මදුරුවෙක් ඉදිරියේ...! | දිනමිණ

මදුරුවෙක් ඉදිරියේ...!

 මේ වනවිට රටේ ඇති ප්‍රධාන අභියෝගය වන්නේ ඩෙංගු ව්‍යසනයට මුහුණදීම ය. ඒ සඳහා රජය සිය උපරිම ශක්තිය හා කැපවීම යොදා ඇතැ’යි සිතන්නට පුළුවන. දේශපාලන වශයෙන් විවිධ චෝදනා එල්ල කරන්නේ වුව; රජයේ වැඩසටහන් නොවන්නට මේ වනවිටත් විශාල පිරිසක් මිය ගොස් ඇතැ’යි කිව හැකි ය. අප මේ යථාර්ථය වටහා ගත යුතුය. ලෝක සෞඛ්‍ය සංවිධානය පවා ශ්‍රී ලංකාවේ ඩෙංගු මර්දන ව්‍යාපාරය අගයකර ඇති බව ද කිව යුතු ය. මේ අතර ලෝක සෞඛ්‍ය සංවිධානයේ වෛද්‍ය කණ්ඩායමක් ශ්‍රී ලංකාවේ පර්යේෂණයක් සිදුකොට එම වාර්තාව සෞඛ්‍ය අමාත්‍යවරයාට භාර දී ඇත. එම වාර්තාවේ අරමුණ වී ඇත්තේ ඩෙංගු කීට‍ ඝනත්වය හා ඩෙංගු රෝගය පැතිරීම 50%කින් අඩු කිරීම ය.

වියට්නාමය, කාම්බෝජය හා ලාඕසය වැනි රටවල ඩෙංගු රෝග ව්‍යාප්තිය ශීඝ්‍ර ලෙස වර්ධනය වෙමින් පවතින බව වාර්තා වී ඇත. එය සිදුවන්නේ කාලගුණික චක්‍රයට අනුව බව ද සොයාගෙන ඇත. සති කිහිපයක් මද වැසි සමඟ හිරු රශ්මිය පැවැතීමෙන් ඩෙංගු මදුරුවාගේ ව්‍යාප්තියට පහසුකම් සැපයෙන බව හෙළි වී තිබේ. ශ්‍රී ලංකාවේ දැන් පවතින්නේ ද එබඳු කාලගුණික රටාවකි. උදය කාලය, සන්ධ්‍යාව හා රාත්‍රි කාලයෙහි මද වැසි ඇද හැලෙන අතර දහවලෙහි දැඩි හිරු රශ්මිය පවතී. මෙය ඩෙංගු මදුරුවාගේ ශීඝ්‍ර ව්‍යාප්තියට හේතු - සාධක වී තිබේ. මේ අනුව ඩෙංගු රෝගීන්ගේ ගණන ලක්ෂය දක්වා ඉහළ නැඟ ඇතැ’යි වාර්තා වී ඇත. මේ තත්ත්වයට අප මුහුණ දිය යුත්තේ සුපරීක්ෂාකාරී ව යැයි කියන්නට පුළුවන.

ඊයේ සිට තවත් වැඩසටහනක් ක්‍රියාත්මක වන්නේ ඩෙංගු මර්දනය වේගවත් කිරීම සඳහා ය. මේ වැඩසටහන සඳහා ජනමාධ්‍ය අමාත්‍යාංශය මූලිකත්වය ගෙන තිබේ. ඒ අනුව සියලු මාධ්‍ය ආයතන හා පෞද්ගලික සන්නිවේදන සමාගම් ද දවසකට පැය කිහිපයක් ඩෙංගු නිවාරණය සඳහා කැප වී ක්‍රියා කරනු ඇත. ජනමාධ්‍ය ආයතනවලට මේ වෙනුවෙන් විශාල වැඩ කොටසක් කළ හැකි ය. ඩෙංගු ව්‍යාප්තිය නතර කිරීම සඳහා සැලැකිය යුතු වැඩ කොටසක් ජනතාව ඉටු කළ යුතුය. ඒ සඳහා පෙලැඹවීමක් කිරීම අතිශයින් ම වැදගත් ය. එය හොඳින් කළ හැකි ආයතන විශේෂයක් ලෙස ජනමාධ්‍ය හඳුනාගත හැකි ය. ප්‍රසිද්ධ ස්ථානවල දුම්පානය නතර කිරීම සඳහා මේ ආයතන සැලැකිය යුතු සේවාවක් ඉටුකළ බව අපට මතක ය.

