සුදු අප්‍රි­කා­නු­වාගේ කළු වේදි­කාව | දිනමිණ

සුදු අප්‍රි­කා­නු­වාගේ කළු වේදි­කාව

මයි චිල්ඩ්රන් මයි ඇෆ්රිකා

කපිල කුමාර කාලිංග

දකුණු අප්‍රිකානු නාට්‍යකරුවකු වන අතොල් ෆුගාර්ඩ් (Athol Fugard) ශ්‍රී ලාංකීය වේදිකාවට ද අමුත්තකු නොවේ. ඔහුගේ නාට්‍ය ගණනාවක් ම සිංහලට නැඟී නිෂ්පාදනය විය.

'බන්සි මැරිලා නෑ' (Sizwe Bansi is Dead), 'මාස්ටර් හැරල්ඩ්' (Master Harold and Boys), 'සිංදු කිරිල්ලී' (Valley Song), 'සෙකන්ඩ් හෑන්ඩ් ජීවිතේ' (Hello and Goodbay), 'උතුරු කොනට පටු පාරක්' (Boesman and Lena), 'අපේ පංති කාමරය' (My Children My Africa), 'අහිංසකයන්ගේ ආරාමය' (The Island), 'ට්‍රේන් ඩ්‍රයිවර්' (The Train Driver), 'කළු සමනල්ලු' (Blood Knot), 'ක්වීන්' (Nongogo) සහ සූකරභවන (A Place with the Pigs) මගේ මතකයට නැඟෙන නිෂ්පාදනයන්ය. මේ අනුව බලන කල, බර්ටෝල් බ්‍රෙෂ්ට්ටත් වඩා ෆුගාර්ඩ් සිංහල වේදිකාවට 'ගොඩ වී' ඇත.

ඒ පිළිබඳව අතොල් ෆුගාර්ඩ්ගේ ශ්‍රී ලාංකීය 'මිත්‍රයින්' වන බුද්ධික දමයන්ත, ඩබ්. එච්. විජේසිංහ, පසන් කොඩිකාර, අනුර ඒකනායක, සංජීව උපේන්ද්‍ර, ජෙහාන් ශ්‍රීකාන්ත, චාමල් රණසිංහ, සුනිල් චන්ද්‍රසිරි හා සනත් කරුණාරත්න ආදී නාට්‍යකරුවනට අපගේ කෘතඥතාව හිමිවිය යුතුය.

ෆුගාර්ඩ් නාට්‍ය අපේ නාට්‍යකරුවන් අතර මෙතරම් ජනප්‍රිය වීමට ප්‍රධාන හේතුව, යටත්විජිත සමීපතාව විය යුතුය. අනෙක් හේතුව, සීමිත චරිතවලින් යුතු ඔහුගේ බොහෝ නාට්‍ය අඩු වියදමකින් නිෂ්පාදනය කළ හැකිවීම යැයි සිතමි. (ෆුගාර්ඩ්ගේ නාට්‍ය චරිත දෙක තුනකට සීමාවේ.)

දක්ෂ නළුවකු ද වූ අතොල් ෆුගාර්ඩ් වයස 66 වනතුරුම තම නාට්‍යවල රඟපෑවේය. එතැන් සිට ලිවීමෙහි සහ අධ්‍යක්ෂණයෙහි පමණක් නිරතවූ ඔහු දැන් අසූපස් හැවිරිදිය. ඔහුගේ පළමු බිරිය ශීලා ද, වේදිකා නිළියකි. ලේඛිකාවකි. (පසුව ඔව්හු වෙන්වූහ.) දියණිය ලීසා ද ගත්කතුවරියකි.

ෆුගාර්ඩ්ගේ පියා අයර්ලන්ත - පෝලන්ත සම්භවයකින් යුත් රෝමානු කතෝලිකයෙකි. මව සුදු - කළු මිශ්‍ර 'ඇෆ්රිකානර්' ජනවර්ගයට අයත් කාන්තාවකි. යුගාර්ඩ් ද තමා හැඳින්වූයේ ඇෆ්රිකානරයකු (Afrikaner) ලෙසිනි.

