කලාපීය සහයෝගය | දිනමිණ

කලාපීය සහයෝගය

 අප හැමදාම සටහන් කර තබන ලෙස ‍ලෝකයේ කිසිදු රාජ්‍යයකට හුදෙකලා වී දියුණුවේ මාර්ග සලසාගත නො හැකි ය. අද ඇත්තේ කලාපීය වශයෙන් හා ගෝලීය වශයෙන් සාමුහික ලෙස ආර්ථික හා දේශපාලන ජයග්‍රහණ ලබාගැනීමේ ක්‍රමෝපායකි. මේ සමඟ සටහන් කර තැබිය යුත්තේ කලාපීය සහයෝගය හා අන්තර් ජාතික සහයෝගය තීන්දු වන සාධක දෙකක් ඇති බව ය. පළමු සාධකය වන්නේ එම රාජ්‍යය අනුගමනය කරන විදේශීය ප්‍රතිපත්තියයි. දෙවන සාධකය වන්නේ එම රාජ්‍යයෙහි නායකයන්ගේ රාජ්‍ය පාලනය හා චර්යා රටාවන් ය. මේවා යහපත් තත්ත්වයක පවතින්නේ නම් එම රටට අන්තර්ජාතික හා කලාපීය සහයෝගය ලබා ගත හැකි ය. එසේ නොවුණහොත් එම සහයෝගය විරසකයක් බවට පත්වන්නේ ය.

අපගේ අත්දැකීමට අනුව ශ්‍රී ලංකාවට අන්තර්ජාතික සහයෝගය මෙන් ම කලාපීය සහයෝගය නොලැබුණු අඳුරු යුගයක් පැවැතිණි. එම කාලය තුළ දියුණු රටවල් ශ්‍රී ලංකාව ප්‍රතික්ෂේප කළේ ය. ජිනීවා මානව හිමිකම් කොමිසම අපට චෝදනා එල්ල ක‍ළේය. යුරෝපා සංගමය තහංචි පැන වීය. ඉන්දියාව පවා ශ්‍රී ලංකාවට එරෙහි ව යන තැනක පසු විය. මේවා මේ අයුරින් සිදුවූයේ හිටපු පාලකයන්ගේ වැරැදි නිසා බව අමුතුවෙන් කිව යුතු නැත. එදා අපේ රාජ්‍ය නායකයන්ට විදේශ රටවලින් ආරාධනා ලැබුණේ නැත. ජගත් සංවිධාන ශ්‍රී ලංකාව ගැන සංවාද කළේ විවේචනය මූලික කරගෙන ය. එදා ශ්‍රී ලංකාව හැඳින්වූයේ අසාර්ථක රාජ්‍යයක් හැටියට ය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ද, අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ද සම්මුතිවාදී රජයක් පිහිටුවමින් මේ තත්ත්වය වෙනස් කළහ. මෑත කාලයේ අප ලැබූ ප්‍රධාන ම ආර්ථික හා දේශපාලනික ජයග්‍රහණ ය ඒ යැයි සැලැකිය හැකි ය. අද වන විට ලෝකයේ බලවත් රටවල් මෙන් ම දියුණු වෙමින් පවතින රටවල් ද ශ්‍රී ලංකාවේ නායකයන්ට ආරාධනා කරති. සාකච්ඡා කරති. ගිවිසුම්වලට එළඹෙති. ශ්‍රී ලංකාවට වෙනදා නොවූ විරූ පිළි ගැනීමක් හා ගෞරවයක් හිමි වී තිබේ. යුරෝපා සංගමය සිය තහංචි ඉවත්කොට ශ්‍රී ලංකාව සමඟ ගනුදෙන පටන් ගත්තේය. ආසියානු සංවර්ධන බැංකුව ශ්‍රී ලංකාව සඳහා ලබා දෙන සංවර්ධන ණය මුදල් වැඩිකර තිබේ.

ජනාධිපතිවරයාගේ අභිනව සංචාරය යෙදී තිබුණේ බංගලා දේශ රාජ්‍යය ‍වෙතට ය. එය තෙදින නිල සංචාරයකි. මේ සංචාරය සඳහා ජනාධිපතිවරයාට ආරා ධනා කර තිබුණේ බංගලාදේශ අගමැතිනි ෂීක් හසීනා මැතිනිය වීම විශේෂයකි. බංගලිදේශය දකුණු ආසියා කලාපයේ තෙවන බලවත් ආර්ථිකය සහිත රාජ්‍යය ලෙස හැඳින්විය හැකි ය. බොහෝ සාධක අතින් ශ්‍රී ලංකාවට සමාන පසුබිමක් එහි පවතී. බංගලි දේශයේ ග්‍රාමීය ජනගහනය අධිකය. දුප්පත්කම ද ඉහළ ය. ස්වාභාවික විපත් දෙරටටම පොදු සාධකයක් ලෙස පවතී. එහෙත් මේ රාජ්‍යය අද ආර්ථික වශයෙන් ශක්තිමත් වෙමින් පවතී. ස්වභාවික විපත්වලට මුහුණ දෙමින් ආර්ථිකය ස්ථාවර කරගැනීමේ ක්‍රමවේද ඔවුන් හඳුනාගෙන තිබේ. අපට බංගලිදේශයෙන් ලබාගත හැකි ආදර්ශ හා පාඩම් බොහෝ ගණනක් ඇත.