ලෝක සෞඛ්‍ය සංවිධානය නියෝජනය කරන වෛද්‍ය කණ්ඩායමේ නිර්දේශ මොනවාදැ’යි අප තවම දන්නේ නැත. එහෙත් එක දෙයක් කිව යුතුය. එනම්; මේ විශේෂඥ වෛද්‍යවරුන්ට ලෝකයේ වැඩියෙන්ම ඩෙංගු ව්‍යාප්ත වූ රටවල අත්දැකීම් ඇති බව ය. පාකිස්ථානය අපට වඩා බරපතළ ලෙස ඩෙංගු රෝගයට මුහුණ දුන්නේ ය. ලෝක සෞඛ්‍ය සංවිධානයේ ද සහයෝගය මත එය පාලනය කරගැනීමට පාකිස්ථානය සමත් විය. මේ අනුව අප කළ යුත්තේ ඉහත වාර්තාවේ නිර්දේශයන් ක්‍රියාත්මක කිරීම ය. ඒ සඳහා ත්‍රිවිධ හමුදාවේ සහයෝගය ලබාගන්නේ නම්; එය ද වැදගත් ය. සිදුවිය යුත්තේ මේවා විවේචනය කරමින් කාලය මැරීම නොව; කුමන හෝ මාර්ගයකින් ඩෙංගු මර්දනය කිරීම ය.

බස්නාහිර පළාත් සභාව සිය බල ප්‍රදේශයෙහි පවත්නා හිස් ඉඩම්වලට දඩයක් ගැසීමට යෝජනා කර තිබේ. මෙහි එන හිස් ඉඩම් යනු අයිතිකරුවන් නැති ඒවා නොවේ. අයිතිකරුවන් ඇති එහෙත් පදිංචිය නැති පාළු ඉඩම් මේ ගණයට වැටේ. මෙබඳු ඉඩම්වලට කුණු දැමීම අපේ ජනතාවගේ එක පුරුද්දකි. අනෙක් අතට එම ඉඩම් ශුද්ධ පවිත්‍ර නො කරන බැවින් ඒවා වල් බිහි වී ඇත. මෙබඳු ඉඩම් ඩෙංගු මදුරුවාගේ ව්‍යාප්තියට කදිම සහයෝගයක් ලබාදෙන බව අමුතුවෙන් කිව යුතු නැත. බස්නාහිර පළාතට අයත් ගම්පහ, කළුතර හා කොළඹ යන දිස්ත්‍රික්ක තුනෙහි ම එබඳු ඉඩම් විශාල ප්‍රමාණයක් ඇති බවට පැමිණිලි ලැබී තිබේ. බස්නාහිර පළාත් සභාවේ යෝජනාව නරක නැත. අලුත් නීති සම්මත කර ගනිමින් හෝ ඩෙංගු මර්දනයට අදාළ වැඩසටහන් ක්‍රියාත්මක කළ යුතුය.

