යතුර හොයමුද? | දිනමිණ

යතුර හොයමුද?

අපට හදිසියේම නිවෙසින් බැහැරට යන්න සිද්ධ වෙන අවස්ථා තිබෙනවා. කවුරුත් නැති වෙලාවක නිවෙසින් බැහැර වුණොත්,නිවෙසේ සිටින අනෙක් සාමාජිකයන් ගෙදරට ආවහම, ඒ අයට දොර ඇර ගන්න නම්, යතුර කොහෙන් හෝ තියන්න වෙනවා. ඒත්, එය තැබිය යුත්තේ පවුලේ අය හැරෙන්න වෙන කාටවත් නොපෙනෙන විදිහටයි.

නිවෙසේ සිටින හැම සාමාජිකයකුටම දොරවල්වල යතුරු එක බැඟින් නැති නිසාත්, ගමන යාම අවශ්‍යම නිසාත්, එය තබන්න හොඳ තැනක් අපි ම හදාගත්තොත් හොඳයි නේද?

මේ ක්‍රමයට වාහනයක, ලාච්චුවක, අල්මාරියක දොරක යතුරක් වුණත් ආරක්ෂා කර ගන්න පුළුවන්. අද කාලේ සොර සතුරු උවඳුරු වැඩි නිසාත්, ගෙවල් දොරවල්, යාන වාහන, මිල මුදල් පරෙස්සම් කර ගැනීමේ වගකීම අප සතු නිසාත්,මේ ගැටලුකාරී අවස්ථාවට මුහුණ දෙන ක්‍රමයක් තමයි මේ.

මේ සඳහා මුලින්ම, ඔබේ යතුර සඟවන්න පුළුවන් තරමේ කුප්පියක් වැනි දෙයක් සොයා ගන්න වෙනවා. ගලක් හෝ ලී කුට්ටියක් වැනි ඒ හා සමාන දෙයක්, හොඳින් ඇලවෙන ගම් වර්ගයක් මෙය සැකසීමේදී අවශ්‍යයි. මුලින්ම, කුඩා බෝතලයකට යතුර දමා වසා ගන්න ඕනැ. දැන් ඒ මතුපිට තෝරා ගත් ගල් කැබැල්ල හෝ ලී කැබැල්ල හෝ හොඳින් අලවා ගත යුතුයි.

දැන් නිවෙසේ, එළිමහනේ තමන් කැමැති ස්ථානයක කුප්පිය සහිත කොටස නොපෙනෙන ආකාරයට සඟවා ගැනීම කරන්න වෙනවා. එවිට ඕනෑම කෙනකුට මතුපිටින් පෙනෙන්නේ ගල් කැබැල්ල, ලී කැබැල්ල විතරයි. මේ ආකාරයට නිර්මාණයක් කරලා යතුර හැංගුවහම, ඒක පිට අයට සොයා ගන්න එක ලේසි පහසු වෙන්නේ නැහැ.

අන්තර් ජාලය ඇසුරිනි
චින්තා රණසිංහ 

නව අදහස දක්වන්න