කේප්ටවුන් විශ්වවිද්‍යාලයේ ඉගෙනුම අතරමඟ නතර කළ ෆුගාර්ඩ්, වෙළෙඳ නැවක සේවයට බැඳෙයි. පසුව යළි සිය රට පැමිණ අධිකරණ ලිපිකරුවකු ලෙස සේවය කරන්නට ගනී. එහිදී වර්ණභේදයේ අමානුෂික බව පිළිබඳ අත්දැකීම් රැසක් ලබන්නට ඔහුට හැකි වෙයි. පසුකාලීනව ලියූ නාට්‍යවලට ද ඒවායින් නිර්මාණාභාෂය ලැබුණි. ෆුගාර්ඩ්ගේ පළමු නාට්‍යය 'මහ සිකුරාදා' (Good Friday) ය.

මුල් කාලයේදී ඔහු, කළු ජාතික තරුණ නළු කැළත් සමග නාට්‍යකරණයෙහි යෙදුණේය. පැරණි සත්ත්ව උද්‍යානයක අත්හැර දමන ලද සර්ප කොටුවක නාට්‍ය රඟදැක්වූ හෙයින්, ඔවුනට 'Serpent Players' යන නම පටබැඳුණි.

දකුණු අප්‍රිකාවට ආවේණික සුදු අප්‍රිකානු ජනවර්ගය (ඇෆ්රිකානර්) බිහිවන්නේ, අතීතයේදී දියමන්ති ආදී සම්පත් සොයා එහි පැමිණි ජර්මන්, ඕලන්ද හා ඉංග්‍රීසි ජාතීන්ගේ ජාන මිශ්‍රණයෙනි. වර්ණයෙන් සුදු වුවත්, ඔවුන් තම මව්බිම ලෙස සැලකුවේ දකුණු අප්‍රිකාවය. යුරෝපීයයන් හා සටන් වැදුණු බෝයර් ජාතිකයන් ද ඔවුන්මය.

සටනින් පරාජය වූ බෝයර් කණ්ඩායමක් සිරකරුවන් වශයෙන් ශ්‍රී ලංකාවට ද ගෙන එනු ලැබූ අතර, ඔවුන් පදිංචිකරවූයේ වත්මන් දියතලාව හමුදා කඳවුරු භූමියෙහිය. එහි සිටියවුන්ගෙන්, මෙරට වඩා ජනප්‍රිය චරිතයක් වූයේ, යාල වනෝද්‍යානයෙහි පළමු පාලක එංගල් බ්‍රෙෂ්ට් ය. ('වන බිමේ සිරකරු' ටෙලිනාට්‍ය නිර්මාණය වූයේ ද ඔහුගේ ජීවිත කතාව ඇසුරිනි.)

සුදු සමක් තිබූ නමුදු, අතොල් ෆුගාර්ඩ් සුද්දන්ගෙන් වෙනස් චරිතයක් විය. කල්ලන්ට සිදුවන අසාධාරණයට ඔහු දැඩි ලෙස විරුද්ධ විය. ඔහුගේ නාට්‍ය බොහොමයකින් පිළිබිඹු වූයේ ද එම විරෝධතාවයි. එය සුදු පාලකයන්ගේ උදහසට ලක්විය. ෆුගාර්ඩ්ගේ විදේශ ගමන් බලපත්‍රය ද සිවු වසරකට අවලංගු කෙරුණි. රාත්‍රියේදී දේවස්ථානවල හා ප්‍රජා මධ්‍යස්ථානවල ෆුගාර්ඩ්ගේ නාට්‍ය රඟදැක්වෙන්නට වූ අතර, ඒවා නැරැඹීමට පැමිණියේ විදේශීය සංක්‍රමණිකයන් (ශ්‍රමිකයන්) හා නගරයේ නවාතැන්පොළවල සිටියවුන්ය. නාට්‍ය දර්ශන අතර ඔව්හු අත්පොළසන් දුන්හ. කඳුළු සැළුහ. අවසානයේ විවිධ අදහස් දැක්වූහ. ෆුගාර්ඩ් ඒවාට ඉතා ඕනෑකමින් සවන් දුන්නේය. ඇතැම් විට ඔවුන් හා එකඟවෙමින් වෙනස්කම් ද කළේය.

'එක්තරා නිශ්චිත සමාජ අවස්ථාවක ජීවත්වන කලාකරුවා, කොතරම් හුදෙකලා වුව ද ඔහුට එම සමාජ අවස්ථාවේ දේශපාලන හා සාමාජික ආකල්පවලින් ගැලවිය නොහැක. නිර්මාණය සඳහා ඔහු පොළඹවන ආවේග ඇතිවන්නේ දේශපාලනික, ආර්ථික, ආගමික හා වෙනත් සාමාජික ආකල්ප හා ඔහුගේ පුද්ගලිකත්වය අතර ඇතිවන ගැටුමෙහි ප්‍රතිඵලයක් වශයෙනි. (සයිමන් නවගත්තේගම - සාහිත්‍ය, සමාජවාදය හා කලා විචාරය) මෙම අදහස්, ෆුගාර්ඩ් සම්බන්ධයෙන් ද සාධාරණය.

