කැළි කසළ ගැටලුව ඉදිරි ආණ්ඩුවක දී විසැඳීමට ඉඩ තබන්නේ නැහැ | දිනමිණ

කැළි කසළ ගැටලුව ඉදිරි ආණ්ඩුවක දී විසැඳීමට ඉඩ තබන්නේ නැහැ

 මහින්ද අලුත්ගෙදර

රටේම අවධානය යොමුව තිබෙන කැළි කසළ කළමනාකරණය හා සම්බන්ධ ගැටලුව ඉදිරි ආණ්ඩුවක දී විසඳීමට ඉඩ නොතබන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අවධාරණය කරයි.

එම ගැටලුව සඳහා ස්ථිර හා විද්‍යාත්මක විසඳුමක් ලබාදීම වෙනුවෙන් වත්මන් ආණ්ඩුව පියවර ගන්නා බව පවසන ඒ මහතා කෙසේ හෝ මේ ආණ්ඩුව විසින් එම ගැටලුව අවසන් කරන බවද තර්ක කරමින් සිටිනවා වෙනුවට ජාති, ආගම්, දේශපාලන පක්ෂ බේදයකින් තොරව සියලු පුරවැසියන් ඒ සඳහා සහාය ලබාදිය යුතු බවද සඳහන් කරයි.

ජනාධිපතිවරයා මේ බව සදහන් කළේ අපද්‍රව්‍ය කළමනාකරණය සහ ඩෙංගු මර්දන වැඩපිළිවෙළ පිළිබඳ පළාත් පාලන ආයතන ප්‍රධානීන් දැනුවත් කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී ඊයේ (17) පැවැති ජාතික වැඩමුළුව අමතමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා පෙන්වා දුන්නේ කැළි කසළ කළමනාකරණය හා සම්බන්ධ ගැටලුව තවත් මාස හයක පමණ කාලයක් මෙලෙස පවතිනු ඇති බවත් එළඹෙන ජනවාරි සහ පෙබරවාරි මාස වනවිට සභාපතිවරුන්, නගරාධිපතිවරුන් සමඟ එක්ව කටයුතු කිරීම සඳහා පළාත් පාලන ආයතනයන්හි කොමසාරිස්වරුන් ඇතුළු නිලධාරීන්ට අවස්ථාව සැලසෙනු ඇති බවත්ය.

පළාත් පාලන මැතිවරණය පැවැත්වීම පිළිබඳ රජයේ කටයුතු අවසන්ව ඇති අතර අදාළ පනත් කෙටුම්පත ලබන සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවද ආණ්ඩුව මැතිවරණ නොපවත්වන බවට දේශපාලන වශයෙන් සහ මාධ්‍ය තුළ විවිධ විවේචන එල්ල වුවද සිදුව ඇත්තේ ආණ්ඩුව මැතිවරණ නොපවැත්වීම නොව, පළාත් පාලන ආයතන සඳහා නියෝජිතයන් තෝරා පත්කර ගැනීමට අදාළව මීට පෙර සකස් කළ පනතේ තිබූ අක්‍රමිකතාව සහ අවිධිමත්භාවය හේතුවෙන් මැතිවරණ පැවැත්වීමට නොහැකි තත්ත්වයක් නිර්මාණය වීම බවද ජනාධිපතිවරයා පැවසීය.

කැළි කසළ හා සම්බන්ධයෙන් වන අයිතිය හා සම්බන්ධ තර්ක කිරීම්වලට නොගොස් මෙය අපේ රට, අප විසින් කළ යුතුයි යන මතයේ සිට කටයුතු කරන්නේ නම් ගැටලු අවම වන බවද තර්ක කිරීම් තුළ ප්‍රශ්න නොවිසඳෙන බවද පෙන්වා දුන්නේය. එසේ නම් අඩියක් පිටුපසට තබා ප්‍රශ්න විසඳීම වෙනුවෙන් අවධානය යොමු වියයුතු බවද හෙතෙම සඳහන් කළේය.

මේ අතර ඒ මහතා පෙන්වා දුන්නේ ඉදිරි මාස කිහිපය තුළ පළාත් පාලන ආයතනවල ලේකම්වරු හා අනෙකුත් අයගේ අදහස් ලබාගෙන ස්ථිරසාර වැඩපිළිවෙළක් සැකසීමට අපේක්ෂා කරන බවත් මේ දක්වා කාලය තුළ කිසිඳු ආණ්ඩුවක් විධිමත් ලෙස කැළි කසළ කළමනාකරණය සඳහා වැඩපිළිවෙළක් ක්‍රියාත්මක නොකළ බවත්ය.

විධිමත් කසළ කළමනාකරණය හා ඩෙංගු උවදුර මැඬලීම සම්බන්ධයෙන් වන යෝජනා හා නිර්දේශ ඇතුළත් වාර්තාව පළාත් සභා සහ පළාත් පාලන ඇමැති ෆයිසර් මුස්තාෆා මහතා අතින් මෙහිදී ජනාධිපතිවරයා වෙත පිළිගැන්වීය.

පළාත් සභා සහ පළාත් පාලන ඇමැති ෆයිසර් මුස්තාෆා, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් එච්.ටී. කමල් පත්මසිරි මහත්වරු සහ පළාත් ආණ්ඩුකාරවරු, ප්‍රධාන ඇමැතිවරු ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ. 

නව අදහස දක්වන්න