බොරලැස්ගමුවේ අඩු ආදායම්ලාභී කතුන්ට මහන මැෂින් | දිනමිණ

බොරලැස්ගමුවේ අඩු ආදායම්ලාභී කතුන්ට මහන මැෂින්

කැස්බෑව සංචාරක ධර්මසිරි සුරවීර

2017 වර්ෂය දිළිඳුකම පිටුදැකීමේ වර්ෂය ලෙස රජය විසින් ප්‍රකාශයට පත්කර ඇත. ඒ අනුව කැස්බෑව ශ්‍රීලනිප සංවිධායක කැස්බෑව ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේ සම සභාපති චන්දන කත්‍රිආරච්චි මහතාගේ යෝජනාවක් පරිදි බොරලැස්ගමුව නගර සභාව මඟින් එම බල ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල්වල කාන්තාවන්ට ස්වයං රැකියාවක් සඳහා මහන මැෂින් බෙදාදීමක් පසුගියදා එම නගර සභා කාර්යාලයේදී චන්දන කත්‍රිආරච්චි මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණි.

බොරලැස්ගමුව නගර සභාවේ සංවර්ධන සහකාර සුදර්ශනී කුලසේකර මහත්මිය විසින් මෙය සංවිධානය කර තිබූ අතර එහිදි චන්දන කත්‍රිආරච්චි මහතා අදහස් දක්වමින්, මෙම යුගයේ විවිධාකාර දේශපාලන මතවාදයන් තිබෙන බවත් ඒ මතවාදයන් නගර සභාව තුළට වද්දා ගැනීමට අවශ්‍ය නැති බවත්, සියලුදෙනාගේම වගකීම ජනතාව වෙනුවෙන් සේවය කිරීම බවත් පැවැසීය.

රටේ නායකයා හැටියට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාත්, පළාත් පාලන ආයතනවල නායකයා හැටියට මහ ඇමැතිතුමාත් ප්‍රදේශයේ නායකයා හැටියට සංවිධායකවරයාත් සිටින බවත් ඒ නිසා රජය විසින් ගනු ලබන තීන්දු තීරණ ඉදිරියට ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය සහයෝගය තමුන්නාන්සේලා විසින් රජයට නොඅඩුව ලබාදිය යුතු බවත් පැවැසීය.

කොළඹ දිස්ත්‍රික් ශ්‍රීලනිප සංවිධායක අනුර අතුකෝරල මහතා කියා සිටියේ මෙම සත්කාරය සඳහා අඩු ආදායම්ලාභී පවුල්වල කාන්තාවන් තෝරා ගැනීමේදී දේශපාලන වශයෙන් කිසිදු බලපෑමක් නොකළ බවයි. මහජන මුදලින් අද මේ ලබාදෙන මහන මැෂින් උපයෝගී කරගෙන ස්වයංරැකියාවක් කර ස්වශක්තියෙන් නැගී සිටීමට උත්සාහ දරන ලෙස ඉල්ලීමක් කරන බවද කියා සිටියේය.

බොරලැස්ගමුව නගර සභාවේ ලේකම් ඒ. එම්. පියදාස මහතාද මෙහිදී අදහස් දැක්වීය.

මේ අවස්ථාවට බස්නාහිර පළාත් සභාවේ හිටපු මන්ත්‍රී කේ. ගාමිණී ද සිල්වා, බොරලැස්ගමුව නගර සභාවේ හිටපු මන්ත්‍රී විශ්ව අලුත්ගේ, බොරලැස්ගමුව නගර සභාවේ වැඩ අධිකාරි එම්. ආර්. ඒ. පී. එම්. කුමාර‍, සංවර්ධන සහකාර සුදර්ශනී කුලසේකර යන මහත්ම මහත්මීන් ඇතුළු නිලධාරින් රැසක් සහභාගි වූහ.

නව අදහස දක්වන්න