මුහුණු පොතේ ආදීනව ගැන අපේ දරුවන් දැනුවත් | දිනමිණ

මුහුණු පොතේ ආදීනව ගැන අපේ දරුවන් දැනුවත්

තරුණ කතෝලික ශිෂ්‍ය ව්‍යාපාරයේ කොළඹ පදවි අධ්‍යක්ෂ
නිර්මාල් මාලක සිල්වා පියතුමා

තරුණ කතෝලික ශිෂ්‍ය ව්‍යාපාරයේ කොළඹ පදවි අධ්‍යක්ෂ පියතුමා වශයෙන් කටයුතු කරනුයේ පමුණුවිල ශු. ජුසේ මුනිඳුන්ගේ දේවස්ථානය භාර නිර්මාල් මාලක සිල්වා පියතුමාය. කිතුනු ශිෂ්‍ය දරුවන්ගේ ආධ්‍යාත්මය දියුණු කරලීම උදෙසා කිතනු සභාවේ දායකත්වයත්, ඒ සම්බන්ධයෙන් ඇති කර තිබෙන තරුණ කතෝලික ශිෂ්‍ය ව්‍යාපාරයේ ඉදිරිය පිළිබඳත් කිතුනුමිණ උන්වහන්සේ සමඟ කළ සාකච්ඡාවකි මේ.

l තරුණ කතෝලික ශිෂ්‍ය ව්‍යාපාරයේ ඉදිරිය කොහොමද ඔබ වහන්සේ සැලසුම් කරලා තියෙන්නේ?

මම කොළඹ පදවි අධ්‍යක්ෂධුරය දැරීමට කලින් එම සේවය බාරව සිටියේ ප්‍රදීප් කුමාර නිරෝෂන් පියතුමා. උන්වහන්සේ මේ ශිෂ්‍ය ව්‍යාපාරයට කළ සේවයත් ආදර්ශයට අරගෙන මගේ උපරිම ශක්ති ප්‍රමාණයෙන් මේ ව්‍යාපාරය ඉදිරියට ගෙන යන්න මම කටයුතු කරනවා.

බස්නාහිර පළාතේ විශාල තරුණ ප්‍රජාවක් ජීවත් වෙනවා. ඔවුන් ඇතුළු සමස්ත රටේම කිතුනු ශිෂ්‍ය ප්‍රජාව අර්ථාන්විත, ආධ්‍යාත්මික නව සිතුම් පැතුම්වලින් පිරිපුන් කිරීම සභාවේ අරමුණයි. ඒ අරමුණ ඉටු කිරීමට මා උපරිමයෙන් කැප වෙනවා. ඒ වගේම සෙසු පදවිවල මේ ව්‍යාපාරයේ අධ්‍යක්ෂ පියවරුනුත් ඒ කාර්ය වෙනුවෙන් කැප වී සිටිනවා.

l මේ ව්‍යාපාරය පිළිබඳ යම් හැඳින්වීමක් කළොත්?

තරුණ ක‍තෝලික ශිෂ්‍ය ව්‍යාපාරය කියන්නේ සිසුන් සඳහා සිසුන් විසින් මෙහෙයවන සිසුන්ගේ ව්‍යාපාරයක්. ඔවුන්ට ආවේනික ප්‍රශ්න වගේම අපේක්ෂා සාකච්ඡා කරමින් ඒවායේ නිවැරදිභාවය වටහා ගන්න මේ ව්‍යාපාරය සුවිසල් සහයක් සිසුන්ට ලබා දෙනවා. ඒ මගින් සිසු දිවියත්, මනුෂ්‍යත්වයත් වර්ධනය වන පරිදි තම ඇදහිල්ල අනුව ක්‍රියාත්මක වීමට යොමු කරවන ව්‍යපාරයක් තමයි කිතුනු ශිෂ්‍ය ව්‍යාපාරය.

l මේ ව්‍යාපාරයේ පරමාර්ථය ගැන යමක් කීවොත්?

