පොදු රද මඬුලු යොවුන් ක්‍රීඩා අද ඇරැඹේ

 ජගත් කෙළිබිමේ අනාගත තරු ක්‍රීඩා පිටිය බබලවන 6වැනි පොදු රාජ්‍ය මණ්ඩලීය යොවුන් ක්‍රීඩා උළෙල බහමාස් නිව් ප්‍රොවිඩන්ස්හී තෝමස් ඒ රොබින්සන් ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද ආරම්භ වෙයි. මේ ක්‍රීඩා උළෙල 23වැනිදා දක්වා පැවත්වීමට සියල්ල සූදානම් කොට ඇත. 2014දී ලෝක මලල ක්‍රීඩා සංගමය සංවිධාන කළ ලෝක සහාය දිවීමේ සැණකෙළිය පැවැත්වූ ඉහළ ප්‍රමිතියකින් යුත් දැකුම්කළු තෝමස් ඒ රොබින්සන් ක්‍රීඩාංගණය මේ ක්‍රීඩා උළෙලේ ප්‍රධානතම මධ්‍යස්ථානය ලෙස සැලකේ.

එංගලන්තයේ බකින්හෑම් මාලිගාව අසලින් මෙයට දින 388කට පෙර ගමන් ආරම්භවූ කිලෝග්‍රෑම් 1.4ක් බරැති පොදු රද මඬුලු යෂ්ඨිය තෝමස් ඒ රොබින්සන් ජාත්‍යන්තර ක්‍රීඩාංගණය වෙත අද පස්වරුවේ රැගෙන ඒමත් සමග ක්‍රීඩා උළෙලේ නිල ආරම්භය සටහන් වේ. පොදු රද මඬුලු යෂ්ඨිය පසුගිය දිනවදී පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා සංගමයට අයත් රටවල සැරි සැරූ අතර එය අනාගතයේ තිරසාර බව සංකේතවත් කරන්නක් ලෙස හඳුන්වාදී තිබේ.

රටවල් 64ක වයස අවුරුදු 14-18 අතර වයස්වල ක්‍රීඩක ක්‍රීඩිකාවන් 1050ක් මෙවර පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට එක්ව සිටින බව ඊයේ වනවිට තහවුරු කොට ඇතැයි තරග සංවිධායකයෝ පවසති. නව යෞවනයට කරන ගෞරවයක් සේ සලකා මේ ක්‍රීඩා උළෙලේ සමාරම්භක උළෙල හා ක්‍රීඩා තරග සියල්ල වයස අවුරුදු 18න් පහළ දරුවන්ට නොමිලේ නැරැඹීමේ අවස්ථාව උදාකර දී ඇති බවද ඔවුහූ පැවැසූහ.

රන් පදක්කම් 94ක් වෙනුවෙන් මලල ක්‍රීඩා, බීච් වොලිබෝල්, බොක්සිං, බීච් පාපන්දු, ජල ක්‍රීඩා, පාපැදි, ජූඩෝ, සත් සාමාජික රගර් හා ටෙනිස් යන ක්‍රීඩා මෙවර පොදු රාජ්‍ය මණ්ඩලීය යොවුන් ක්‍රීඩා උළෙලට ඇතුළත් කොට ඇති අතර ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 28ක් මෙයින් ක්‍රීඩා ඉසව් 5ක් නියෝජනය කිරීමට පැමිණ සිටිති. මලල ක්‍රීඩා, බොක්සිං, ජල ක්‍රීඩා, ජූඩෝ, සත් සාමාජික රගර් හා ටෙනිස් යන ක්‍රීඩා ඉසව්වලට එක්වීම උදෙසා ශ්‍රී ලංකා යෞවන යෞවනියෝ සූදානමින් සිටිති.

අද පස්වරුවේ පැවැත්වෙන සමාරම්භක උළෙලට කලින් බොක්සිං තරග ඉසව් කිහිපයකට කවින්ද සංජය බණ්ඩාර හා මධුමාලී එරංගා ප්‍රියදර්ශනී සහභාගී වෙති. මේ දෙදෙනාම ඊයේ සාර්ථක පුහුණුවීමක නිරතව සිටිනු දක්නට ලැබුණි.

නාවලපිටිය මධ්‍ය මහා විදුහලේ හා පිළිමතලාව ධීරානන්ද මහා විදුහලේ ක්‍රීඩකයකු ලෙස දස්කම් දැක්වූ කවින්ද සංජය බණ්ඩාර වසර 2014 එල්. වී. ජයවීර කුසලාන වයස අවුරුදු 13-14 යටතේ පැවැති කිලෝග්‍රෑම් 41-43 බර පන්තියේ දක්ෂතම ක්‍රීඩකයා බවට පත්වූ අතර, ටී. බී. ඡයා බොක්සිං තරගාවලියේ කිලෝග්‍රෑම් 41- 43 බර පන්තියේ රන් පදක්කම දිනා ගැනීමට සමත් විය. සමස්ත ලංකා පාසල් තරගාවලියේදී රන් පදක්කම් දිනාගත් ඔහු, නැගී එන දක්ෂතම පාසල් ක්‍රීඩකයා සම්මානය හා පසුගිය වසර දෙකේදීම සමස්ත ලංකා පාසල් බොක්සිං රන් පදක්කම දිනාගත් දක්ෂ ක්‍රීඩකයෙකි.

පළමු වරට පොදු රාජ්‍ය මණ්ඩලීය යොවුන් ක්‍රීඩා ඉතිහාසයේ කාන්තා බොක්සිං නියෝජනය සටහන් කළ මධුමාලී එරංගා ප්‍රියදර්ශනී ද අද තරග බිමට පිවිසීමේ අපේක්ෂාවෙන් පසුවන්නීය. හගුරන්කෙත පල්ලේබෝවෙල මහා විද්‍යාලය නියෝජනය කරමින් පාසල් ක්‍රීඩාවේ පළමු පෙළ ‘වෙස්ට් ගේට් කුසලාන’ තරගාවලියේ කිලෝග්‍රෑම් 46-48 බර පන්තියේ රන් පදක්කම දිනා ගැනීමට ඇය සමත් වූවාය. ශ්‍රී ලංකා කනිෂ්ඨ බොක්සිං තරගාවලියේ රන් පදක්කම ද ඇය සතුව ඇත.

බහමාස් පැමිණි බොක්සිං පුහුණුකරු කේ. කේ. සුනිල් මහතා පැවැසූවේ ශ්‍රී ලංකාවට කුමන ප්‍රතිවාදියකු හමුවුවද ප්‍රහාර එල්ල කිරීමේ මූලික සැලසුමක් සකස් කොට ඇති බවයි. “අපේ ක්‍රීඩකයා හා ක්‍රීඩිකාව හොඳ මට්ටමක සිටිනවා. බහමාස් බොක්සිං වලල්ලේ යම් පෙරැළියක් සිදු කළ හැකි බවට විශ්වාසයි” පුහුණුකරු සුනිල් මහතා පැවැසීය. පිළිමතලාව ධීරානන්ද මහා විදුහලේ ක්‍රීඩා භාර ගුරුතුමා ලෙස කටයුතු කරන සුනිල් මහතා, තරු එකේ පුහුණුකරු ලෙස පාඨමාලා සමත් වූවෙකි.

ප්‍රින්ස් ගු ණසේකර 
බහමාස් නස්සාවූ නගරයේ සිට...

 


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...