ෆුල්ෆේස් හෙල්මට් තහනමට එරෙහි අතුරු තහනම දික්වේ | දිනමිණ

ෆුල්ෆේස් හෙල්මට් තහනමට එරෙහි අතුරු තහනම දික්වේ

නෙල්කා මැදගෙදර

සම්පූර්ණ මුහුණ ආවරණය වන (‍ෆුල් ෆේස්) හෙල්මට් භාවිත කිරීම යතුරුපැදිකරුවන්ට තහනම් කිරීමට ගත් තීරණය ක්‍රියාත්මක වීම අත්හිටුවමින් පනවා ඇති අතුරු තහනම් නියෝගය ලබන අගෝස්තු මස 08 වැනිදා තෙක් බලපවත්වන පරිදි දීර්ඝ කිරීමට අභියාචනාධිකරණය ඊයේ (12) තීරණය කෙළේය. (ෆුල් ෆේස්) ‍සම්පූර්ණ මුහුණ ආවරණය වන හෙල්මට් භාවිතය තහනම් කිරීමට එරෙහිව ගොනු කර තිබූ රිට් පෙත්සම් 2ක් සලකා බැලූ අභියාචනාධිකරණ සභාපති විනිසුරු එල්.ටී.බී. දෙහිදෙනිය මහතා විසින් මෙම අතුරු නියෝගය දීර්ඝ කරන ලදී.

ෆුල් ෆේස් හෙල්මට් සහ සෙසු හෙල්මට් භාවිතය සම්බන්ධයෙන් වන රෙගුලාසි කිහිපයක් මේ වන විට සකස් කර ඇතැයි ද ඒවා ඉකුත් පෙබරවාරි මාසයේදී ගැසට් මඟින් ප්‍රකාශයට පත් කර ඇතැයි ද නීතිපතිවරයා අධිකරණයට දන්වා සිටියේය.

කෝට්ටේ ප්‍රදේශයේ පදිංචි වරලත් ගණකාධිකාරීවරයකු වන චානක දසනායක සහ තවත් අයෙකු විසින් ද කොළඹ හිටපු නාගරික හදිසි මරණ පරීක්ෂක එඩ්වඩ් අහංගම මහතා විසින් ද මෙම පෙත්සම් ගොනු කර තිබුණි.

පොලිස්පතිවරයා, ප්‍රවාහන ඇමැතිවරයා, නීතිපතිවරයා ඇතුළු පිරිසක් මෙහි වගඋත්තරකරුවෝ වෙති. ෆුල් ෆේස් හෙල්මට් භාවිතය යතුරුපැදිකරුවන්ට තහනම් කිරීමට 2016 මාර්තු මසදී පොලිසිය විසින් තීරණය කරන ලදී.

ඊට එරෙහිව ගොනු කළ මෙම රිට් පෙත්සම් සලකා බැලූ අභියාචනාධිකරණය එම තීරණය ක්‍රියාත්මක වීම අත්හිටුවමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කළ අතර වරින් වර එය දීර්ඝ කරන ලදී. 

නව අදහස දක්වන්න