ලෝක උරුමයේ අලුත් ලැයිස්තුව | දිනමිණ

ලෝක උරුමයේ අලුත් ලැයිස්තුව

ධම්මික සෙනෙවිරත්න

යුනෙස්කෝ ‍ලෝක උරුම ලැයිස්තුවට තවත් ස්ථාන 22 ක් අලුතෙන් එකතු විය. ජූලි 9 – 12 දිනවල පැවැති ලෝක උරුම කමිටුවේ 41 වැනි සැසිවාරයේදී ඒවා ප්‍රකාශයට පත් කෙරිණි. ජූලි 9 වැනි දා සිට ක්‍රියාත්මකවන පරිදි එය බලපැවැත්වේ. නව ස්ථාන 22 අතර ඇංගෝලාව, එරිත්‍රියාව සහ අප්‍රිකාවේ උරුම ද ඇතුළත්ය. ඒ අතරින් ඇංගෝලාව සහ එරිත්‍රියාව ‍ලෝක උරුම ලැයිස්තුවට ඇතුළත්ව සිටින්නේ පළමු වතාවටය.

1 ඇ‍ප්‍රෝඩිෂියස් -තුර්කිය

තුර්කියේ නිරිතදිග ප්‍රදේශයේ ‍මොර්සිනස් නදියට ඉහළ  නිම්නයේ පිහිටා තිබේ. ඇප්‍රොඔයිට් දේවස්ථානය 3 වැනි සියවසේදී ඉදිකරන ලද්දකි. නගරය ඊට සියවසකට පමණ පසු ඉදිකර තිබේ. පූජනීය ස්ථාන,  රංග ශාලාවක්, ස්නානය සඳහා වෙන් වූ ස්ථාන 2ක් ආදිය එහි දැකගත හැකිය .

2. අස්මාරා : අප්‍රිකාවේ නූතන නගරය, - එරිත්‍රියාව

මුහුදු මට්ටමේ සිට මීටර් 2000ක් පමණ ඉහළින් පිහිටා තිබේ. 1890 ගණන්වල සිට එරිත්‍රියාවේ අගනගරය වශයෙන් දියුණු විය. ඉතාලි යටත් විජිත ආධිපත්‍ය යටතේ හමුදා කඳවුරක් ස්ථපිතව තිබිණි. නිවාස මෙන්ම වාණිජ ගොඩනැඟිලිද, දේවස්ථාන, සිනමාශාලා, හෝටල් ආදිය එහි ඉදිවිය. 1893 – 1941 වකවානුවේදී ස්වදේශිකයන් ඉදිකළ සැලසුම් නොකළ ඉදිකිරීම්ද ඊට එක්විය. 20 වැනි සියවස ආරම්භයේදී දියත්වූ නූතන නාගරීකරණ වැඩපිළිවෙළට ප්‍රශස්ත නිදසුනකි.

3 ස්වියාජක්හි දෙව්මැදුර සහ පූජක ආශ්‍රසව -රුසියානු සමූහාණ්ඩුව

වොල්ගා සහ ෂුකා නදී එකට මුණගැසෙන දෙමෝදර ආශ්‍රිතව පිහිටා තිබේ. සේද මාවත සමඟ ද සම්බන්ධය . වර්ෂ 1552 දී ඉවාන් රජ සමයේ ඉදිකරන ලද්දකි. 4 වැනි ඉවාන් සාර් රජ සමයේ දියත්වූ දේශපාලන මෙන්ම මිෂනාරි වැඩසටහන් පිළිබඳ සාධක එහිදී දැකගත හැකිය. දේවස්ථානයේ පෙරදිග ඔර්තඩොක්ස් සම්ප්‍රදායට අයත් බිතුසිතුවම් ද තිබේ.

