පුංචි ඡන්දෙට එජාපයෙන් ප්‍රබල අපේක්ෂක කණ්ඩායමක් | දිනමිණ

පුංචි ඡන්දෙට එජාපයෙන් ප්‍රබල අපේක්ෂක කණ්ඩායමක්

ශිරෝමි අබයසිංහ

ලබන දෙසැම්බර් මස පැවැත්වෙන පළාත් පාලන මැතිවරණය සඳහා ආසන මට්ටමින් ජයග්‍රහණය ලැබිය හැකි හොඳම අපේක්ෂකයින් කණ්ඩායමක් තෝරා‍ ගෙන ප්‍රබල මට්ටමකින් ඉදිරිපත් වන බව එක්සත් ජාතික පක්ෂය අවධාරණය කරයි. අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (14) සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පැවති කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමේදී මේ බව අවධාරණය කෙ‍රිණි.

මෙවර පළාත් පාලන මැතිවරණය කොට්ඨාශ මට්ටමින් පැවැත්වෙන බැවින් මැතිවරණ කොට්ඨාශ ජයග්‍රහණය කළ හැකි හොඳම අපේක්ෂකයින් තෝරා ගැනීම සහ පක්ෂයේ ජයග්‍රහණය සහතික කිරිම සඳහා බිම් මට්ටමේ සිට සංවිධාන වැඩ පිළිවෙල පක්ෂයේ මහ ලේකම් අැමැති කබීර් හෂීම් සහ නියෝජ්‍ය මහ ලේකම් අකිල විරාජ් කා‍රියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක කිරීමට කෘත්‍යාධිකාරි මණ්ඩලය ඊයේ තීරණය කෙළේය.

මැතිවරණයේ මාධ්‍ය කටයුතු ජනමාධ්‍ය අැමැති මංගල සමරවීර සහ ඉමිටියාස් බකීර් මාකර් මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් වන කමිටුවකට පැවරිණි.

පක්ෂය හෝ ආණ්ඩුව විවේචනය කිරීම පක්ෂය තුළ මිසක් ඉන් බාහිරව විවේචනය කිරිම සුදුසු නොවන බව පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩලය තීරණය කෙළේය.

බැඳුම්කර සිද්ධියේදී පළමු අවස්ථාවේදීම පරීක්ෂණ පැවැත්වීමට තීරණය කළ බවත් ගාමිණි පිටිපන ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කර එහි වාර්තාව ලබා ගෙන එය කෝප් කමිටුවට ඉදිරිපත් කළ බව අගමැති වික්‍රමසිංහ මහතා මෙහිදි සඳහන් ‍කෙළේය. සිද්ධිය පිළිබඳව කරුණු සොයා බලන කොමිසමක් මඟින් වැරදිකරුවන් ආරක්ෂා කිරීමට පක්ෂය කිසිසේත් ක්‍රියා නොකර බවද අගමැති වික්‍රමසිංහ මහතා අවධාරණය කෙළේය. මැයි දිනයට පාක්ෂිකයින්ට සහභාගි නොවන ලෙස පැවසී යැයි චෝදනාව මත පක්ෂ සාමාජිකත්වය මසකට තහනම් වී තිබෙන පළාත් සභා මන්ත්‍රි අනුරාධ විමලරත්න මහතාගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවා විනය කමිටුවක් පත් කැර පරීක්ෂණයක් පැවැත්වීමටද කෘත්‍යාධිකාරි මණ්ඩලය තීරණය කෙළේය.

අගමැති වික්‍රමසිංහ මහතාගේ පාර්ලිමේන්තු දිවියට සහ එක්සත් ජාතික පක්ෂය හඳුන්වා දුන් විවෘත ආර්ථිකයට වසර හතළිහක් පිරීම නිමිත්තෙන් පැවැත්වෙන ප්‍රදර්ශනය සහ අනෙකුත් උත්සව සම්බන්ධයෙන්ද කෘත්‍යාධිකාරි මණ්ඩලය සාකච්ජා කෙළේය.

මෙම වැඩසටහන් ලබන 27 වැනි දා මහරගම තරුණ සේවා සභා සංකීර්ණයේදි පැවැත්වෙන අතර දින තුනක ප්‍රදර්ශනයක්ද සංවිධානය කෙරේ. රජයේ රැකියා ලබා දීම කඩිනම් කිරීම සහ ඒවා කොට්ඨාශ මට්ටමින් බෙදා යාම සම්බන්ධයෙන්ද මෙහිදි සාකච්ජා කෙරිණි. 

අදහස් 1ක් ඇත

disthrikka mattamin hodata wada kaloth jaya sikuruyi!

නව අදහස දක්වන්න