සොරකම් කළ ලක්ෂ 20ක රන්බඩු සමඟ අඹුසැමි යුවළක් මීටියාගොඩදී අත්අඩංගුවට | දිනමිණ

සොරකම් කළ ලක්ෂ 20ක රන්බඩු සමඟ අඹුසැමි යුවළක් මීටියාගොඩදී අත්අඩංගුවට

දීර්ඝ කාලයක සිට සොරකම් කරන ලද රුපියල් ලක්ෂ විස්සක පමණ රන්භාණ්ඩ තොගයක් සමඟ අඹුසැමි යුවළක් මීටියාගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන බලපිටිය වැඩබලන මහේස්ත්‍රාත් ඉසෙඩ්. ඊ. ලියාකාන් මහතා හමුවට (15) ඉදිරිපත් කරනු ලැබීමෙන් පසු සැකකරුගේ බිරිය (27) දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කැරිණි.

මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරන ලද්දේ මීටියාගොඩ කිරළගහවෙල පදිංචි දෙදරු මවකි.

මෙම රංභාණ්ඩ සොරකම් කිරීමේ කල්ලිය මෙහෙයවූ රක්ෂිත බන්ධනාගාර ගත කරනලද කාන්තාවගේ පුරුෂයා වැඩිදුර ප්‍රශ්න කිරීම සඳහා රැඳවුම් නියෝගයක් මත රදවාගෙන තිබේ.

ප්‍රධාන සැකකරු බහුදින යාත්‍රාවක සේවය කිරීමේදී මත්ද්‍රව්‍ය භාවතියට හුරු වී තිබේ. මත් කුඩු මිලදී ගැනීම සඳහා මීටියාගොඩ, බලපිටිය, අම්බලන්ගොඩ ආදී ප්‍රදේශවල නිවාස බිඳ සොරාගත් රන්භාණ්ඩ බිරිය ලබා උගස්කරවා මුදල් ලබාගෙන තිබේ.

මේ සැකකරු මීටියාගොඩ පොලිසියේ ජංගම මුර සංචාරක නිලධාරීන්ට රාත්‍රීකාලයේදී හමු වූ අවස්ථාවේ සිදුකළ විමසීමකදී මේ මහා සොරකමේ තොරතුරු හෙළි වී තිබේ.

පොලිසිය සැකකරුගෙන් සොයාගත් තොරතුරු මත රුපියල් ලක්ෂ විස්සක පටන් රන්භාණ්ඩ සමඟ ඒ සඳහා භාවිත කළ යතුරුපැදි දෙකක් සමඟ උපකරණ රැසක් අත්අඩංගුවට ගෙන තිබේ.

ඇල්පිටිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතාගේ උපදෙස් මත ස්ථානාධිපති එච්.සී. ගුණතිලක පො. ප. දුල්ෂාන් පූජිත වරුස විසාතන උ.පො. ජනක සම්පත් දර්ශන උදයංග පො. සැ. මෙන්ඩිස් පො.කො. රංජිත්, නලින්, තිළිණ, පො. රි. ජයන්ත නිලධාරීහු සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට එක්වූහ.

ඡායාරූපය - බලපිටිය සමූහ
බලපිටිය සමූහ - දිලිප් නිශ්ශංක

 

නව අදහස දක්වන්න