හිතට එකඟව හරි දේ කළා කියන සතුටින් නායකත්වයෙන් සමු ගන්නවා | දිනමිණ

හිතට එකඟව හරි දේ කළා කියන සතුටින් නායකත්වයෙන් සමු ගන්නවා

ෆවුස් මොහොමඩ්

නායකත්වය දැරීම ලෙහෙසි පහසු කාර්යයක් නොවන බවත්, වසර හතරකට අධික කාලයක් පුරා හැලහැප්පීම් කන්දරාවක් විඳ දරාගනිමින් තමා ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කළ බවත් නායකත්වයෙන් ඉවත්වෙමින් ඇන්ජෙලෝ මැතිව්ස් ඊයේ ප්‍රකාශ කළේය.

සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව පළමු වරට එක්දින තරගාවලියක් පරාජයට පත්වීමේ අවමානය ශ්‍රී ලංකා පිලේ නායකයා ලෙස කරපින්නා ගැනීමට සිදුවූ ඇන්ජෙලෝ මැතිව්ස් ටෙස්ට්, එක්දින සහ විස්සයි20 තරග මුහුණුවර 3න්ම නායකත්වයෙන් ඉවත් වූයේ තේරීම් කමිටුව සහ ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයා සමග දීර්ඝ ලෙස සාකච්ඡා කිරීමෙන් පසුවය.

ක්‍රිකට් ආයතනයේ දී ඊයේ පෙරවරුවේ පැවැති මාධ්‍ය හමුවේදී මැතිව්ස් නායකත්වයෙන් ඉල්ලා අස්වීමේ නිවේදනය ප්‍රකාශයට පත්කිරීමේ අවස්ථාව ඉතා සංවේදීජනක මොහොතක් බවට පත්විය.

නායකයකු තනිවෙන අවස්ථාව වැඩි බව කී මැතිව්ස් පසුගිය වසර හතරහමාරකට අධික කාලයක් තිස්සේ හැලහැප්පීම් රැසකට මුහුණ දුන් බව කියා සිටියේය.

‘නායකත්වය දැරීම ලෙහෙසි පහසු දෙයක් නෙවෙයි. අවස්ථාවන් එනවා යනවා. නායකත්වයට තණ්හා වෙන්න හොඳ නෑ. මට නායකත්වයට එහෙම තණ්හාවක් නෑ. කො‍හොමවුණත් හිතට එකඟව හරි දේ කළා කියන සතුටත් එක්ක තමයි මම නායකත්වයෙන් අයින් වෙන්නේ. කණ්ඩායම තනියෙන් මෙහෙයවන්න බෑ නායකයකුට. ඒකට හැමෝගෙම සහයෝගය ඕනා. අපි කවුරුත් පිටියට යන්නේ පරදින්න බලාගෙන නෙවෙයි.’ ඔහු කීවේය.

තමා නායකත්වයෙන් ඉවත් වන්නේ එක්දින තරගාවලියෙන් සිම්බාබ්වේ පිල හමුවේ පරාජයට පත්වීම නිසාම නොවන බව කීවත්, එය ඉක්මන්වූයේ එහිදී කණ්ඩායම දැක්වූ දුර්වල ක්‍රීඩා විලාශයත් හේතු වූ බව පිළිගත්තේය.

‘මට මීට කළින් අවස්ථාවකදිත් නායකත්වයෙන් ඉවත් වෙන්න අවශ්‍යවෙලා තිබුණා. නමුත් ඒ වෙලාවේ නායකත්වය බාරගන්න සුදුසුකම් ඇති ක්‍රීඩකයෙක් හිටියේ නෑ. දැන් ඒ තත්ත්වය වෙනස්වෙලා. ඉතිං මේක තමයි හරි වෙලාව නායකත්වයෙන් ඉවත්වෙන්න. දැන් සුදුසු අය ඉන්නවා. එයාලා මට වඩා හොඳ නායකයන් වේවි කියලා මම බලාපොරොත්තු වෙනවා. ඒ වගේම සුබ පතනවා. ලබන 2019 ලෝක කුසලාන තරගාවලිය වෙද්දී හොඳ කණ්ඩායමක් ගොඩනගා ගන්න එයාලට කාලය තියෙනවා.’ මැතිව්ස් පැවැසීය.

තමා නායකත්වය දැරූ කාලය තුළ නිසි සහයෝගය ලබා දුන් ජාතික තේරීම් කමිටුවට, ක්‍රිකට් ආයතනයට, හිටපු ජ්‍යෙෂ්ඨ සහ වත්මන් ක්‍රීඩකයන්ට සහ පුහුණුකරුවන්ට මෙන්ම නිරතුරුවම සහය දුන් ක්‍රීඩාලෝලීන්ට ස්තූතිය පුද කිරීමට ද මැතිව්ස් එය අවස්ථාවක් කර ගත්තේය.

‘ඒ වගේම මම දෙවියන් වහන්සේට ස්තූතිවන්ත වෙනවා මට නායකයා විදිහට කටයුතු කිරීමේ අවස්ථාව උදාකර දීම ගැන. මගේ බිරිඳටත්, පවුලේ අයටත් ස්තූතිකරනවා. ඉදිරියේදී ක්‍රීඩකයකු හැටියට මගේ දායකත්වය උපරිම අයුරින් කණ්ඩායමට ලබාදෙන බවත් මේ අවස්ථාවේදී කියන්න ඕනා.’ මැතිව්ස් සඳහන් කළේය.

වසර 2013 එවකට 25 හැවිරිදි වියේදී ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ ලාබාළතම නායකයා ලෙස පත්වූ ඇන්ජෙලෝ මැතිව්ස් ටෙස්ට් තරග 34කට නායකත්වය දුන් අතර ඉන් තරග 13ක් ශ්‍රී ලංකා පිල ජයගත් අතර තරග 15ක් පරාජයට පත්විය. වසර 2012 සිට ඔහුගේ නායකත්වය යට‍තේ ශ්‍රී ලංකා පිල ක්‍රීඩා කළ එක්දින තරග 98කින් තරග 47ක් ජයගැනීමට ශ්‍රී ලංකා පිල සමත්වූ අතර තරග 45ක් පරාජයට පත්විය. විස්සයි20 තරග 12කට නායකත්වය දුන් මැතිව්ස් ඉන් ශ්‍රී ලංකා පිල ජයග්‍රහණය දක්වා මෙහෙයවූ තරග ප්‍රමාණය 4ක් වූ අතර තරග 7ක් පරාජයට පත්විය.

ඡායාරූපය - රොෂාන් පිටිපන 

නව අදහස දක්වන්න