ටෙස්ට් තරග බිමේ නව පරිච්ඡේදයක් චන්දිමාල්ගේ නායකත්වයෙන් | දිනමිණ

ටෙස්ට් තරග බිමේ නව පරිච්ඡේදයක් චන්දිමාල්ගේ නායකත්වයෙන්

ෆවුස් මොහොමඩ්
දිනේෂ් චන්දිමාල් සහ ග්‍රෙහැම් ක්‍රීමර්

දිනේෂ් චන්දිමාල්ගේ නායකත්වය යටතේ ටෙස්ට් තරග බිමේ නව පරිච්ඡේදයක් ආරම්භ කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම අද (14) ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී සංචාරක සිම්බාබ්වේ පිල සමග ටෙස්ට් තරගයට පිවිසෙයි. දෙපිල අතර පැවැති එක්දින තරගාවලියෙන් තරග 3-2ක අන්ත පරාජයක් අත්විඳීමෙන් පසුව එක්දින මෙන්ම ටෙස්ට් සහ විස්සයි20 නායකත්වයෙන් ඇන්ජෙලෝ මැතිව්ස් ඉවත්වීමෙන් පසුව ශ්‍රී ලංකා පිල තරග වදින්නේ පළමුවරටය.

අද පළමු වරට ටෙස්ට් පිටියේදී ශ්‍රී ලංකාව මෙහෙයවන චන්දිමාල් ඇතුලු ශ්‍රී ලංකා කණ්ඩායම හමුවේ ඇති අභියෝගය වන්නේ එක්දින තරගාවලියෙන් ලැබූ අන්ත පරාජයේ වේදනාව මකා දැමීම පමණක් නොව දැඩි මානසික පසුබෑමකට ලක්ව සිටින ක්‍රීඩකයන්ට නැවත නැගී සිටීමට අවශ්‍ය පසුබිම නිර්මාණය කිරීමය. ඒ සඳහා අද ඇරැඹෙන දෙපිල අතර එකම ටෙස්ට් තරගය ජයගැනීම ශ්‍රී ලංකා පිලේ එකම අධිෂ්ඨානය වී තිබේ.

කෙසේවෙතත් ශ්‍රී ලංකාවෙන් බිහිවූ ලෝක පූජිත දඟපන්දු යවන්නා වන මුත්තයියා මුරලිදරන්ගෙන් පසුව එම කාර්යය අකුරටම ඉටු කරමින් සිටින රංගන හේරත්ගේ මැජික් පන්දුවෙන් සංචාරක සිම්බාබ්වේ පිල දැඩි පීඩනයකට ඇද දැමීමට කදිම අවස්ථාවක් ඇති බැවින් එම අධිෂ්ඨානය සාර්ථක කරගැනීමට ශ්‍රී ලංකා පිලට හැකිවනු ඇත.

අද තරගයේදී වඩාත්ම පළපුරුදු තුරුම්පු දෙකක් යොදවන බව නායක චන්දිමාල් ඊයේ පැවැති මාධ්‍ය හමුවේදී කියා සිටියේය. රංගන හේරත් සහ ඩිල්රුවන් පෙරේරා එම තුරුම්පු දෙක බව ඔහු සඳහන් කළේය.

එක්දින තරගාවලියේදී වඩාත්ම සාර්ථක වූ පිතිකරු ධනුෂ්ක ගුණතිලක අද තරගයට ක්‍රීඩා කිරීම හෙට තීරණය කෙරෙන අතර ඉනිම ආරම්භ කිරීම උපුල් තරංගට සහ දිමුත් කරුණාරත්නට පැවැරෙනු ඇතැයි ඔහු සඳහන් කළේය.

අද තරගයේදී ශ්‍රී ලංකා පිල පිතිකරුවන් 7 දෙනකු සහ පන්දු යවන්නන් සිවුදෙනකුගෙන් ක්‍රීඩා කිරීමට සැලසුම් කර ඇති අතර අද උදෑසන තණතීරුව නිරික්ෂණය කිරීමෙන් පසුව තරගය සඳහා යොදවන වේගපන්දු යවන්නන්ගේ සංඛ්‍යාව තීරණය කෙරෙනු ඇත.

