රාජ්‍ය සේවකයන් සංවර්ධනයේ නියමුවන් විය යුතුයි | දිනමිණ

රාජ්‍ය සේවකයන් සංවර්ධනයේ නියමුවන් විය යුතුයි

 රජයේ ඉදිරි වසර කිහිපය තුළ සමස්ත රාජ්‍ය සේවකයන් සංවර්ධනයේ නියමුවන් බවට පත්වෙමින් එහි නියාමනයට උරදිය යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ජනපති මේ බව කියා සිටියේ අද (12) පස්වරුවේ කොළඹ නෙළුම් පොකුණ රඟ‍හලේදී ජනාධිපති කාර්යාලයේ කාර්ය මණ්ඩලය අමතමිනි.

රටේ සංවර්ධන වැඩපිළිවෙළට උරදීම සියලු රාජ්‍ය සේවකයන්ගේ වගකීමයි. එම සංවර්ධන වැඩපිළිවෙළ මෙහෙයවීමේ කේන්ද්‍රස්ථානය වන්නේ ජනාධිපති කාර්යාලයයි. එහිදී ඵලදායිතාවයෙන් සහ සඵලතාවයෙන් ඉහළ ආයතනයක් බවට ජනාධිපති කාර්යාලය පත් කළ යුතු අතර ඒ සඳහා සිය කාර්ය මණ්ඩලය සූදානම් කිරීමේ අරමුණින් ජනාධිපතිවරයා අද මේ හමුවට එක්විය.

ලක්ෂ 14ක සමස්ත රාජ්‍ය සේවයට ආදර්ශයක් වෙමින් නව මුහුණුවරකින් සහ නව වැඩපිළිවෙළක් ඔස්සේ කාර්යක්ෂමව සහ සැලසුම්සහගත අයුරින් ජනාධිපති කාර්යාලයේ කටයුතු ඉදිරියට පවත්වාගෙන යාමේ වැදගත්කම ජනපති මෙහිදී පෙන්වා දුන්නේය.

ලබන මාසයේ සිට තමන් සෑම අමාත්‍යාංශයකම ප්‍රගති සමාලෝචන රැස්වීම සඳහා සහභාගී වන අතර එහි පසුවිපරම් කටයුතු ජනාධිපති කාර්යාලය හරහා සිදුවන බවද ජනාධිපතිතුමා මෙහිදී සඳහන් කළේය.

වංචාවක්, දූෂණයක්, අක්‍රමිකතාවයක් කොතනකදී හෝ සිදුනොවිය යුතු අතර විනිවිදභාවයෙන් සහ පිරිසුදුව සිය කටයුතු කරගෙන යාමට සියලු කාර්ය මණ්ඩල කැපවිය යුතු බව ජනාධිපතිවරයා කියා සිටියේය.

රාජ්‍ය නිලධාරීන්ගේ කැපවීම, දක්ෂතාවය සහ මානුෂීය ගුණාංග මැනවින් පිළිබිඹුකළ අවස්ථාවන් ලෙස පසුගිය කාලය තුළ මුහුණදීමට සිදුවූ ස්වාභාවික ආපදා තත්ත්වයන් හමුවේ ගෙන ගිය සහන වැඩපිළිවෙළ හඳුන්වාදිය හැකි බව සඳහන් කළ ජනාධිපතිතුමා එහිදී සමස්ත රාජ්‍ය සේවයම සිදුකළ කැපවීම වෙනුවෙන් සිය කෘතඥතාවය පිරිනැමීය.

ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතා ඇතුළු ජනාධිපති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ සියලුම කාර්ය මණ්ඩල නිලධාරි මහත්ම මහත්මීන් මේ හමුවට එක්ව සිටියහ. 

නව අදහස දක්වන්න