ශාන්තුවරයන් පත් කිරීමේ ක්‍රියා පිළිවෙත පාප්තුමා වෙනස් කරයි | දිනමිණ

ශාන්තුවරයන් පත් කිරීමේ ක්‍රියා පිළිවෙත පාප්තුමා වෙනස් කරයි

ශාන්තුවරයට පත් වීමේ සිව් වැනි මග හඳුන්වා දෙමින්, යහපත් කතෝලික ජීවිතයක් ගත කරන සහ අනුන්ගේ යහපත වෙනුවෙන් කැප වී කිසියම් අනපේක්ෂිත මරණයට පත් වන අයට ශාන්තුවරයට පත් වීමට හැකි බව ෆ්රැන්සිස් පාප් වහන්සේ ප්‍රකාශ කරති. අනන්‍යයන් වෙනුවෙන් දිවිය කැප කරනවුන් උදෙසා මෙම නව මග විවෘත වන බව එතුමා පවසති. පාප් වහන්සේ මේ බව නිල නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශයට පත් කර ඇති අතර එය මෑත ඉතිහාසයේ රෝමානු කතෝලික දේවස්ථානයන්හි ශාන්තුවරයන් පත් කිරීමේ ක්‍රියා පිළිවෙත වෙනස් කළ වඩාත් වැදගත් අවස්ථාවක් ලෙස විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.

දකුණු සුඩානය

යුද්ධය හේතුවෙන් ලොව පුරා අසරණ වන ජනතාව පිළිබඳ ෆ්රැන්සිස් පාප් වහන්සේ සිය හඬ අවදි කළේ වරක් දෙවරක් නොවේ. දකුණු සුඩානය වෙත අවධානය යොමු කරමින් එතුමා විසින් යෝජනා කරන ලද ව්‍යාපෘතිය පිළිබඳ පසුගිය දා වතිකානය නිවේදනයක් නිකුත් කළේය.

‘’දකුණු සුඩානය සඳහා පාප් වහන්සේ’’ ලෙස හඳුන්වා ඇති මෙම ව්‍යාපෘතියෙන් දකුණු සුඩානයේ අධ්‍යාපනය, සෞඛ්‍ය සේවා සහ කෘෂි කර්මාන්තය ආදි ක්ෂේත්‍ර වෙත අරමුදල් සැපයේ. පීටර් ටර්ක්සන් කාදිනල්වරයා සහ කැරිටාස් ජාත්‍යන්තරය මෙම වැඩසටහන සම්බන්ධීකරණය කරන අතර ෆ්රැන්සිස් පාප් වහන්සේට දකුණු සුඩානය වෙත ගමන් කිරීමට නොහැකි වුවත් මෙම ජනතාව එතුමා සමග සමීපව හා ඔවුන් වෙනුවෙන් සිටින බව දැනුම් දීමට අවශ්‍ය බව ටර්ක්සන් කාදිනල්වරයා මාධ්‍යවේදීන් ඉදිරියේ අවධාරණය කළේය.

මෙම ව්‍යපෘතිය සඳහා බටහිර බහ්ර එල්-ගසල් ප්‍රදේශයේ වෝ සහ ටොම්බුරා-යම්බියෝ ප්‍රදේශයේ සාරා රෝහල් දෙක සම්බන්ධ කර ගෙන ඇති අතර මෙම රෝහල් දෙකේම ඇත්තේ ඇඳන් 130 කටත් අඩු ප්‍රමාණයක් බව හඳුනා ගෙන ඇත. වෝ රෝහලෙන් දිනකට 300 ක පමණ රෝගීන් ප්‍රමාණයක් ප්‍රතිකාර ලබන අතර වසරකට රෝහල් ගත වන සංඛ්‍යාව 40,000 ක් පමණ වේ. පාප් වහන්සේගේ අරමුදල මගින් ඖෂධ, හෙද සේවා ද වැඩි දියුණු කිරීමට නියමිතය. එසේම සාරා රෝහපේ ක්ෂ්ය රෝගය, ලාදුරු, ඒඩ්ස් රෝග සඳහා මෙන්ම අවුරුදු පහට අඩු ළමයින්ගේ සෞඛ්‍ය සේවා පුළුල් කෙරෙනු ඇත. ගුරුවරුන්, හෙදියන්, වින්නඹු මාතාවන්, දේශීය ගොවියන් සහ සමාජ නායකයන් පුහුණු කිරීම ද මෙම ව්‍යාපෘතිය යටතේ සිදුවේ. රටේ කෘෂි කර්මාන්තය නගා සිටුවීම සඳහා පමණක් යුරෝ 200,000 ක් පාප් වහන්සේ විසින් යොමු කර ඇත.

පෘතුගාලයේ ලැව් ගිනි

පෘතුගාලයේ ඇති වූ ලැව් ගිනි හේතුවෙන් විපතට පත් ජනතාව වෙනුවෙන් ශාන්ත පීතර චතුරශ්‍රය මොහොතකට නිහඬ විය. මිය ගිය 57 දෙනා සහ තුවාල ලැබූවන් වෙනුවෙන් පාප් වහන්සේ බැතුමතුන් සමඟ මෙසේ ශෝකය ප්‍රකාශ කළ අතර ලැව් ගිනි මැඩ පැවැත්වීමට එක්ව සිටින ගිනි නිවන භටයන් 1,700 ක් පමණ දෙනා වෙනුවෙන් ද පාප් වහන්සේ යාච්ඤා කළහ. මේ අතර නේපල්ස් හි ටොර් ඇනන්සියාටා නිවාස සංකීර්ණය කඩා වැටීමෙන් සිදු වූ අනතුරු සම්බන්ධයෙන්ද පියෙට්‍රො පැරොලින් හි කාදිනල් ලේකම් වරයා වෙත් පාප් වහන්සේ සිය සංවේගය පළ කරමින් විදුලි පුවතක් යොමු කළහ.

ක්‍රිසන්ති විතාරණ 

නව අදහස දක්වන්න