ශ්‍රී ලංකා-බංග්ලාදේශ රාජ්‍ය නායකයෝ හමු වෙති | දිනමිණ

ශ්‍රී ලංකා-බංග්ලාදේශ රාජ්‍ය නායකයෝ හමු වෙති

දෙරට අතර නව ආර්ථික, වෙළෙඳ සබඳතා රැසකට මුල පිරේ

අතීතයේ සිට අවංක මිතුරන් වූ ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් පදනමක් ඔස්සේ ඉදිරියට ගෙන යාමට දෙරටේ රාජ්‍ය නායකයෝ සපථ වෙති. බංග්ලාදේශයේ තෙදින රාජ්‍ය සංචාරයක නිරත වු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා බංග්ලාදේශ අගමැතිනි ෂෙයික් හසීනා මහත්මිය අතර නිල හමුව ඊයේ (14) පෙරවරුවේ සිදු වූ අතර එහි දී රාජ්‍ය නායකයින් මේ බව අවධාරණය කළහ. බංග්ලාදේශ අගමැති කාර්යාලය වෙත පැමිණි ජනාධිපතිතුමා අගමැතිනි ෂෙයික් හසීනා මහත්මිය ඉතා සුදශීලිව ලෙස පිළිගත්තාය. රාජ්‍ය නායක දෙපළ අතර සුහද හමුවකින් අනතුරුව දෙරට අතර ද්වීපාර්ශ්වික සාකච්ඡා ආරම්භ කෙරිණි. බංග්ලාදේශය සහ ශ්‍රී ලංකාව අතර වෙළෙඳ ගිවිසුමක් ඇති කැර ගැනීම පිළිබඳව සහ විශේෂ ආර්ථික කලාපයක් ඇති කැර ගැනීම පිළිබඳව මෙහිදී නායක දෙපළගේ විශේෂ අවධානය යොමු විය.

කෘෂිකර්ම සහ ධීවර ක්ෂේත්‍රයේ අත්දැකීම් දෙරට අතර හුවමාරු කැර ගැනීමේ නව වැඩසටහන් ක්‍රියාත්මක කිරීම මෙන්ම තොරතුරු තාක්ෂණයේදී සහ ත්‍රස්තවාදය මැඩලීමේදී එක්ව කටයුතු කිරීමට ද සාකච්ඡා කළහ.

එමෙන්ම ශ්‍රී ලංකාවේ වී නිෂ්පාදනය ඉහළ නැංවීම සඳහා බංග්ලාදේශයේ තාක්ෂණික දැනුම ලබා ගැනීම පිළිබඳව ද අවධානය යොමු විය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය රටේ සංචාරයක නිරතවීම පිළිබඳව සතුට පළ කළ බංග්ලාදේශ අගමැතිවරිය අද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නායකත්වය යටතේ ශ්‍රී ලාංකාව තුළ තහවුරු වී තිබෙන නිදහස සහ ප්‍රජාතන්ත්‍රවාදය ඇගයීමට ලක් කළාය.දෙරට අතර සබඳතා ශක්තිමත් අයුරින් ඉදිරියට ගෙන යා යුතු බව වැඩිදුරටත් අවධාරණය කළ අගමැතිවරිය වෙළෙඳ, ආර්ථික මෙන්ම කලාපීය වශයෙන් ද ශ්‍රී ලංකාව සමඟ නිරන්තර සහයෝගයෙන් කටයුතු කිරීමට බංග්ලාදේශය සූදානම් බව ද අවධාරණය කළාය.

ශ්‍රී ලංකාවත් බංග්ලාදේශයත් මුහුණ දී තිබෙන්නේ එකම ආකාරයේ ගැටලුවලට වන අතර මත්ද්‍රව්‍ය ජාවාරම, නීති විරෝධී සංක්‍රමිකයින්ගේ ගැටලුව ආදි ගැටලුවලට විසැදුම් සෙවීමේදී එක්ව කටයුතු කිරිමේ හැකියාව ද අගමැතිවරිය පෙන්වා දුන්නාය.

