පූජනීය ස්ථාන රැසක් පරිසර හිතකාමී පුණ්‍ය භුමි බවට පත්කරනවා | දිනමිණ

පූජනීය ස්ථාන රැසක් පරිසර හිතකාමී පුණ්‍ය භුමි බවට පත්කරනවා

ඉන්දික පොල්කො­ටුව

මෙරට පූජනීය ස්ථාන ප්ලාස්ටික් හා පොලිතින්වලින් තොර පරිසර හිතකාමි කලාපයන් බවට පත්කිරීමේ 'හරිත පුණ්‍ය භුමි' වැඩසටහන ඊයේ (14) ඓතිහාසික මහනුවර ශ්‍රී දළදා මාළිගා පරිශ්‍රයෙන් ආරම්භ කෙරිණි.

මේ යටතේ එම කලාපයන්ට ප්ලාස්ටික් හා පොලිතින් ගෙන ඒම තහනම් කෙරෙන අතර මෙයට අමතරව කසළ ක්‍රමවත්ව බැහැර කිරීම හා නිසි ප්‍රතිචක්තිකරණ වැඩ පිළිවෙළක්ද මෙමගින් ක්‍රියාවට නැංවීමට හරිත භූමි වැඩසටහන තුළින් අපේක්ෂා කෙරේ.

පළාත් සභා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතාගේ ප්‍රධානත්වයෙන් හා මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑළ මහතාගේ මූලිකත්වයෙන් ඊයේ (14) මෙම වැඩපිළිවෙළ ආරම්භ කෙරිණි.ඒ අනුව ඊයේ සිට ශ්‍රී දලදා මාළිගා පරිශ්‍රය පොලිතින් හා ප්ලාස්ටික්වලින් තොර කලාපයක් වේ.

වැඩසටහන ක්‍රියාත්මක වීමත් සමග 'හරිත පුණය භුමියක්' කෙරෙන ශ්‍රී දළදා මාළිගා පරිශ්‍රයට මින් ඉදිරියට පොලින් ප්ලාස්ටික් ගෙන ඒම සම්පුර්ණයෙන් තහනම් බව ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිළංග දෑල මහතා කීය.

පොලිතින් හා ප්ලාස්ටික්වලින් ජනතාව මුලුමනින්ම ඈත්වන තුරු දළදා මාළිගා පරිශ්‍රයට යම් බැතිමතකු ප්ලාස්ටික් හා පොලිතින් තුළ මල්, පහන්, සුවද කූරු, සුවද දුම්, පොල්තෙල් ආදිය ගෙන එන්නේනම් ඒ සඳහා පරිසර හිතකාමි උපකරණ ලබාදිමට පියවර ගෙන ඇත. ඒ අනූව මාළිගාව තුළට මල් ගෙන යාම සඳහා වේවැල් කූඩ බැතිමතුන් වෙත ලබා දිම සිදු වේ.

ශ්‍රී දළදා මාළිගාවට අමතරව ශ්‍රී මහා බෝධිය, අටමස්ථානය, කිරිවෙහෙර ආදී පූජනීය ස්ථාන ආශ්‍රිතවද ඉදිරියේ දී මෙම වැඩපිළිවෙළ ක්‍රියාවට නන්වන බව අමාතය ෆයිසර් මුස්තාපා මහතා කිය.

මෙම වැඩසටහන ආරම්භ කිරීමට පෙර අමාත්‍යවරයා මල්වතු අස්ගිරි මහ නාහිමිවරුන් බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේය.

පුජනිය ස්ථානවල මෙවැනි හරිත භූමි වැඩසටහනක් ආරම්භ කරනු ලැබුවේ පළමු වරට විය හැකි යැයි අමාත්‍යවරා මෙහිදි කීය.

ශ්‍රී දළදා මාළිගාවෙන් දෛනිකව කසළ ටොන් තුනක ප්‍රමානයක් බැහැර කරන අතර ඉදිරියේ දී එය ටොන් දෙකක් දක්වා මූලිකම අඩු කෙරෙන බව දියවඩන නිලමේ ප්‍රදීප් නිළංග දෑල මහතා කීය.

දෛනිකව දළදා මාළිගාවට 50, 000 ක පමණ බැතිමතුන් හා සංචාරකයන් පිරිසක් පැමිණෙන අතර මෙයට පෙර ඔවුන් විශාල වශයෙන් ප්ලාස්ටික් පොලිතින් රැගෙන ඒම සිදු කරනු ලැබීය.

ශ්‍රීදළදා මාළිගාවේ මාධ්‍ය හා විශේෂ ව්‍යාපෘති අධ්‍යක්ෂ ක්‍රිෂාන්ත හිස්වැල්ල මහතාද මෙහිදි කතා කළ අතර පළාත් සභා මන්ත්‍රීවරුන් වන ලින්ටන් විජේසිංහ, ආර්.ජී. සමරනායක පළාත් සභා පළාත් පාලන අමාත්‍යංශයේ ඝන අපද්‍රව්‍ය ඒකකයේ අධ්‍යක්ෂ ඒ.බී. ඉලංගසිංහ, මහනුවර නාගරික කොමසාරිස් චන්දන තෙන්නකෝන් යන මහත්වරු ඇතුඵ පිරිසක් මේ සඳහා එක්ව සිටියහ.

නව අදහස දක්වන්න