මිනිසුන් පාගන ලීසිං ෆිනෑන්ස් | දිනමිණ

මිනිසුන් පාගන ලීසිං ෆිනෑන්ස්

තුට්ටු දෙකේ පොළී ගෙවා ජනතාව රවටා අරමුදල් රැස්කර ගන්නා මුල්‍ය ආයතනවලින් ජනතාවට සිදුවන සෙතක් නැත. ජනතාව නගා සිටුවීමට මුල්‍ය ආයතන ක්‍රියා කළා නම් අප රටෙන් දුප්පත්කම දුරු වී හමාරය. මුල්‍ය ආයතන හේතුවෙන් අසරණ දරු පවුල් අඩි හයක් යටට ගිය අතර, මූල්‍ය ආයතන අහස උසට ගොඩනැගී නිලධාරීන් දිව්‍ය සැප විඳිනු පෙනේ.

කුසට හරිහමන් අහරක් නැතිව ලෙවකකා ඉතිරි කර ගන්නා තුට්ටු දෙකට ගිනි පොලියටත් ණයක් ගෙන ලීසිං මත වාහනයක් ලබා ගන්නේ අහස උසට අහිංසක පැතුම් පොඳි බැඳගෙනය. රාජ්‍ය යන්ත්‍රණයේ ස්ථාවර ප්‍රතිපත්තියක් නොමැති නිසා සියලු පැතුම් සුන්වී වාරිකද ඇරියස් වේ. එවිට සීසර් නමැති පාතාල කල්ලි යොදාගෙන වාහන පැහැර ගන්නා විට ලක්ෂ ගණනාවක ධනයක්ද අහිමි වී තවත් නඩුවක්ද හිස මතට පහත් වේ. මුල්‍ය ආයතන අභිමතයට වැඩ කටයුතු සිදුවේ. ඔවුන්ගේ ධනයට මහ බැංකුවද පොලිසියද ගොදුරුව ඇත. මෙවන් අවනඩු අසන දකින දෙවියෙක් කොහී සිටිත්ද? ජනතා ප්‍රශ්න යටගැසීමට ලිපි හුවුමාරුවනවා මිසක විසඳුමක් ලොවෙත් නැත.

සිංහල, ද්‍රවිඩ භාෂා රාජ්‍ය භාෂා වුවද ඉංග්‍රීසියෙන් තොර ගිවිසුම් ගසා ගැනීමට මූල්‍ය ආයතනවල ........ ගනුදෙනුකරුවන් සිටින බල ප්‍රදේශයේ අධිකරණවල නඩු පවරන්නේ නැතිව කොළඹ වෙනත් උසාවිවල නඩු පැවරීමේ කූට බලයද ඔවුනට පැවරී ඇත. සිතාසිද නිකුත් නොකොට ඒකපාක්ෂික තීන්දු ද ඔවුන් ලබා ගනී. පේදුරුතුඩුවේත්... දෙවුන්දර තුඩුවේ අයත් කොඹට ගාල් කිරීම පීඩිතයා තවත් පීඩාවට පත්කිරීමකි. එහි වාසියත් මුල්‍ය මකරුන්ටය.

වි‍ශේෂ ජනාධිපති කොමිසමක් ස්ථාපිත කර මුල්‍ය මාෆියාවට ගොදුරුවූවන්ගේ පීඩනය දුරුකර සාධාරණත්වය ඉටුකළ යුතුය. එවිට ආයතනවල දූෂිත ක්‍රියා හෙලිවනු ඇත.

ජේ. කණ්ඩම්බි
නායක
නව ජාතික පෙරමුණ

නව අදහස දක්වන්න