උපතින් ලද සුදු හමට හිමි වරප්‍රසාදයන්ගෙන් වැඩ නොගත් ෆුගාර්ඩ් දකුණු අප්‍රිකානු සමාජයෙහි යථාර්ථය නොසඟවා ලොවට කීමට පෙළඹුණේය. ඔහුගේ 'Blood Knot' (රුහිරු ගැටය) නාට්‍යයට වස්තු වන්නේ, එකම පවුලක උපදින තද කළු සහ මඳ කළු සොහොයුරන් දෙදෙනකු වර්ණභේදවාදී සමාජයක් තුළ ලබන අත්දැකීම් ය.

'මාස්ටර් හැරල්ඩ්' නාට්‍ය පුරා දිවෙන්නේ සුදු හාම්පුතකු හා ඔහුගේ කළු සේවකයන් දෙදෙනා අතර කෙරෙන සංවාදයකි. අවසානයේ එය ගැඹුරු මානුෂික අත්දැකීමක් බවට පත්වෙයි.

මෙම නාටකය, ෆුගාර්ඩ්ගේ 'අර්ධ චරිතාපදාන' නාටකයක් බඳු යැයි විචාරකයෝ පෙන්වා දෙති. 'මාස්ටර් හැරල්ඩ්' නාටකයේ අදෘෂ්‍යමාන චරිතයක් වන මද්‍යලෝලී පියා හා ෆුගාර්ඩ්ගේ පියා ද සමාන ය. ආබාධිතව සිටි ඔහු ඉක්මනින් කිපුණේය.

එහෙත් ඔහු තම පියාට ආදරය කළේය. 'ඔහු ජෑස් සංගීතඥයෙක් - හොඳ කතන්දරකා‍රයෙක්, පොත් ගුල්ලෙක්. ඔහුගේ ඒ ගුණාංග මට ද උරුම වුණා.'

නිවසේ විය පැහැදම් සඳහා ෆුගාර්ඩ් මව තේපැන් හලක් පවත්වාගෙන ගියාය. 'මාස්ටර් හැරල්ඩ්' වැනි නාට්‍යයකදී එහි ආභාෂය දැකිය හැකිය.

ඉතා සුළු සිදුවීමකින් පවා තම සිතෙහි 'නාට්‍ය බීජ' රෝපණය වන්නේ යැයි ෆුගාර්ඩ් කියයි. එය වීදියකදී දුටු දෙයක්, අසන්නට ලැබුණු දෙයක් හෝ පුවත්පතක පළව තිබූ අඟල් දෙක තුනක ප්‍රවෘත්තියක් විය හැකිය.

'මයි චිල්ඩ්රන් මයි ඇෆ්‍රිකා' නාට්‍ය ලිවීම සඳහා ඔහු පෙළඹුණේ, පොලිස් ඔත්තුකාරයෙකැයි සැකකොට තරුණයකුට ගිනි තබා මරා තැබීමේ සිද්ධියක් පිළිබඳව පළවූ පුවත්පත් වාර්තාවකි. පසුව ඔහු නිර්දෝෂි පුද්ගලයකු බව හෙළිදරව් විණි. 'ට්‍රේන් ඩ්‍රයිවර්' නාට්‍යයට පසුබිම් වූයේ දුම්රියට පැන දිවිනසා ගත් ගැහැනියක පිළිබඳ පුවතයි. අමෙරිකාවේ පැවති නාට්‍ය කතිකාවකට සහභාගි වූ ෆුගාර්ඩ් ඒ පිළිබඳව කතා කරමින් මෙසේ ද පැවසීය.

"අපේ ‍රටේ නගරවල පැල්පත්වාසීන්, මහවැසි පතිත වන කාලවල ඉතා අසරණ වෙනවා. ජලය බැස යාමට දින දෙක තුනක් ගතවෙනවා. එවිට තම දරුවන් වඩාගෙන සිටිවනම කල් ගෙවන ගැහැනුන් ගැන මා අසා තිබෙනවා. එබඳු ගැහැනියක දුම්රියට පනින්නට කල්පනා කිරීම පුදුමයක් ද?"

