කළුතර කළුගං කළපුව අසල කඩොලාන පද්ධතිය විනාශයි | දිනමිණ

කළුතර කළුගං කළපුව අසල කඩොලාන පද්ධතිය විනාශයි

 උතුරු කළුතර කැලිඩෝ වෙරළ තීරයට හා කළුගං කළපුවට ආසන්නව පිහිටි කඩොලාන පාරිසරික පද්ධතියට අයත් පුංචි ගංගාවට විවිධ අපද්‍රව්‍ය එක්කිරීම නිසා විනාශවෙමින් පවතින බව ප්‍රදේශවාසීහු කියති. කැලිඩෝ වෙරළ තීරය හා සම්බන්ධව පවතින සෞන්දර්යාත්මක ප්‍රදේශයක් වන මේ පාරිසරික පද්ධතිය රැකගැනීම කෙරෙහි බලධාරීන්ගේ අවධානය යොමුවිය යුතු බව ද ඔව්හු පෙන්වාදෙති.

පුංචි ගඟ කේන්ද්‍ර කර ගනිමින් ගඟ දෙපස පැතිර ඇති කඩොලාන ශාක වෙනත් ස්ථානවල දැකිය හැකි කඩොලානවලට වඩා සුවිශේෂි වේ. ගංගා දූපතට සම්බන්ධව පිහිටා ඇති ගංගාරාම විහාරස්ථානයට සම්බන්ධ පාරිසරික කේන්ද්‍රස්ථානයට විශ්වවිද්‍යාල හා පර්යේෂණ සඳහා වන සිසුන් විශාල වශයෙන් පැමිණෙන්නේ ඒ නිසාය.

මානව ක්‍රියා නිසා පුංචි ගංගාව මේ වනවිට පවතින්නේ අතිශයින් ශෝකජනක තත්ත්වයකය. ගංගාව ස්ථාන කිහිපයකින් වන වැදී ගොඩවීම නිසා ජලය බැසයාම නිසියාකාරව සිදු නොවේ.

ගංගාව දිගේ ගලා එන විවිධ අපද්‍රව්‍ය ස්ථාන කිහිපයකට එක්රැස්ව පැවතීම හා ගංගාව දෙපසට අපද්‍රව්‍ය ගෙනැවිත් දැමීම නිසා කඩොලාන පද්ධතියට දැඩි බලපෑම් සිදුව තිබේ. ගංගාව අසලට ගෙනැවිත් දමනු ලබන අපද්‍රව්‍ය අතරේ ඇති ප්ලාස්ටික් බෝතල්, ඉටු උර කඩොලාන තුළ රැඳී පවතින අයුරු ඇතැම්විට දක්නට ලැබේ. මේ තත්ත්වය වර්ධනයවීමෙන් සුන්දරත්වයෙන් පිරි කඩොලාන පරිසරය ඉක්මනින් විනාශවීයාමට ඉඩ තිබේ. පුංචි ගඟ සංවර්ධනය කරමින් පාරිසරික සුන්දරත්වය රැකගැනීම කෙරෙහි බලධරින්ගේ අවධානය යොමුකළ යුතුව ඇත.

සටහන සහ ඡායාරූප
කටුකුරුන්ද සමූහ-කපිල කුලසිංහ

නව අදහස දක්වන්න