4. ස්වාබියන් ජුරා හි ගල්ගුහා සහ අරිෂ් යුගය අයත් සිතුවම් - ජර්මනිය

නූතන මානව පළමුවෙන් යු‍රෝපයට පැමිණ ඇත්තේ මීට වසර 43000කට ඉහතදී අවසන් අයිෂ් යුගයේදීය. එසේ සංක්‍රමණයවූ ඔවුන්ගේ මුලින් ජනාවාසය වූ ස්ථානයක් වන මෙය දකුණු ජර්මනියේ පිහිටා තිබේ. වර්ෂ 18 60ගණන් වලදී සිදුකළ කැණීම් වලින් ගුහා 6ක් මතුකර ගැනිණි. සිංහයන් , ඇතුන්, අසුන්, ගවයන් ආදී සතුන්ගේ රූ සටහන් එම චිත්‍ර අතර දැකිය හැකිය. ආදී මානවයාගේ සෞන්දර්යාත්මක හැකියාවන් මනාව පිළිබිඹු වන ස්ථානයකි.

5. හෙබ්‍රොන් / අල් ඛලීල් පැරැණි නගරය -පලස්තීනය

හෙබ්‍රොන් පැරැණි නගරයේ ඉදිකිරීම් කර ඇත්තේ හුණුගලිනි. ඒ, වර්ෂ 1250 – 1517 අතර වකවානුවේදීය. පළමුවැනි සියවසේදී කළ ඉදිකිරීම්ද තිබේ. යුදෙව් ක්‍රිස්තියානි සහ ඉස්ලාම් යන ආගමික  කණ්ඩායම් 3 ක්ම මේ ස්ථානය වන්දනා කරති .

6 අහමදාබාද් ඓතිහාසික නගරය ඉන්දියාව

පවුරකින් වටව ගොඩනැඟුණු නගරයකි. 15 වැනි සියවසේදී සුල්තාන් අහමඩ් රජු විසින් ගොඩනගනු ලැබීය. සබර්වතී ගංඟාවේ නැ‍ඟෙනහිර ඉවුර අසබඩ නගරය ස්ථාපිත කෙරිණි. වර්තමානයේදී ද සුල්තාන් රාජ්‍ය සමයට අයත් පුරාවිද්‍යාත්මක උරුමයන්ගෙන් පොහොසත් පෙදෙසක් ලෙස දිස්වේ. හින්දු සහ ජෛන ආගමික සිද්ධස්ථාන, මුස්ලිම් පල්ලි සහ සොහොන් මෙන්ම සම්ප්‍රදායික නිවාස ( pols) හා සම්ප්‍රදායක වීදිද (Puras) දැකගත හැකිය. ගුජරාටයේ අග නගරය ලෙස මේ දක්වාම එය දියුණුව කරා පියනැඟීය.

7. යාෂ්ඩ් පුරාණ නගරය - ඉරානය

ඉස්ෆහාන් සිට කි. මී. 270 ක් පමණ ගිණිකොණදෙසින් ඉරාන සානු‍වේ මධ්‍ය ප්‍රදේශයේ පිහිටි පුරාණ නගරයකි. සේද මාවතට සමීපව පිහිටා තිබේ. කාන්තාරබද ප්‍රදේශයක සිටින සම්පත්වලින් ජීවිතය ගෙනයාම පිළිබඳ ජීවමාන සාක්ෂියක් ලෙස එය සැළැසිණි. නගරය දක්වා ජලය පරිවහනය කළේ විශේෂ ක්‍රමයකටය. සාම්ප්‍රදායික නිවාස, පල්ලි, යුදෙව්හල් ආදියට අමතරව දොළොස් - අබාද් ඓතිහාසික උද්‍යානය පිහිටා ඇත්තේ එහිය. නවීකරණය මඟින් මැටියෙන් සාදන ලද ඉදිකිරීම් බහුල පුරාණ නගර බොහොමයක් විනාශය කරා ගෙනගොස් ඇතත් යෂ්ඕ නගරය සුරැකිව තිබේ.