ජනාධිපතිවරයාගේ සංචාරයේදී දෙරටටම වැදගත් වන ගිවිසුම් ගණනාවක් අස්සන් කර තිබේ. ආර්ථික, ධීවර කෘෂිකාර්මික, අධ්‍යාපන, ආගමන - විගමන යන ක්ෂේත්‍රවලට මේ ගිවිසුම් ඇතුළත්ය. ශ්‍රී ලංකාව මෙන් ම බංගලිදේශය ද මූලික වශයෙන් කෘෂිකාර්මික රාජ්‍යයකි. සහල්, ජූට්, අර්තාපල්, උක්, දුම්කොළ හා ධාන්‍ය වර්ග බංගලි දේශයේ ප්‍රධාන වගාවන් ලෙස සැලැකිය හැකිය. ජූට් ‍හෙවත් හණ නිෂ්පාදනයේ ද, හණ අපනයනයේද ලෝක ප්‍රමුඛයා වන්නේ බංගලිදේශය යි. මේ හැරෙන්නට මෑතක සිට නිමි ඇඳුම් හා තේ අපනයනයෙන් ද ඉදිරියට ඒමට මේ රාජ්‍යයට හැකි වී තිබේ. මෑතක සිට බංගලි දේශය ශීඝ්‍ර ආර්ථික වර්ධනයක් සටහන් කරගෙන තිබේ.

ජනාධිපතිවරයා හා එරට රාජ්‍ය නායකයන් අතර ඉතා සුහද මට්ටමේ සාකච්ඡා පැවැති බව වාර්තා වී ඇත. ඒ අතර ශ්‍රී ලංකාවේ නායකයා ඉහළ මට්ටමින් පිළිගැනීමට ද බංගලිදේශ රජය කටයුතු කර තිබිණි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙනුවෙන් ආචාර වෙඩි මුර විසි එකක් පැවැත් වූ බව ද ජනමාධ්‍ය වාර්තා කර තිබිණි. ඩකා ගුවන් තොටුපොළට ජනාධිපතිවරයා පිළිගැනීම සඳහා පැමිණ සිටියේ බංගලිදේශයේ ජනාධිපතිවරයා ය. ශ්‍රී ලංකාවේ නායකයාට බංගලිදේශ රජය දක්වන සැලැකිල්ල එයින් මොනවට පැහැදිලි වෙයි. එරට ව්‍යාපාරික ප්‍රජාව හා ආයෝජකයන් ශ්‍රී ලංකාවේ කර්මාන්ත ඇති කිරීමට ද කැමැත්ත පළ කර තිබේ.

අගමැතිනි ෂික් හසීනා හා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර පැවැති සාකච්ඡාවේදී හසීනා මැතිනිය කියා ඇත්තේ මෛත්‍රී පාලනය යටතේ ශ්‍රී ලංකාව තුළ විප්ලවීය වෙනසක් ඇති වී තිබෙන බව ය. එය ආර්ථික, දේශපාලනික හා අන්තර්ජාතික ප්‍රතිපත්ති වශයෙන් සිදු වී ඇතැ’යි ද හසීනා මැතිනිය පැහැදිලි කර ඇත. හසීනා මැතිනියගේ විග්‍රහය ඉතා නිවැරැදිය.

ආර්ථික වශයෙන් ශ්‍රී ලංකාවේ දූෂණය හා නාස්තිය අවම වී ඇත. දේශපාලනික වශයෙන් ප්‍රජාතන්ත්‍රවාදය, නීතියේ ආධිපත්‍යය හා සාමය පවතී. අන්තර්ජාතික වශයෙන් බලවත් රටවල් මෙන් ම දියුණු වෙමින් පවතින රටවල් ද ශ්‍රී ලංකාවට සහයෝගය දක්වයි. අන්තර්ජාතික සංවිධානවල හොඳ හිත ද ශ්‍රී ලංකාවට තිබේ.

බංගලිදේශ පාර්ලිමේන්තුවේ කථානායකවරිය හා ශ්‍රී ලංකාවේ නායකයා අතර ද සාකච්ඡාවක් පැවැත්විණි. මේ සාකච්ඡාවේ දී කථානායකවරිය කියා ඇත්තේ ශ්‍රී ලංකාව දේශපාලන වශයෙන් මෑත කාලයේ ලැබූ ජයග්‍රහණ සුවිශේෂ වන බවය. එය සත්‍යයෙකි. ජනාධිපතිවරයා සිය විධායක බලයෙන් සැලැකිය යුතු කොටසක් පාර්ලිමේන්තුව වෙත භාර දී තිබේ. එය රටේ ජනතාව ලැබූ සුවිශේෂී දේශපාලන ජයග්‍රහණයක් ලෙස සැලැකිය හැකිය. එබඳු වෙනසක් බංගලිදේශය තුළ තවම සිදුවී නැති බවද කථානායකවරිය පෙන්වාදී තිබේ. දේශපාලන වශයෙන් නිවැරැදි ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන රටක් ලෙස ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ පැසසුමට ලක්වනු ඇත.

රටක නායකයන්ගේ දර්ශනය හා ක්‍රියා පිළිවෙත එම රටේ අනාගත ජයග්‍රහණ සඳහා ඉවහල් වන බව මේ චාරිකාවෙන් ද තේරුම් ගත හැකි ය.


අදහස් 1ක් ඇත

ithama awassyayi namuth wicharathwaya kini thiyunu asakini!

පිටු

නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...