පළාත් පාලන ආයතන විසුරුවා ඇති නිසා අනවසර ඉදිකිරීම් වැඩිවෙලා | දිනමිණ

පළාත් පාලන ආයතන විසුරුවා ඇති නිසා අනවසර ඉදිකිරීම් වැඩිවෙලා

කෝට්ටේ මධ්‍යම සමූහ නන්ද. ඒකනායක

පළාත් පාලන ආයතන සතුව තිබූ බලතල විසුරුවා හැරීම නිසා අද කෝට්ටේ නගර සභා බල ප්‍රදේශයේ අනවසර ඉදිකිරීම් වැඩිවී ඇත. මේ නිසා වැලිකඩ පොලිසිය අසල ඇති නගර සභාව සතු පර්චස් 36ක ඉඩමක් නගර සභාවට අහිමි වන තත්ත්වයක් දකින බව කෝට්ටේ ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සම සභාපති හා හිටපු නගරාධිපති ජනක රණවක මහතා පැවැසීය.

‍කෝට්ටේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී මාසික සම්බන්ධීකරණ රැස්වීම පැවැත්විණි.

මෙම ඉඩම අසලින් පාරක් දමා තිබෙන බවද නගර සභාවට මේ දක්වා කිසිදු ක්‍රියාමාර්ගයක්ගැනීමට නොහැකිව පසුවන බවද කී රණවක මහතා, අද වනවිට මෙම ඉඩමේ පර්චස් එකක් රුපියල් ලක්ෂ 50ක් වැනි වටිනාකමක් ඇති බවද සඳහන් කර සිටියේය.

නගර සභාව සතු මෙම ඉඩම නාගරික සංවර්ධන අධිකාරියේ ප්‍රයෝජනය සඳහා ලබාගැනීමට හැකියාව තිබෙන බවද නුගේගොඩ දුම්රිය ස්ථානයට නුදුරින් කිරි කඩයක් දමා තිබෙන බවද, එයට නගර සභාවෙන් අනුමැතියක් ලබාගෙන නැති බව දැනගන්නට ඇතැයිද රණවක මහතා කීය.

පාර්ලිමේන්තුවට ප්‍රවේශ වන පොල්දූව හන්දියේ සිට රාජගිරිය බණ්ඩාරනායකපුර ළමා ක්‍රීඩාංගණය දක්වා වූ ප්‍රධාන මාර්ගය දෙපස දර්ශනීය ප්‍රදේශයක් බවට පත්කිරීමට රජයේ සැලකිල්ල යොමුවිය යුතු බවද රණවක මහතා තවදුරටත් පැවැසීය.

නුගේගොඩ සෞඛ්‍ය කොට්ඨාසය භාර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනී නන්දිතා අබේගුණවර්ධන මහත්මිය -

කසළ කළමනාකරණය පිළිබඳව යහපත් දැනුමක් සාමාන්‍ය මහජනයා තුළ නොමැති බව කියා සිටියාය. සියලුම කසළ එක තැනකට දමා පුලුස්සන තත්ත්වයක් බොහෝදුරට දකින්නට තිබෙන බවද නිවාස තුළට එන මදුරුවන් මර්දනය කිරීම සඳහා බොහෝදෙනා මදුරුකොයිල් දැල්වීමේ ක්‍රමවේදයකට හුරුවී තිබෙන බවද කීවාය. එය හරියට සිගරැට් බොනවා වගේ දෙයක්. “කැන්සර්” වැනි ලෙඩ රෝග හදාගැනීමක් එයින් සිදුවන බව කිව යුතුයි.

ක්‍රම සම්පාදන සහකාර අධ්‍යක්ෂිකා ආර්. එල්. සුනීතා මහත්මිය -

ගංගොඩවිල ග්‍රාම සංවර්ධන සමිතිය මඟින් ක්‍රියාත්මක කරන කාන්තා ස්වයං රැකියා පාඨමාලාව සඳහා මූලික කටයුතු මේ වනවිට ක්‍රියාත්මක කර ඇති බවද කෝට්ටේ මහ නගර සභාවේ ව්‍යාපෘති 18ක් සඳහා මූලික කටයුතු ආරම්භ කර ඇති බව ප්‍රකාශ කළාය.

බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතා විසින් ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ ස්වයං රැකියාවල යෙදී සිටින පිරිසකට රුපියල් ලක්ෂයක මුදලින් අදාළ උපකරණ ලබාදී ඇති බවද මෙහිදී අනාවරණය විය.

කෝට්ටේ ප්‍රාදේශීය ලේකම් අමල් ජේ. එදිරිසූරිය මහතාද, ජනතා නියෝජිතයින් රැසක්ද මේ අවස්ථාවට සහභාගි වූහ.

නව අදහස දක්වන්න