8. කුජාටා ග්‍රීන්ලන්ඩ් - ඩෙන්මාර්කය

ග්‍රීන්ලන්තයේ දකුණු දිගට වන්නට පිහිටි ගොවිබිමකි. නෝර්වීජියානු, පරම්පරාගත දඩයක්කරුවන් හා ගොවින්ගේ සංස්කෘතික උරුමයන් එහි ශේෂව තිබේ. 10 වැනි සියවසේ පමණ පටන් ඔවුහු එහි වාසය කළ හ. ආක්ටික් ප්‍රදේශයේ මුල්ම කෘෂිකාර්මික කටයුතු සිදුකර ඇත්තේද ඔවුන් විසිනි. යුරෝප‍යේ නෝර්වීජියානු ජනාවාස ව්‍යාප්තියද මේ සමඟ සිදුවිය.

9. කුලංශ්ෂු -චීනය

ඩියුලංග් ගංගාවේ මෝය ආශ්‍රිතව පිහිටි ඉතා කුඩා දූපතකි. එය ෂියාමෙන් නගරයට මුහුණලා පිහිටා ඇත. වර්ෂ 1843 දී ෂියාමෙන් වාණිජ වරාය විවෘතවීම හා වර්ෂ 1903 දී මෙම දූපත පිළිබඳ අන්තර්ජාතික වශයෙන් සමථයකට පත්වීමත් සමඟ චීනය හා විදේශයන් අතර සම්බන්ධතාවන්ට අදාළව එය වැදගත් සමුළුවක් බවට පත්විය. සංස්කෘතිකමය වශයෙන් ඇතිවූ වෙනස්කම් සම්බන්ධයෙන් කුලංශ්ෂු විශේෂිත නිදසුනකි. එහි ගොඩනැඟිලිවල ගෘහනිර්මාණ ශිල්පීය ලක්ෂණ ෆියුජිං යානු, බටහිර සම්භාව්‍ය, යටත්විජිත පුනරුද ආදී ‍බොහොමයක සංකලනයක් විය.

10. බන්ෂා ‍කොංගෝ - පුරාණ කොංගෝ රාජධානියේ අගනුවර නෂ්ටාවශේෂ - ඇංගෝලාව

මුහුදු මට්ටමේ සිට මීටර් 570ක් උසින් පිහිටි සානුවේ මේ නගරය ස්ථාපිතව තිබිණි. එය කොංගෝ රාජධානියේ දේශපාලන මෙන්ම ආධ්‍යාත්මික අගනගරයයි. එය 14 – 19 වෙනි සියවස්වල දකුණු අප්‍රිකාවේ පිහිටි විශාලතම සංස්ථාපිත රාජ්‍යයක් විය. රජමාළිගා, අධිකරණ සංකීර්ණ, රාජකීය සොහොන් බිම්, ශුද්ධවූ වෘක්ෂය ආදිය එහි පිහිටා තිබිණි. 15 වෙනි සියවසේදී සිදුවූ පෘතුගීසි ආක්‍රමණයන් සමඟ ගලින් කළ ගොඩනැඟිලිද ඉදිවිය.

11. ඔකිනොෂිමා, පූජනීය දූපත සහ මුනකතා පළාතේ ඊට සම්බන්ධ ස්ථාන - ජපානය

කියුෂු දූපතේ සිට කි. මී. 60 ක් බටහිරට වන්නට පිහිටා තිබේ. පූජනීය දූපතක් වන මෙය සාම්ප්‍රදායික ආගමික වත් පිළිවෙත් පිළිබඳ සුවිශේෂ නිදර්ශනයක්ද වේ. මහා සිද්ධස්ථානය පිහිටා ඇත්තේ මුනකතාහිය. ජපානය, කොරියාව සහ අනෙකුත් ආසියානු ජාතීන් අතර සම්බන්ධතා ගොඩනැඟීමෙහිලාද මේ දූපත වැදගත් විය. අදටද එය පූජනීයත්වයෙන් සැලකේ.