කිතුනු පණිවුඩය හෙවත් ශුභාරංචිය තමන්ගේ ජීවන දර්ශනය කරගෙන, එය අන් සිසු යොයුරු සොයුරියන් සමඟ ද බෙදා ගැනීම එක් පරමාර්ථයක්. එහිඳී සහෝදරත්වයෙන් බැඳී, සත්‍යයට සාක්ෂි දැරීමත් සමානාත්මතාවයෙන් හා සාධාරණත්වයෙන් යුත් සාමකාමී සමාජයක් හෙවත් දේව රාජ්‍යයක් ගොඩනැංවීමට ඇපකැපවීමත් මෙහි තවත් පරමාර්ථයක්.

l ක්‍රිස්තුන් වහන්සේගේ ජීවිත ආදර්ශය මේ දරුවන්ගේ ජීවිතවලට හඳුන්වා දීමට මේ ව්‍යාපාරය හරහා කටයුතු කරනවාද?

ඇත්තටම ඔව්. මේ ව්‍යාපාරය තුළ ක්‍රිස්තුස් වහන්සේගේ ජීවිතය සහ ක්‍රියා හඳුනාගැනීමටත්, ශු. බයිබලය හා සභා ඉගැන්වීම් හැදෑරීමටත් පුහුණුවක් ලබා දෙනවා. මොකද කිතුනු ජීවිතය තුළ අත්පොත වන ශුද්ධවූ බයිබලය හරිහැටි අවබෝධ කර ගැනීම අත්‍යාවශ්‍ය දෙයක්. ක්‍රිස්තුස් වහන්සේත් පැවසුවේ ‘මාගේ වචනය අසා එය පිළිපදින තැනැත්තාට අනන්ත ජීවිතය ලැබේ’ කියලයි.

ඒ නිසා මේ ක‍තෝලික ශිෂ්‍ය ව්‍යාපාරයේ සාමාජික සාමාජිකාවන්ට දේව වචනය ඇසීමට අවස්ථාවක් උදාකර දෙනවා. එමගින් අන්‍යෝන්‍ය සහයෝගයටත්, අදහස් උදහස් බෙදා ගැනීමටත්, විශ්වාසයේ ගැඹුරු අත්දැකීමකටත්, සිසුන්ව යොමු කරනවා. මේ සඳහා කතෝලික සභාව පූර්ණ අනුමැතියත්, අනුග්‍රහයත්, ආධාරයත් ලබා දෙනවා.

l මෙහි ආරම්භය සිදුවුණේ කොහොමද?

තරුණ කතෝලික ශිෂ්‍ය ව්‍යාපාරය ශ්‍රී ලංකාවේ ආරම්භ වුණේ 1951 අවුරුද්දේදී.

තමන් ජීවත් වන ගම, පාසල, මීසම යන විවිධ පරිසරවල සභාවේ ඉගැන්වීම් අනුව, කිතුනු ජීවිතය වඩාත් පෝෂණය කරගන්න මේ මඟින් හැකිවුණා.

විවිධ පසුබෑම් නොතිබුණා නොවෙයි. නමුත් සභාව එය වැටෙන්නට ඉඩ දුන්නේ නැහැ. මේ ව්‍යාපාරය නිසා තම දරුවන්ට යහපත් මගපෙන්වීමක් ලබාදෙන්නත් පුළුවන් වුණා.

මේ ව්‍යාපාරය මුලින්ම ආරම්භ වුණේ 1926දී. එහි නිර්මාතෘ වෙන්නේ බෙල්ජියම් ජාතික De Boer පියතුමායි.

l තරුණ පරම්පරාව අද මුහුණු පොත වැනි සමාජ මාධ්‍යවලට එකතු වී තිබෙනවා. එය දරුවන් නොමඟට යවන්න හේතුවක් නොවේද?

අද දරු පරපුර මුහුණුපොත එකතු වී සිටින බව ඇත්තක්. ඉන් යහපත් මෙන්ම අයහපත් ප්‍රතිඵලද භුක්තිවිඳිනවා කියන එකත් ඇත්තක්.

එහෙත් තරුණ කතෝලික ශිෂ්‍ය ව්‍යාපාරයට සම්බන්ධ දරුවන් මෙහි ආදීනව හොඳින් වටහාගෙන ඉන්නවා. මවුපියනුත් මේ තත්ත්වය හොඳින්ම දන්නවා. ඒ නිසා මේ විපත්වලින් දරුවන් ගලවා ගැනීමට ඔවුන් කටයුතු කරනවා.

 

ඡායාරූපය හා සංවාද සටහන
ලයනල් පී. පෙරේරා
කැලණිය විශේෂ 

නව අදහස දක්වන්න