බංග්ලාදේශ ආයෝජකයින්ට ශ්‍රී ලංකාවේ ඇති ආයෝජන අවස්ථා පිළිබඳව අදහස් දැක්වූ ජනාධිපතිතුමා එම ආයෝජකයින් වැඩි වශයෙන් ශ්‍රී ලංකාවට යොමු කරන ලෙසත් ඔවුන්ට අවශ්‍ය සියලු පහසුකම් සපයාදීමට ආණ්ඩුව සූදානම් බවත් සඳහන් කෙළේය.

නුදුරු දිනකදීම ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතවන ලෙස ජනාධිපතිතුමා බංග්ලාදේශ අගමැතිවරිය වෙත ඇරයුම් කළ අතර එම ඇරයුම ඉතා සුහදශීලි ලෙස පිළිගත් අගමැතිවරිය දෙරට අතර ඇති කරගත් නව සබඳතා සාර්ථකව ඉදිරියට ගෙන යාම පිළිබඳ එම හමුව ඉතා වැදගත් වනු ඇති බවට ද විශ්වාසය පළ කළාය.

ඉන් අනතුරුව ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර නව ගිවිසුම් රැසකට අත්සන් තැබීම රාජ්‍ය නායක දෙපළ ඉදිරියේ සිදු විය.

එහි පළමු ගිවිසුම දෙරටේ ප්‍රමිති ආයතන දෙක අතර ප්‍රමිතිකරණය සම්බන්ධයෙන් අත්සන් තැබූ අතර,විදේශ අැමැති රවී කරුණානායක මහතා සහ එරට කර්මාන්ත අැමැතිවරයා ඊට අත්සන් තැබුහ.දෙරට අතර ආර්ථික සහයෝගීතාවය ඉහළ නංවා ගැනීම පිළිබඳ ගිවිසුමට අත්සන් තබන ලද්දේ විදේශ අැමැති රවී කරුණානායක මහතා සහ එරට වාණිජ අැමැතිවරයා විසිනි.

කෘෂිකාර්මික සහයෝගීතාවය පිළිබඳ ගිවිසුමට කෘෂිකර්ම රාජ්‍ය අැමැති වසන්ත අලුවිහාරේ මහතා සහ එරට කෘෂිකර්ම අැමැතිවරයා අත්සන් තැබුහ.

තොරතුරු තාක්ෂණය පිළිබඳ ගිවිසුමකට ද අත්සන් තැබුණු අතර ඊට අත්සන් තබන ලද්දේ නියෝජ්‍ය අැමැති ලසන්ත අලගියන්න මහතා සහ එරට තොරතුරු තාක්ෂණ අැමැතිවරයා විසිනි.

ගුවන් විදුලි සහ රූපවාහිනි සංවර්ධනය පිළිබඳ ගිවිසුමට ද නියෝජ්‍ය අැමැති ලසන්ත අලගියවන්න මහතා සහ එරට තොරතුරු තාක්ෂණය පිළිබඳ අැමැතිවරයා අත්සන් තැබුහ. නෞකා ක්ෂේත්‍රයේ සහයෝගීතාවය පිළිබඳ ගිවිසුමට නියෝජ්‍ය අැමැති නිශාන්ත මුතුහෙට්ටිගම මහතා සහ එරට නාවුක කටයුතු පිළිබඳ අැමැතිවරයා අත්සන් තැබුහ.

විදේශ සේවා නිලධාරින් පුහුණු කිරීමේ සහ විදේශ සේවා පුහුණු ඒකකයක් පිහිටුවීම පිළිබඳ ගිවිසුම් දෙකකට ද අත්සන් තැබුණු අතර දෙරටේ විදේශ අැමැතිවරු ඊට අත්සන් තැබුහ.

දෙරට අතර රාජතාන්ත්‍රික සහ රාජකාරී ගමන් බලපත්‍ර වීසාවලින් නිදහස් කිරීම පිළිබඳ ගිවිසුමට විදේශ කටයුතු අැමැති රවී කරුණානායක මහතා සහ එරට ස්වදේශ කටයුතු අැමැතිවරයා අත්සන් තැබූහ.දෙරට අතර ඇඟලුම් ක්ෂේත්‍රයේ ගිවිසුමකට ද අත්සන් තැබුණු අතර තොරතුරු තාක්ෂණය හා සන්නිවේදනය පිළිබඳ ගිවිසුමකට ද අත්සන් තැබිණි. 

නව අදහස දක්වන්න