12. තපුත පුවතෝ - ප්‍රංශය

පොලිනීසියානු ත්‍රිකෝණයේ මධ්‍යයට වන්නට පිහිටි දූපතකි. වැඩි කොටසක් පැසිෆික් සාගරයට අයත්ය. වනාන්තර මිටියාවත් 2ත්, කලපුවත් සහ කොරල්පරයත් මෙන්ම විවෘත සමුද්‍ර තීරයක්ද එහිදී දැකිය හැකිය. ගල් අතුරා සැකසූ මැදමිදුලක් ඇති අතර එය මධ්‍යයේ විශාල ගල්කුලුනකි. දේශපාලනික මෙන්ම මංගල - අවමංගල කටයුතු සඳහා ‍වෙන්වූ මධ්‍යස්ථානයක්ද එහි වේ.

13. ටර්නොව්ස්කි ගෝරි ඊයම්, රිදී, සින්ක් ආකර සහ භූගත ජල කළමණාකරණ පද්ධතිය - පෝලන්තය

දකුණු පෝලන්තයේ පිහිටා ඇති මෙය මධ්‍යම යුරෝපයේ ප්‍රධාන ආකරයක් ලෙස සැලකේ. පද්ධතියේ වැඩි කොටස භූගතව පිහිටා ඇත. 19 වැනි සියවසට අයත් වාෂ්ප ජල පොම්පාගාර මධ්‍යස්ථානයක්ද මෙහිදී දැකිය හැකිය. ලෝකයේ සමස්ත ඊයම් සහ සින්ක් නිෂ්පාදනයෙන් සැලකිය යුතු කොටසක් සැපයෙන්නේ මේ ආකරයෙනි.

14. සම්බෝ ප්‍රෙයිකුත් විහාර පෙදෙස හා ඉෂාන්පුරා හි පුරාවිද්‍යාත්මක ස්ථාන - කාම්බෝජය

සශ්‍රීක වනාන්තරයේ පිහිටි පූජනීය ස්ථානය යනුවෙන් ඛෙමර් බසින් මෙය හැඳින්වේ. 6, 7 සියවස්වලට අයත් බව සැලකේ. වර්ග කි. මී. 25 ක පමණ භූමි භාගයක පිහිටා ඇත. පූර්ව - අංග්සෝර් සම්ප්‍රදායට අයත්ය. මෙහි භාවිත ගෘහනිර්මාණ ශිල්පීය මෙන්ම කලාත්මක ලක්ෂණ අතිවිශිෂ්ට ඛෙමර් ශෛලියකට මඟ පෙන්වයි.

15. ඉංගිරිසි ලේක් දිස්ත්‍රික්කය - එක්සත් රාජධානය සහ උතුරු අයර්ලන්තය

මනරම් කඳුකර පෙදෙසකි. මෙහි පිහිටි නිම්න බිම් අයිෂ් යුග‍යේ ග්ලැෂියර් හේතුවෙන් නිර්මාණය වූ ඒවාය. සොබාවිකත්වය සේම මිනිසා විසින් කළ වෙනස්කම් ද එක්වී සුන්දර භූවිද්‍යාත්මක දසුන් මැවී ඇත. එහි ඇති නිවාස උද්‍යාන ආදී සියල්ල එම සුන්දරත්වය තීව්‍ර කිරීමට බලපා තිබේ. 18 වැනි සියසේ පටන්ම කවීන්ගේ චිත්‍රශිල්පීන්ගේ හා ලේඛකයන්ගේ නොමඳ ආකර්ෂණයට ලක්වූ බිම් පෙදෙසකි.

16. මැලොංගෝ වාප්පු පුරාවිද්‍යාත්මක පෙදෙස - බ්‍රසීලය

රියෝද ජැනිරෝ නගර මධ්‍යයේ පිහිටා තිබේ. කලින් පැවැති වරාය පරිශ්‍රයයි. මෙම වාප්පු අප්‍රිකානු වහලුන් වෙනුවෙන් ඉදිකළ ඒවාය. පුරාවිද්‍යාත්මක ස්ථාන කිහිපයක්ම කැණීම් වලදී හඳුනාගෙන ඇත. අමෙරිකානු අර්ධද්වීපයට රැගෙන ආ වහලුන් පිළිබඳ ‍මෙහිදී වැදගත් පුරාවිද්‍යාත්මක සාධක හමුවිය.