'බන්සි මැරිලා' නාට්‍යය, වර්ණභේදවාදී දකුණු අප්‍රිකාව පිළිබඳ හරස්කඩක් බඳු ය. ෆුගාර්ඩ් ඒ සඳහා ආභාෂය ලැබුවේ ජොහැන්නස්බර්ග් අධිකරණයේ ලිපිකාර සේවයෙහි යෙදුණු කාලයේ ලද අත්දැකීම්වලිනි. 70 දශකයේදී, කළු ජාතිකයන්ට තම මව්බිම තුළම අනන්‍යතාව සනාථ කිරීම සඳහා ගමන් බලපත්‍රයක් ලබාගැනීමට නියම වී තිබූ අතර, එය නොමැතිව හසුවුවහොත් සිර දඬුවම් විඳීමට ද සිදු විය.

රැකියාවක් සොයා පෝට් එළිස‍බත් නගරයට එන බන්සිට, එයින් පිටවීමට නියෝග ලැබෙන්නේ ඔහුගේ ගමන් බලපත වෙනත් නගරයකට අයත් වූවක් බැවිනි. එහෙත් හොඳ රැකියාවක් ලැබිය හැක්කේ මෙහි රැඳුණොත් පමණි. ඔහුට අලුත් බලපතක් ලබාදීමට, මිතුරකු උත්සාහ ගනී. ඒ සඳහා ඔහු යොදන උපක්‍රමය වන්නේ මියගිය පුද්ගලයකුගේ ගමන් බලපතෙහි ඡායාරූපය වෙනස් කොට, ඔහුගේ අනන්‍යතාව, බන්සිට ලබාදීම ය.

"මම වෙනම මිනිහෙක් වුණාට පස්සෙ, මගේ බිරිඳටයි, දරුවන්ටයි මොකද වෙන්නෙ?" බන්සි අසයි.

"ඔබට ඒ බිරිඳවම නැවත විවාහ කරගන්න පුළුවන්. බන්සි දැන් මැරිලා"

මිතුරා පිළිතුරු දෙයි. වඩා වැදගත් වන්නේ සැබෑ අනන්‍යතාව නොවේ. රැකියාව නොහොත් පැවැත්මයි. බන්සි මිතුරා හා එකඟවෙයි.

මෙය තියුණු සමාජ විවේචනයකින් යුත්, උත්ප්‍රාසාත්මක නාට්‍යයක් ලෙස විචාරක - ප්‍රේක්ෂක ප්‍රසාදයට ලක්විය.

'බන්සි මැරිලා' හි ප්‍රධාන චරිත රඟපෑවේ, ෆුගාර්ඩ්ගේ යාව-ජීව කළු මිත්‍රයන් දෙදෙනා වූ ජෝන් කැනි සහ වින්ස්ටන් ත්ට්ෂෝනා ය. ඔවුන් දෙදෙනාම එහි රංගනය උදෙසා හොඳම නළුවාට හිමි ටෝනි සම්මානයෙන් පිදුම් ලැබූහ. 2007 දී පීටර් බෲක් විසින් 'බන්සි මැරිලා' හි ප්‍රංශ පරිවර්තනය වේදිකාගත කරනු ලැබුවේය. අතීතාවර්ජනයක යෙදුණු මොහොතක අතොල් ෆුවාර්ඩ් මෙසේ පැවසීය.

'මගේ මුළු ජීවිත කාලයම ගතවුණේ වර්ණභේදවාදී සෙවණැල්ල යටතේ. 1994 දී දකුණු අප්‍රිකානු පාලන ක්‍රමය වෙනස්වීමත් සමඟ ම මට දැනුණේ ජීවිත කාලයම බොක්සිං වළල්ලක් තුළ ප්‍රතිමල්ලවයකු සමඟ සටන් කරමින් සිට, එක්වරම තනිවූවාක් වැනි හැඟීමක්. සටන් කිරීමට කිසිවකු නැහැ. අත්වැසුම් ගලවා දමා ඉන් පිටවී යා යුතුයි. නැවත ඔබවම සොයාගත යුතුයි...

... ලේඛකයෙකු වශයෙන් මා භාවිත කළ එකම බලශක්තිය ආදරය පමණයි. මම වෛරයෙන් යුතුව එකම වචනයක්වත් ලියා නැහැ. හිංසනයට හිංසනයෙන්ම පිළිතුරු දීමට නොහැකියි. හොඳම ප්‍රතික්‍රියාව ආදරයම පමණයි." 

 


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...