ජීවත්ව සිටියදීම මමියක් වුණ නිළිය | දිනමිණ

ජීවත්ව සිටියදීම මමියක් වුණ නිළිය

මුළු ඇඟම වැහෙන්න බැන්ඩේජ් දාලා හිටියෙ අමාරුවෙන්

රුක්ෂානා දිසානායක

ජීවත්ව සිටියදීම මමියක් වන්නට සිදු වූ නිළියක් ඉන්නවා. ඒ තමයි රුක්ෂානා දිසානයක. ඇයට මෙලෙස මමියක් වන්නට සිදුවුණේ මෙඩිසිනා ටෙලි සිතුවම වෙනුවෙන්. එහි ඇය යුඩි. මෙඩ්සිනා ටෙලි නාට්‍යයට අමතරව රුක්ෂානා සිටින තවත් ටෙලි නාට්‍ය ත්‍රිත්වයක්ම මේ දිනවලදී විකාශන වනවා. ඒ විමංසා තුරුමිපු ආසියා සහ සසර සේයා.

* රුක්ෂානා මම ඔබෙන් පළමුව අහන්නෙ මමියක් වු අත්දැකීම ගැන?

අම්මෝ.... ඒ ගැන මතක් කරද්දීත් ඇඟ අමාරුයි. මුළු ඇඟම වැහෙන්න බැන්ඩේජ් කළා. ඒ දර්ශනයට මං මුහුණ දුන්නෙ හරිම අපහසුවෙන්. නමුත් මොනිටරයෙන් ගත්තු සීන් ටික බලද්දී මටම හිනා.

* රඟපාන්න ඇවිත් කෙටි කලක් අතරතුරදී ඔබට විවිධාකාර චරිත රඟපාන්න ලැබුණා.

ඒක මං ලබපු වාසනාවක්. බොහෝ විට මගේ වයසෙ රඟන ශිල්පීන්යන්ට ලැබෙන්නෙ ඒකාකාරී චරිත. නමුත් මට විවිධාකාර පරාස ඔස්සේ රංගනයට අවස්ථා ලැබුණා. මමත් හැකි උපරීම අන්දමින් ඒවාට සාධාරණය ඉටුකළා.

* ආපසු හැරිලා බලද්දී මොකද හිතෙන්නෙ?

සතුටුයි තමයි. මං මේ කේෂත්‍රයට එද්දී වැඩි දෙනකු හඳුන්නෙ නැහැ. නමුත් හොඳ පිරිසක් මට උදව් කළා. ඒ අයගේ තල්ලුවෙන් මට කේෂත්‍රය තුළ යම් තාක් දුරකට එන්න ලැබුණා. මං සැහෙන්න කට්ට කාපු වෙලාවල් තිබුණා. බ්‍රයිඩල් ෂෝස් වලට තනියම ලංකාව වටා ගියා. ඒවා මට හොඳට මතකයි. අද මං ආර්ථික මට්ටමින් වුණත් සැලකිව යුතු තැනක ඉන්නවා. ඒ ගැන මං ආඩම්බර වෙනවා.

* රුක්ෂානා කියන්නේ මොනවගේ චරිතයක්ද?

හරිම සැහැල්ලු කෙනෙක්.

මොනදේ වුණත් හිනාවෙලා ඉන්න කෙනෙක්. ප්‍රශ්න නැතුවාම නෙවෙයි. පසු තැවෙන්නේ නැහැ. ඉදිරිය ගැන හිතලා සතුටින් ඉන්නවා.

* ඔබ මේ වන විට තමන්ගේ අරමුණ කරා ළගා වෙමින් ද සිටින්නෙ ?

මං හිතනවා. ටික ටික මගෙ අරමුණට ළඟා වෙමින් සිටිනවා කියලා. මං මගෙ උපාධිය ලබා ගත්තා. මේ වන විට මං මගෙම කියලා නර්ථන පන්තියක් පවත්වාගෙන යනවා. කාර්ය බහුලවුණත් මගේ ජීවිතයේ කඩඉම මං සාර්ථකව ජයගත්තා.

* ජනපි‍්‍රය නිළි ලැයිස්තුවේ තවම ඔබේ නම නැත්තෙ ඇයි?

මං මහලොකු ජනපි‍්‍රයත්වයක් තියන නිළියක් නෙවෙයි. ජනපි‍්‍රයගණයේ ටෙලිනාට්‍ය රැසක හිටියත් මට වෙන අය ලබන ජනපි‍්‍රයත්වය ලබන්න බැරි වුණා. නමුත් මාව මිනිසුන් හඳුනනවා. ප්‍රසිද්ධ තැනකට ගියාම ඒක මට දැනෙනවා. ජන ප්‍රසාදය මගෙ රසික රසිකාවන් ලබා දේවි. එතෙක් මා ඉවසගෙන ඉන්නවා.

* ටෙලිනාට්‍යක් බාර ගනිද්දී සලකා බලන කරුණු මොනවාද?

මා අහලා තියෙනවා ඇතැම් රංගන ශිල්පියො ටෙලි නාට්‍ය බාරගන්නෙ නිෂ්පාදන කණ්ඩායමේ ඉන්න අයව පවා හොයලා බලලා කියලා. නමුත් මම එහෙම කරන්නේ නැහැ. මං බලන්නෙ පිටපත පමණයි. ක්ෂේත්‍රයේ ඉන්න බහුතරයක් මගේ යාළුවෝ. ඒ හින්දා මං ඔවුන් ගැන හොයල බලන්නෙ නැහැ. නමුත් පිටපත නම් හොඳට බලනවා. මට රඟපාන්න පුළුවන් චරිතයක් නම් පමණයි මං බාරගන්නෙ.

* රුක්ෂානා ගොසිප්වලට බයද?

කොහෙත්ම නැහැ. මට ගොසිප් හැදිලා නම් නැහැ මං දන්න විදිහට. අනික ගොසිප් හැදෙන්න තරම් මං ලොකු නිළියක් නෙවෙයිනෙ. ගොසිප් කියන්නේ පදනමක් නැති කතා. ඒවා ගැන හිත හිත ඉන්නවට වඩා හොඳයි තමන්ගෙ වැඩක් බලාගන්න එක.

* රුක්ෂානා රංගනය හදාරනවාද?

රංගනය ගැන මං ඉගෙන ගත්තා. මට හොඳ ගුරුවරුන් කිහිපදෙනෙකු මුණ ගැහුණා. ඉඩ ඇති විටෙක මං ඔවුන්ගෙන් යම් යම් දේවල් අහගන්නවා. ඒ වගේම ප්‍රවීණ අයගෙනුත් මං ඉගෙන ගන්නවා.

මේ දිනවල ගෙවෙන්නෙ තනිකඩ ජීවිතයක් ද?

ඔව්. පෙම්වතියක් කියලා කියන්න පුළුවන්.

* රුක්ෂානාට මුල තවම මතකද?

අනිවාර්යෙන්ම. ඒක තමයි මං නිතරම මට උදව් කළ ගුරු හරුකම් දුන්න අයව මතක් කරන්නෙ. මේ මොහොතෙදීත් එහෙමයි. මට මගෙ ගමනට ශක්තියක් වූ ලලිත් පි‍්‍රයන්ත, රවින්ද්‍ර විජේරත්න, තරංග දිසානායක, මිහිර සිරිතිලක යන අයව දැනුත් මං මතක් කරනවා.

 

නව අදහස දක්වන්න