පාලින්දනුවර පැල්පොළ දෙදරු පියකු ඝාතනය | දිනමිණ

පාලින්දනුවර පැල්පොළ දෙදරු පියකු ඝාතනය

මියගිය දිමුතු

අඹුසැමියන් ඇතුළු එකම පවුලේ 12ක් රිමාන්ඩ්

පාලින්දනුවර කෙළින්කන්දේ පැල්පොළ පදිංචි දෙදරු පියකු ඔහුගේ නිවෙසින් එළියට ඇද කැත්තෙන් කපා කොටා පොලුවලින් පහරදී අමානුෂික ලෙස ඝාතනය කර තිබේ. මේ සිද්ධිය සම්බන්ධයෙන් නිවෙස ආසන්නයේ පදිංචි අඹු සැමියන් සහ පාසල් සිසුවකු ඇතුළු දොළොස්දෙනකු බදුරලිය පොලිසිය අධිකරණයට ඉදිරිපත්කොට තිබේ. මතුගම මහේස්ත්‍රාත් වසන්ත කෝසල සේනාධීර මහතා විසින් එම සැකකරුවන් රිමාන්ඩ් භාරයේ තැබීමට නියෝග කරන ලදී.

මෙලෙස කපා කොටා ඝාතනය කර ඇත්තේ කෙලින්කන්ද පැල්පොළ පදිංචි තිස් දෙහැවිරිදි මන්ත්‍රිලාගේ දිමුතු සුරංග නමැති පුද්ගලයෙකි.

මේ ඝාතනය සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයට පත්වූයේ පැල්පොළ පදිංචි මිය ගිය අයගේ ඥාතීන් පිරිසකි. මේ සැකකරුවන් අතරේ අඹුසැමියන්, පාසල් සිසුන් සිටින බවද පොලිසිය කියයි. මියගිය අයට පහරදෙන අවස්ථාවේ නිවෙසට පැමිණ කළහකාරී සිද්ධියට සම්බන්ධවීම හේතුවෙන් මේ පිරිස රිමාන්ඩ් භාරයට පත්වූහ.

මියගිය දෙදරු පියාගේ බිරිය වන කුරුඳුතාරගේ සුජීවා සමන්ති (27) තම ස්වාමියාගේ හදිසි වියෝවෙන් දුක වේදනාව හදවතේ දරාගෙන ඇඬූ කඳුළින් මෙසේ කීවාය. කෙලින්කන්ද පැල්පොළ ඉතාමත් දුෂ්කර ප්‍රදේශයක මම දිමුතු එක්ක මහත් දුෂ්කර ජීවිතයක් ගත කළේ. අපි පුංචි පැල්පතක තමයි ජීවත්වුණේ.

නමුත් දිමුතු මේ දුෂ්කර ගම්මානයේ ගම්වාසීන් වෙනුවෙන් කැපවුණා. සමාජ සේවා කටයුතු ඉටුකළා. නමුත් ඔහු සමඟ අවට පදිංචිකරුවන් වෛරයෙන් පළිගැනීමේ අදහසින් සිටියා කියලා දැනගෙන සිටියේ නැහැ.

මේ නිවෙස ආසන්නයේ ඇති මාකෙළිඇල්ලේ සිදුවන අවාසනාවන්ත සිදුවීම්වලට සෑහෙන කැපවෙලා උදව් උපකාර කරනවා. පොදු කටයුතුවලදී මුල්වෙලා වැඩ කළා.

මේ ළඟදී මේ දුෂ්කර ගමේ මාර්ගය හදාගන්න නිතරම කතා බහ කළා. එයා මුදල් වංචාවලට හොර වැඩවලට කැමති නැහැ. මේ ගමේ කෙළවරේ තිබෙන පෞද්ගලික විදුලි යෝජනා ක්‍රමයකින් මේ මාර්ගය හදන්න මුදල් ලැබුණා. දිමුතු වංචාවකින් තොරව සියලු මුදල් යොදලා මාර්ගය හැදුවා. මේකට අවට අය එතරම් කැමැත්තක් නැහැ. මුදල් ගසාකන්නයි හිටියේ.

මේ වැඩේ කරලා ගතවුණේ දින කිහිපයයි. අපි දන්නේ නැහැ මේ අය දිමුතුව මරන්න සංවිධාන වෙලා ඉඳලා කියලා. එයාලා එයාගේ නෑදෑයොත් වෙනවා. රාත්‍රියේ එකවරම නිවෙසට කඩා පැනලා මටත් පහරදීලා දිමුතුව ඇදලා අරන් මේ ඝාතනය කළා. මට රෝහලට ගෙනියන්න ඉඩදුන්නේ නැහැ. මම කෑගහලා ලතෝනි දීලා මගේ සහෝදරයෝ එක්ක ඇවිල්ලා තමයි ත්‍රීවීලරයකින් රෝහලට ගෙන ගියේ. ඒ යන අතරේ මගේ උකුලේ අවසන් හුස්ම හෙළුවා කියලා මට තේරුණා. නමුත් බුලත්සිංහල රෝහලට ගෙන ගියා. වෛද්‍යවරු පරීක්ෂා කර මියගොස් ඇති බව දැනුම් දුන්නා.

දිමුතු අවාසනාවන්ත ලෙස මිය ගියේ ගමේ පොදු අවශ්‍යතා ඉටුකරන්න ගිහින්. දැන් මමත් මගේ දරු දෙන්නාත් තනිවුණා. මේ වේදනාව දුක කවදාවත් මගේ ජීවිතයේ අමතක වන්නේ නැහැ.

මතුගම අධිකරණයේ වැඩබලන මහේස්ත්‍රාත් සුසන්ත ජයසිංහ මහතා කෙලින්කන්දට ගොස් මහේස්ත්‍රාත් පරීක්ෂණය පැවැත්වූවේය. නාගොඩ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි එල්. බී. ප්‍රනාන්දු මහතා පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වා කැපුම් තුවාලවලින් අධික රුධිර වහනයෙන් සිදුවූ මරණයක් ලෙස තීරණය කළේය.

කළුතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි උපුල් නිල්මිණි ආරියරත්න මහතාගේ මෙහෙයවීමෙන් බදුරලිය පොලිස් ස්ථානාධිපති යූ. පී. එල්. උඩවත්ත, අපරාධ අංශයේ ස්ථානාධිපති ජනශ්‍රී යන මහත්වරු ඇතුළු නිලධාරීහු පිරිසක් පරීක්ෂණ මෙහෙයවති. 

මතුගම සංචාරක 

 

නව අදහස දක්වන්න