කොළඹ කොටස් වෙළෙඳ‍ෙපාළ විදෙස් ආයෝජන ඉහළ යයි | දිනමිණ

කොළඹ කොටස් වෙළෙඳ‍ෙපාළ විදෙස් ආයෝජන ඉහළ යයි

 කොළඹ කොටස් වෙළෙඳ පොළ නව ආයෝජනවලට කදිම තැනක් බව වාර්තාගත ශුද්ධ විදේශ ආයෝජන සිදුවීමෙන් තහවුරු වී තිබේ.

ශ්‍රී ලංකාවේ කොටස් වෙළෙඳපොළ ඉතිහාසයේ වාර්තා වූ දෙවැනි විශාලතම ශුද්ධ ආයෝජනය ඉකුත් 10 වැනිදා සිදුවූ බව පවසන කොටස් වෙළෙඳ පොළ ඒ පිළිබඳව මෙසේ ද කියා සිටියි.

කොටස් වෙළෙඳ පොළ ඉතිහාසයේ දෙවන ‍ඉහළම ශුද්ධ ‍විදේශීය ආයෝජනය වාර්තා ‍කරයි.

ජූලි මස 10 වෙනිදා වනවිට කොළඹ කොටස් වෙළෙඳ පොළෙහි මේ වසරට වාර්තා වූ ශුද්ධ විදේශීය ආයෝජන අගය රුපියල් බිලියන 22.8ක් ලෙස වාර්තා වෙමින් කොටස් වෙළෙඳ පොළ ඉතිහාසය තුළ දැනට වාර්තා වී ඇති දෙවන ඉහළම ශුද්ධ විදේශීය ආයෝජන ප්‍රමාණය වාර්තා කර ඇත. ජූලි 10 වන සඳුදා වන විට බිඳ දමනු ලැබූයේ වසර 2013 දී රුපියල් බිලියන 22.7ක් ලෙස වාර්තා වී තිබූ තෙවන ඉහළම ශුද්ධ විදේශීය ආයෝජන අගයයි. කොටස් වෙළෙඳ පොළ ඉතිහාසයේ වාර්තා වී ඇති ඉහළම ශුද්ධ විදේශීය ආයෝජන අගය වන්නේ වසර 2012දී වාර්තා වූ රුපියල් බිලියන 38.6ක ශුද්ධ විදේශීය ආයෝජන ප්‍රමාණයයි.

මේ වසරේ දැනට විදේශීය ආයෝජකයින් විසින් රුපියල් බිලියන 65.5ක කොටස් මිලට ගෙන ඇති අතර කොටස් විකුණුම්වල වටිනාකම රුපියල් බිලියන 41.7කි. වසර තුළ විදේශීය ගැනුම් ප්‍රමාණය විදේශීය විකුණුම් ප්‍රමාණය ඉක්මවා තිබේ. ඒ අනුව මේ වසර තුළ දැනට වාර්තා වී ඇති ශුද්ධ විදේශීය ආයෝජන ප්‍රමාණය රුපියල් බිලියන 22.8කි. මෙම වසරේ මාස 7ක් ගෙවීයාමටත් ප්‍රථමව මෙම වාර්තාගත අගය වාර්තා වී ඇති අතර වසර අවසන් වීමට තවත් මාස 5කට අධික කාලයක් පවතින බැවින් ඉතිහාසයේ වාර්තාවී ඇති ඉහළම ශුද්ධ විදේශීය ආයෝජන ප්‍රමාණය වන රුපියල් බිලියන 38.6ක අගය වසර අවසන් වනවිට බිඳවැටෙනු ඇතැයි අනුමාන කළ හැක. කෙසේ වෙතත් මෙහිදී සඳහන් කළ යුතු වැදගත් කරුණක් වන්නේ යම් හෙයකින් ඉදිරි මාස කිහිපය තුළදී විදේශීය ආයෝජකයින්ගේ විකුණුම් අගය ඉහළ නැඟුණහොත් ශුද්ධ විදේශීය ආයෝජන ප්‍රමාණය පහළ යා හැකි බවය.

මෙහිදී සඳහන් කළ යුතු තවත් වැදගත් කාරණාවක් වන්නේ අප්‍රේල් මාසයේ මුල සිට මේ දක්වා මේ වසර තුළ රුපියල් බිලියන 17ක් ඉක්මවා ශුද්ධ විදේශීය ආයෝජන ප්‍රමාණයක් වාර්තා වී ඇති බවය. එමෙන්ම කොටස් වෙළෙඳ පොළේ සමස්ත මිල දර්ශකය අප්‍රේල් මාසයේ සිට මේ දක්වා 12%කට අධික ප්‍රමාණයකින් ඉහළ යමින් අප්‍රේල් මාසයේ සිට මෙ දක්වා ලොව ඉහළ යෑම අතින් ප්‍රධාන කොටස් වෙළෙඳ පොළවල් අතරට එක්ව තිබේ.

ජයසිරි මුණසිංහ

 

නව අදහස දක්වන්න