ලකුණු 388ක ඉලක්කය හඹා යන ශ්‍රී ලංකා පිල කඩුලු 3ක් දැවී 170යි

ෆවුස් මොහොමඩ්

සිකන්දර් රාසාගේ සටන්කාමී ශතකයත්, අගපෙළ පිතිකරුවන්ගේ ජවසම්පන්න පිතිහරඹයත් නිසා ලකුණු 388ක දැවැන්ත ඉලක්කයක් ශ්‍රී ලංකාව හමුවේ තැබූ සංචාරක සිම්බාබ්වේ පිල ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැත්වෙන ටෙස්ට් තරගයේ සිවුවැනි දිනය ඊයේ නිමාවනවිට පිතිකරුවන් තිදෙනකු ආපසු ක්‍රීඩාගාරයට හරවා යවමින් තරගයේ වාසිය අත්පත් කරගැනීමට දැඩි උත්සාහයක නිරතවිය. එහෙත් කුසල් මෙන්ඩිස් සහ ඇන්ජෙලෝ මැතිව්ස් එක්ව සිවුවැනි කඩුල්ලට ලකුණු 37ක සම්බන්ධතාවක් ගොඩනගමින් ශ්‍රී ලංකා පිලේ දෙවැනි ඉනිම 170 දක්වා ඉහළ දැමීමට සමත්වූහ.

කුසල් මෙන්ඩිස් නොදැවි ලකුණු 60ක් රැස් කිරීමට සමත්වූ අතර ඔහුට අනගි සහයක් දෙමින් ඇන්ජෙලෝ මැතිව්ස් නොදැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 17කි.

ඊයේ දිවා ආහාරයෙන් මොහොතකට පසුව සිම්බාබ්වේ පිලේ දෙවැනි ඉනිම නිමාවට පත්වූ අතර ලකුණු 388ක ඉලක්කය හඹායාමට පිටියට පිවිසි දිමුත් කරුණාරත්න සහ උපුල් තරංග පස්වරු තේ පානයට තරගය නතර කරනවිට සාර්ථක ආරම්භයක් ලබා දෙමින් මුලු ලකුණු සංඛ්‍යාව 56 දක්වා ඉහළ දැමූහ. එහෙත් තේ පානයෙන් මොහොතකට පසුව උපුල් තරංග දවාලූ ග්‍රෙහැම් ක්‍රීමර් තරගයේ පීඩනය ශ්‍රි ලංකා පිල දෙසට හරවා තැබීමට සමත්විය.

අනතුරුව දිමුත් කරුණාරත්න සමග එක්වූ කුසල් මෙන්ඩිස් දෙවැනි කඩුල්ලට ලකුණු 50ක සම්බන්ධතාවක් ගොඩනැගුවේය. ඉතා මැනවින් පිත්ත හසුරුවමින් සිටි දිමුත් සිය අර්ධ ශතකයට ලකුණක් අඩුවී තිබියදී දැවී ගියේ ෂෝන් විලියම්ස්ගේ විස්මිත පන්දුවකටය. අවසන් මොහොතේ එම පන්දුව නිදැල්ලේ හැරීමට දිමුත් තීරණය කළත් තියුණු දඟකැවීමක් පෙන්නුම් කරමින් පන්දුව පිට ඉන්නේ ගැටුණේ ඔහු අන්දමන්ද කරවමිනි. නායක දිනේෂ් චන්මාල්ට වැඩි වේලා පිටියේ රැඳී සිටීමට ක්‍රීමර් ඉඩ තැබුවේ නැත.

කඩුලු 4ක් ඇතැතිව ලකුණු 262ක වාසියක් සමග ඊයේ උදෑසන ඇරැඹුණු සිම්බාබ්වේ පිලේ දෙවැනි ඉනිමේ අග භාගය වේලාසනින් නිමා කිරීමට ශ්‍රී ලංකා පිල බලාපොරොත්තු වූවත් දිවා ආහාරය සඳහා තරගය නතර කරන විට කඩුලු 8කට ලකුණු 340ක් රැස් කිරීමට සිම්බාබ්වේ පිල සමත්විය.

පෙරේදා පස්වරුවේ නොදැවී ලකුණු 97ක් ලබා සිටි සිම්බාබ්වේ පිලේ දෙවැනි ඉනිමේ ගැලවුම්කාරයා සිකන්දර් රාසා ඊයේ උදෑසන ඩිල්රුවන් පෙරේරා යැවූ ආරම්භක ඕවරයේ පළමු පන්දු 2කට පිට පිට ලකුණු 2 බැගින් ලබා සිය මංගල ටෙස්ට් ශතකය වාර්තා කිරිමට සමත්විය. ශ්‍රී ලංකා පිලට හිසරදයක් වූ රාසා සහ මැල්කම් වොලර් අතර 7 වැනි කඩුල්ලේ වාර්තාගත සම්බන්ධතාව ලකුණු 144කින් නිමාවට පත්විය. එය ශ්‍රී ලංකාවට එරෙහිව සිම්බාබ්වේ පිලේ 7 වැනි කඩුල්ලට ගොඩනැගුණු ඉහළම සම්බන්ධතාව ද විය.

මිනිත්තු 342ක් කඩුල්ලේ රැඳී සිටිමින් සිම්බාබ්වේ පිලේ ඉනිම ගොඩනැගු සිකන්දර් රාසා ලකුණු 127කට දැවී ගියේ රංගන හේරත්ගේ පන්දුවකටය. ඒ සමගම දෙවැනි ඉනිමේදිත් සිය කඩුලු 5 සම්පුර්ණ කිරීමට හේරත් සමත්විය. එය ඔහු ටෙස්ට් ඉනිමක කඩුලු 5ක් සම්පූර්ණ කළ 31 වැනි අවස්ථාව වූ අතර ටෙස්ට් තරගයක කඩුලු 10ක් සම්පූර්ණ කළ අටවැනි අවස්ථාව ලෙසත් එය වාර්තාපොතට එක්විය.

අද තරගයේ අවසන් දිනයයි.


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...