පසුගිය කාලය පුරා දැඩි ලකුණු අහේනියකට පත්ව සිටිය ද නායක චන්දිමාල් පැවැසුවේ ඒ දුර්වලතාව නැවත යථා තත්ත්වයට පැමිණ ඇති බැවින් සුපුරුදු දස්කම් දැක්වීමට බලාපොරොත්තු වන බවය.

නායකයා ලෙස පළමු වරට කණ්ඩායම මෙහෙයවමින් ටෙස්ට් ශතකයක් රැස් කිරිමේ දුර්ලභ අවස්ථාවක් චන්දිමාල් හමුවේ ඇති අතර අවසන් වරට ජාත්‍යන්තර ටෙස්ට් පිටියේ එම දස්කම පෑවේ පසුගියදා දකුණු අප්‍රිකාවට එරෙහිව ලෝඩ්ස් පිටියේදී එංගලන්ත පිලේ නායකයා ලෙස කටයුතු කළ සිය පළමු තරගයේදීම ශතකයක් රැස් කළ ජෝ රූට්ය. ඔහු එම තරගයේදී ලකුණු 190ක් රැස් කිරීමට සමත්වූ අතර තරගයේ ජයග්‍රහණය අත්කරගනිමින් වාර්තාපොතට එක්විය. අද ඇරැඹෙන ටෙස්ට් තරගයේදී ශතකයක් රැස් කිරීමට චන්දිමාල් සමත්වුවහොත් එය ජාත්‍යන්තර ටෙස්ට් පිටියේ නායකයා ලෙස කටයුතු කළ පළමු තරගයේදීම ශතකයක් ලැබූ ලොව 31 වැනි ක්‍රීඩකයා ඔහු වනු ඇත. එමෙන්ම මේ තරගය ජයගැනීමට සමත්වුවහොත් එය ද වාර්තාවක් වනු ඇත.

ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ පිල අතර මීට පෙර ටෙස්ට් තරගමාලා 7ක් පවත්වා ඇති අතර ඉන් 6ක්ම ජයගත්තේ ශ්‍රී ලංකාවය. එක් තරගාවලියක් නිමාවට පත්වූයේ ජයපැරදුමෙන් තොරවය. අද ඇරැඹෙන ටෙස්ට් තරගය දෙපිල අතර එක් තරගයකට පමණක් සීමාවන්නේ පළමුවරටය.

මෙතෙක් දෙපිල අතර පැවැති ටෙස්ට් තරග 17කින් 12ක් ජයගැනීමට ශ්‍රී ලංකාව සමත් විය. ඉතිරි තරග 5ම ජයපරාජයෙන් තොරව නිමාවට පත්විය.

අවසන් වරට පසුගිය වසරේ ශ්‍රී ලංකා පිලේ සිම්බාබ්වේ සංචාරයේදී රංගන හේරත්ගේ නායකත්වයෙන් තරග 2-0කින් තරගාවලිය ජයගැනීමට ශ්‍රී ලංකාව සමත් විය.

ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය - දිනේෂ් චන්දිමාල් (නායක), උපුල් තරංග, ඇන්ජෙලෝ මැතිව්ස්, නිරෝෂන් දික්වැල්ල, දිමුත් කරුණාරත්න, ධනුෂ්ක ගුණතිලක, කුසල් මෙන්ඩිස්, අසේල ගුණරත්න, රංගන හේරත්, ඩිල්රුවන් පෙරේරා, ලක්ෂාන් සඳකැන්, විශ්ව ප්‍රනාන්දු, සුරංග ලක්මාල්, දුෂ්මන්ත චමීර, ළහිරු කුමාර.

සිම්බාබ්වේ ටෙස්ට් සංචිතය - ග්‍රෙහැම් ක්‍රීමර් (නායක), රයන් බර්ල්, රෙගිස් චකබ්වා, ටෙන්ඩායි චටාරා, ක්‍රෙග් අර්වින්, හැමිල්ටන් මසකඩ්සා, පීටර් මුවර්, ක්‍රිස් මොෆූ, කාර්ල් මුම්බා, ටරිසායි මුසකන්ඩා, නට්සායි මුෂන්ග්වා, සිකන්දර් රාසා, ඩොනල්ඩ් ටිරිපානෝ, මැල්කම් වොලර්, නේදන් වොලර්, ෂෝන් විලියම්ස්

නව අදහස දක්වන්න