විසිතුරු මලින් දිවි දිනන්නී බණ්ඩාරගම කුමාරි | දිනමිණ

විසිතුරු මලින් දිවි දිනන්නී බණ්ඩාරගම කුමාරි

මල්වල පැණි උරා බොන්නට පැමිණෙන මී මැස්සන්, එහි ඇති වර්ණවත් බවට මෙන් ම, රසවත් බවට ද එක සේ ආශක්ත වේ. එහෙත්, මිනිසුන් මල්වලට රුචියක් දක්වන්නේ,එහි මතුපිට ඇති සුන්දරත්වය නිසා ම ය. මල්වල සුන්දරත්වය දකිමින්, ජීවිතයේ සතුට සොයා යන ඇය ,බණ්ඩාරගම පදිංචි කුමාරි අමරසිංහ ය.

“මම 2002 අවුරුද්දේ ඉඳලා විසිතුරු මල් පැළ හිටවන්න පටන් ගත්තේ. මුල් කාලයේ දී මම ඇන්තුරියම් වගාවක් කරන්න පටන් ගත්තා. ඒකට සෑහෙන්න මහන්සි වුණා. ඒ වුණාට මට ඒක හරියට කරගෙන යන්න බැරි වුණා. ඒ නිසා මං විසිතුරු මල් එක්ක ජීවත් වෙන්න හිතුවා. ඒ විදිහට තමයි මේ ව්‍යාපාරය ආරම්භ කළේ.”

ස්වයං රැකියාවක නිරත වන්නියක යනු දිරිමත් ළඳකි. එවන් තැනැත්තියක්, එක අවස්ථාවකදී අසාර්ථක වුව ද, ජීවිතය සාර්ථක කර ගැනීමේ ඒකායන අභිප්‍රාය ඇති නිසා ම, නැවත නැවතත් උත්සාහවන්ත වී, යායුතු මඟ තීරණය කළා ය. ඒ අනුව ටිකෙන් ටික තම රැකියාව දියුණු කර ගනිමින්, ජීවිතයේ දියුණුවට මඟ විවර කරගත්තා ය.

“මම කෘෂි කර්මාන්තය පිළිබඳ පාසල් අධ්‍යාපනයෙන් පස්සේ ඉගෙන ගත්තා. වෘත්තීය පුහුණු ආයතනය, කනන්විල කෘෂිකර්ම මධ්‍යස්ථානය, පේරාදෙණිය කුඩා ව්‍යාපාර සංවර්ධන ආයතනය යන ස්ථානවලින් මම විසිතුරු මල් පැළ ගැන බොහෝ දෑ දැන ගත්තා .මට ඒ විදිහට ලබාගත් දැනුම බොහොම වටිනවා.

මල් පැළ බලාගන්න ඕනේ හරියට, දරුවෝ බලා ගන්නවා වගේ. හරි වේලාවට පොහොර දාලා, වතුර දාලා සාත්තු කළේ නැත්නම්, කවමදාකවත් නිරෝගී පැළයක් ලබා ගන්න බෑ. මගේ ළඟ කපුරු, ඉද්ද, පිච්ච, බෝගන්විලා, ෆාම් වර්ග තියෙනවා. ඒ හැම එකක්ම හොඳින් බලා ගන්න ඕනැ. නැත්නම් මම වෙන මහන්සියෙන් ප්‍රයෝජනයක් වෙන්නෙ නෑ.

පැළයක මල් ගොඩක් තිබුණට හෝ ගසේ උස ප්‍රමාණයට හෝ මම පැළයේ මිල තීරණය කරන්නේ නෑ. බොහොම සාධාරණ විදිහට තමයි මම පැළ විකුණන්නේ. වටින්නේ නැති ගණන්වලට පැළ විකුණලා වංචාකාරයෙක් වෙන්න මං කැමැති නෑ.”

අවංකබව නිසා ම කුමාරිගෙන් පැළ මිලදී ගැනීමට බොහෝදෙනා පැමිණෙති.ඇය වටා සිටින පාරිභෝගික පිරිසට ඇය විශ්වාසවන්තියක් වීම,ඇගේ සාර්ථකත්වයට බලපෑ එක් හේතුවකි.

මේ කටයුත්ත, නිවෙසට වෙලා කරන්න පුළුවන් ස්වං රැකියාවක්. කැපවීම තියෙනවා නම්, මේ මගින් ජීවිතය හදා ගන්න අමාරු නෑ. අද අපේ කාන්තාවන් බොහෝ දෙනෙක් කම්මැලි වෙලා. ඒ නිසා, දවසේ වියදමවත් හොයාගන්න බැරිව දුක් විඳිනවා. තමන් මොනවා හරි වෘත්තියක නියැළෙනවා නම්, කවදාකවත් කාටවත් අතපාලා ජීවත් වෙන්න ඕන වෙන්නේ නෑ. ඒනි සා මං කාන්තාවන්ට කියන්නේ, තමන්ට කරන්න පුළුවන් ස්වයං රැකියාවක නිරතවෙලා, තමන්ගේ ජීවිතය සරු කර ගන්න කියන එකයි. මහන්සි වුණොත්, සාධාරණව හරිහම්බ කළොත්, හිතේ දිරිමත් බවක් ඇතිකර ගත්තොත්, ඒ වගේ කාන්තාවකට ජීවිතය ජය ගන්න එක අපහසු නෑ. මල් එක්ක ජීවත් වෙනවා කියන්නේ භාග්‍යයක්. හිතට දැනෙන්නේ අමුතු හැඟීමක්. එහෙම වුණහම අපි නිරෝගී වෙනවා.අතමිටත් සරු වෙනවා. “

මහන්සි වන කාන්තාවකට, ජීවිතය ලෙහෙසියෙන් ම ජය ගත හැකි බව ඇය මේ වනවිට පසක් කර අවසාන ය.

 

මදාරා මුදලිගේ 

නව අදහස දක්වන්න