මැලේරියාව හා බරවා රෝගය තුරන් කිරීමට හැකි වූ රාජ්‍යයක් ලෙස ශ්‍රී ලංකාවට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ කීර්ති නාමයක් තිබේ. ලෝක සෞඛ්‍ය සංවිධානය පවා ඒ බව සඳහන් කර ඇත. මේ රෝග මර්දනය සඳහා එදා අප ගත් ක්‍රියාමාර්ග කෙරෙහි නැවත අවධානය යොමු කිරීම ද වැදගත් ය. මැ‍ලේරියාව මර්දනයේ දී මුළු රටම එක් ව ක්‍රියා කළ බව සඳහන් කළ යුතුය. එදා අද තරම් දේශපාලන භේදයක් පැවැතියේ නැත. අද තරම් විවේචන හා උද්ඝෝෂණ පැවැතියේ ද නැත. එදා දේශපාලන පක්ෂ, විවිධ සංවිධාන මෙන් ම ජනතාවද එක හැඟීමකින් කටයුතු කළා යැයි කියන්නට පුළුවන. අද එවැන්නක් දකින්නට නැත. ඇතැම් ආයතන බලන්නේ තම වැඩ කොටස ගැන පමණි. තවත් ආයතන බලන්නේ තම වාසිය ගැන පමණි. එහෙත් අදට අවශ්‍ය වන්නේ පොදු හැඟීමකි.

ඩෙංගු ව්‍යාප්තිය හා කුණු කසළ කළමනාකරණය අතර දැඩි සම්බන්ධයක් ඇතැ’යි ප්‍රකාශ වී ඇත. එහි අදහස වන්නේ මේ ගැටලු දෙක කාසියේ දෙපැත්ත බවට පත් වී ඇති බව ය. එහෙත් කුණු ප්‍රශ්නය තවම කළමනාකරණය වී නැත. සමහරු කොළඹ කුණු අපට එපා යැයි උද්ඝෝෂණ කරති. තව සමහරු කුණු ලොරි නැතැ’යි විරෝධතා දක්වති. තවත් සමහරු තම - තමන්ගේ කුණු - කසළ වර්ග නොකොට පාරට ගෙනත් හළති. බොහෝ දෙනා තමන්ගේ යුතුකම හා වැඩ කොටස ඉටු නොකොට අනුන්ට දොස් කියති. කුණු ප්‍රශ්නයේ දී එය හොඳට ම දැක ගත හැකි ය. මේවා සම්බන්ධයෙන් දැඩි පිළිවෙතක් අනුගමනය කළ යුතු ය. නීති හා රීති ඇත්තේ ක්‍රියාත්මක කිරීමට මිස පොත්වල සඳහන් කිරීමට පමණක් නොවේ.

ඉතා පැහැදිලි ව කිවහොත් අපට මේ අභියෝගය ජයගත හැකි ය. ලෝකයේ දරුණු ම ත්‍රස්තවාදී ව්‍යාපාරය පරාජය කළ ශ්‍රී ලංකාවට ඩෙංගු මදුරුවා කජ්ජක්දැ’යි කෙනකු කියන්නට පුළුවන. එය හාස්‍යජනක ප්‍රකාශයක් සේ ඉවත දැමිය නො හැකි ය. ශ්‍රී ලංකාව ඈත අතීතයේ සිටම බොහෝ අභියෝග ජයගත් රාජ්‍යයකි. අපේ ජනතාව හරි පීල්ලට දමා ගතහොත් පරිසරය සකස් කර ගැනීම අපහසු නැත. ඊළඟ කාරණය වන්නේ ප්‍රතිකාර රටාව ය. ප්‍රතිකාර සඳහා අවශ්‍ය ඖෂධ මෙන් ම තාක්ෂණය ද අප සතුය. ඩෙංගු මර්දනයේ දී පැති දෙකක් කෙරෙහි අවධානය යොමු කළ යුතුය. එක මදුරුවාගේ ව්‍යාප්තිය නවතා ගැනීම ය. දෙක රෝගීන්ට විධිමත් ලෙස ප්‍රතිකාර ලබා දීම ය. මේ දෙකම අපට කළ හැකි ය. 

නව අදහස දක්වන්න