17. 15 - 17 සියවස්වල වැනීසියානු ආරක්ෂක කටයුතු ක්‍රොඒෂියාව , ඉතාලිය, මොන්ටිනීග්‍රෝ

එම ආරක්ෂක කාර්යයන්ට අදාළව ‍කොටස් 15ක් පමණ හඳුනාගෙන ඇත. එම කාර්යයන් ඉතාලියේ සිට කි. මී. 1000කටත් වඩා වැඩි දුරකට ව්‍යාප්තව තිබිණි.

18. කොමානි සංස්කෘතික භූ දර්ශනය ද. - අප්‍රිකාව

බොම් ස්ථානා - නැමීබියා දේශසීමාව ආශ්‍රිතව පිහිටා තිබේ කලහාරි ජෙම්ස්බොක් ජාතික උද්‍යානයට සම්බ න්ධය. වසර දහස් ගනණක් තිස්සේ මේ ආශ්‍රිත ජන කොටස්වල ජීවන රටා පිළිබඳ එය සාක්ෂි දරයි.

19 . ඔවුරියා භූ දර්ශන - මොංගෝලියාව

මොංගෝලියාව සහ රුසියානු සමූහාණ්ඩුව අතර බෙදී පවති. පුළුල් විවිධත්වයකින් යුතු පරිසර පද්ධතියකි. වනාන්තර, තණ බිම්, තෙත්බිම්, විල් ආදියෙන් සමන්විතය. දුර්ලභ ශාක හා සත්ව විශේෂවලට වාසස්ථානයකි.

20. ‍ලොස් ඇලර්සස් ජාතික උද්‍යානය - ආජන්ටිනාව

චිලී දේශසීමාවටද එක් දිශාවකින් සම්බන්ධය. ග්ලැ ෂියර් කුහර මෙන්ම පිරිසිදු ජල පිරි විල් ද දැකිය හැකිය. වඳවීයාමේ තර්ජනයට ලක්ව ඇති සත්ව හා ශාක වි‍ශේෂ ගණනාවකට රැකවරණ සළසන බිම් පෙදෙසෙකි.

21. කිංග්හායි හෝ ෂිල් - චීනය

කිංග්හායි - ටිබෙට් සානුව ආශ්‍රිත ව පිහිටා ඇත. මෙය ලොව විශාලතම හා උසින්ම පිහිටි සානුවය. මුහුදු මට්ටමේ සිට මීටර් 4500 ක් පමණ ඉහළින් පිහිට යි. වසර පුරාම අවට උෂ්ණත්වයක් පවතින එහි භූවිද්‍යාත්මක මෙන්ම, දේශගුණින තත්ත්වය ඊටම ආවේණික ජෛව විවිධත්වයකින් යුතු පරිසරයකින් නිර්මාණය කිරීමට හේතු වී තිබේ. එහි ඇති ශාක විශේෂ අතරින් 2/3 කට වැඩි ප්‍රමාණයක් මෙන්ම ශාකභක්ෂක ක්ෂීරපායි විශේෂ ‍මෙම උස් භූමියටම ආවේණිකය. දුර්ලබ සත්ව විශේෂයක් බවට පත්ව ඇති ටිබෙටියානු ඇන්ටිලොප්ද මෙහි ජීවත් වෙයි.

22. වයිමාර්හි Bauhaus පාසල සහ Dessan සහ Bermau - ජර්මනිය

Bauhaus පාසලේ පළමු අධ්‍යක්ෂවරයාවූ වෝල්ටර් ග්‍රොපියස් ගේ අධීක්ෂණය යටතේ ඉදිවිය. අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන්ගේ අධ්‍යාපනය සඳහා වෙන්වූ පාසලක් ලෙස මෙය ඉදි කෙරිණි. 20 වැනි සියවසේදී ගෘහනිර්මාණශිල්පයේ විප්ලවීය වෙනස්කම් ඇතිකිරීමට තරම් මෙය බලපෑවේය.

UNESCO ඇසුරිනි

නව අදහස දක්වන්න