දෙන්න ඕනැ නිවැරැදි දෙයක් වීමයි. මම මගේ කතාවේ චරිත ගැන ගැඹුරින් හිතනවා. ඒවායේ වැරැදි නිවැරැදි කරනවා. මං මගේ සෑම නවකතාවක්ම ලියන්නේ ගවේෂණාත්මක හැදෑරීමක් එක්කයි.

* ඔබේ වෘත්තීය ජීවිතය තුළ තිබෙන දැනුම අනුව, ග්‍රන්ථයක් නිර්මාණය වන ක්‍රියාවලියේදී සංස්කාරකවරයාගේ කාර්යභාරය කුමක්ද? ඔබට සංස්කාරක සමඟ තිබෙන සම්බන්ධය , ගනුදෙනුව කුමන ආකාරද?

සාමාන්‍යයෙන් දැන්නම් මම ලියන ලද කෘතියක් පෙන්වන්නේ මගේ ප්‍රකාශන ආයතනයේ සිටින සංස්කාරකවරයකුට පමණයි. ඒත්, වසර ගණනාවක සිට මාගේ වෘත්තීය ජීවිතය තුළ මාත් සමඟ ඉතා විශිෂ්ට සංස්කාරකවරුන් කිහිපදෙනෙක්ම ඉන්නවා. ඔවුන් දැන් මගේ ළඟ ම මිතුරන් බවටත් පත්වෙලා.

මම ඔවුන්ගේ යෝජනා, අදහස්,‍ චෝදනාවලටත් ඇහුම්කන් දෙන්න කැමැතියි.

කෙසේ නමුත්, සංස්කාරකවරයකුට පුළුවන් ඔබේ ලියමන සම්පූර්ණයෙන්ම නැතිම කර දමන්න. ඔවුන්ට මේ පිළිබඳ නිවැරැදි වැටහීමක් නැතිනම්, එවිට ඔවුන්ගෙන් යහපත් ප්‍රතිචාරයක් අ‍පේක්ෂා කරන්න බෑ. එවිට අපේ ලියමන්වලට හිමි නිසි ස්ථානය නොලැබී යන්නත් ඉඩ තිබෙනවා.

* ඔබේ හොඳ ම කෘති බිහිවුණේ ඉතා නිස්කලංක, සාමකාමි අවස්ථාවකදී ද? නැත්නම් පීඩාකාරී වාතාවරණයකදී ද?

මම හොඳින් ලේඛනයේ යෙදිලා තියෙන්නේ පීඩාකාරී වාතාවරණවලදී. යම් කිසි හේතුවක් මට ලියන්න කියලා බල කරපු තැන්වලදී මම හොඳින් ලිව්වා.

* ඔබ විදේශයක බොහෝ කල් ජීවත් වුණත්, තවමත් ලියන්නේ ඉන්දියාව ගැන?

ඔව්. මට මෙහිදී විශේෂයෙන්ම කියන්න ඕන දෙයක් තියෙනවා. ඒ තමයි, මම බටහිර සංස්කෘතිය ගැන ලියද්දී, මම මේ ලියන්නේ හරි දෙයක්ද කියලා මටම සැකයක් හිතෙනවා. ඒ නිසා තමයි මම දිගටම ඉන්දියාව ගැනම ලියන්නේ. මොකද මම උපන් රට එයයි.

මම හැදී වැඩුණු පරිසරය ඉන්දියාව නිසා, මට එය බොහෝ සෙයින්ම විශ්වාසයි. ඉන්දියාවේ මම ඒ ගත කළ කාලයට මම තවමත් ආදරය කරනවා. මට දැනෙන්නෙ මං ඉන්දියාවට ගියාම කාලය ගත වෙන්නෙ හෙමින් කියලයි. මට දැනෙන විදිහට ඉන්දියාව තුළ මිත්‍රත්වය ගොඩනගා ගැනීමට බොහෝ කාලය ති‍යෙනවා. ඒ වගේම සිතන්නටත් කාලය තියෙනවා.

 

යශෝදා ඉන්දීවරී

නව අදහස දක්වන්න