එකම කෙල්ල ඈ පම­ණක් නොවෙයි | දිනමිණ

එකම කෙල්ල ඈ පම­ණක් නොවෙයි

 මහානාම දුනුමාල

ගෙවුණු සඳුදා උදේ පාන්දර අහස දම් පැහැයක් ගෙන තිබිණ. ඇසළ පුන් පොහෝ දා දක්වා ම යන්තමින් හෝ පොළොවට වැටුණු අව්රැල්ලට දැන් ඉතින් ඉඩක් නැත. තැන් තැන්වල කාටත් හොරා තැන්පත්ව ඇති මදුරු බීජ ජීවයෙන් පුරවාලන්නට මෙන් වැසි ඇද වැටෙන්නට ආසන්න ය. පෝ දිනට පසු ඉරිදාවේ වැස්ස පොළොවට ඇද වැටුණේ අරියාදුකාරයකු මෙනි. ඒ රබර් කිරි කපන මිනිසුන් පාන්දර කැපූ කිරි අකුළන්නට පෙර සෝදා හරිමිනි. සඳුදා දවස ද පෙරදා සේ ම වැහි කුඩය දිගු කර ගෙන බලා සිටී. මම කුඩය ඉහළන්නට බලාගෙන සේවයට යන්නට පිටත් වූයෙමි.

ඒ අඳුරු සඳුදාවේ මා ඇසූ මුල් ම කතාන්තරය මට කීවේ මා හඳුනන ගුරුවරියකි. කතාන්තරයේ කතා නායිකාව දහවන ශ්‍රේණියේ ඉගෙනුම ලබන බාලිකාවකි. කතාව ඒ හුරුබුහුටි බාලිකාව දැක්වූ විශේෂ දස්කමක් හෝ හපන්කමක් ගැන නම් නො වේ. පාසලේ ක්‍රීඩා පුහුණුවීම් ඇතැයි සිය මවුපියන් මුළා කළ දැරිය ක්‍රීඩාව සඳහා අඳින ඇඟලුම් හැඳ පැමිණ, මාස කීපයකට කලින් හඳුනාගත් පෙම්වතකු සමඟ පැන ගියා ය. දෙමාපියන් කලබල වූයේ සිය දියණිය ක්‍රීඩා පුහුණුවීම් හමාර වී නිවසට පැමිණෙන වෙලාව වන විටත් නොපැමිණි විට ය. ගුරුවරියන්ට, යෙහෙළියන්ට කතා කළ මවට දැනගන්නට ලැබී ඇත්තේ දැරිය පාසලට නොපැමිණි බව ය. ‘මම හොඳින් ඉන්නවා. හොයන්න එපා.’ නාඳුනන දුරකථන අංකයකින් ලැබුණු කෙටි පණිවිඩය දියණිය ගිය ගමන මවට තහවුරු කළේ ය. මා හඳුනන ගුරුවරිය මේ කතාව කියන විටත් වයස අවුරුදු පහළොවකට වැඩි නැති දැරිය සොයාගෙන තිබිණි. කතාවේ ඉතිරි කොටස අපට සිතාගත හැක. ඇය රැගෙන ගිය මෝඩ ඉළන්දාරියා රිමාන්ඩ් භාරයට පත් වනු ඇත. දැරිය රෝහල් ගත කරමින් ඉදිරි නීතිමය කටයුතු සිදු කෙරෙනු ඇත.

මේ අප ජීවත්වන රටේ කලාතුරකින් සිදු වන කතාවක් නම් නො වේ. බාල වයස්කාර බාලිකාවන් සිය ජීවිත ගමනේ වඩා දැනුම්වත් අවධියක දී ගත යුතු විවාහය පිළිබඳ තීන්දුව අනවබෝධයෙන් වේලාසනින් ගැනීමෙන් සිදුවන ඛේදවාචකයන්ට තවත් එක් නිදසුනක් පමණි. මෙවන් තීන්දු ගන්නා බාලිකාවන් දිළිඳු පවුල්වලට අයත් අය පමණක් යයි වරදවා වටහා නොගත යුතු ය. වත් පොහොසත්, සමාජ මට්ටමින් වඩා දැනුම්වත් දෙමාපියන්ගේ දරුවෝ ද මෙවන් තීරණ ගනිති.

අදින් බොහෝ කලකට පෙර අප හා පාසල් ගිය සගයෙක් වෙනත් පාසලක ගැහැනු ළමයකුට පෙම් බැන්දේ ය. අපේ සගයාගේ පවුලේ අය දිළිඳු සහ සාමාජීය දැනුමෙන් අඩු අය වූහ. ඔහුගේ පෙම්වතියගේ මව මියගියේ ඇය කුඩා අවධියේදී ය. පියා වෙනත් විවාහයක් කරගෙන ඈතක ජීවත් වූයේ ය. මෙම කතාවේ සඳහන් තරුණිය ජීවත්වූයේ පියාගේ ඥාතීන් සමඟ ය. අපේ යහළුවා සමඟ පැවැත්වූ ප්‍රේම සම්බන්ධය අරභයා තරුණියගේ ඥාතීන් දැක්වූයේ බරපතළ විරෝධයකි. මේ හේතුවෙන් ම නිවසේ අය සමඟ නිතර ම ගැටෙන්නට සිදුවීම තරුණියට දැඩි මානසික පීඩනයක් වූයේ ය. ගෙදරින් දැඩි විරෝධතා එල්ල වූ දවසක දහවල් කාලයේ ඇය ඔහු සොයා පැමිණි ඇය ඔහුට කීවේ ඔහුගේ තැනකට ඇය රැගෙන යන ලෙස ය. උසස් පෙළ ලියා, ප්‍රතිඵල එනතුරු සිටි සවිමත් ආර්ථික තත්ත්වයක් නැති ඔහුට සිදුවූයේ ඇය රැගෙන දන්නා හඳුනන තැනකට පලා යන්නට ය. හිතවතුන්ගේ උපකාරයෙන් ඈත පළාතක විවාහ රෙජිස්ටාර්වරයකු ළඟ විවාහ වන්නට ය. පසුව සැඟවී සිටින අතර ම පොලිසිය හමුවේ පෙනී සිටින්නට ය. එවකට පැවති නීතිය අනුව දෙදෙන විවාහක යුවලක් සේ පොලිසිය විසින් පිළිගන්නා ලදී. ඉන්පසු දෙදෙනාට ම සිදුවූයේ ජීවත්වන්නට ය. ඒ ඉතා දුෂ්කර ව්‍යායාමයක් විය. ඔහු රෑ යා‍මයේ රේස් බුකීවල හා දහවලට තවත් තැන්වල තාවකාලික රැකියා කළේ ය. ජීවිතය ඔවුනට කටුක බව හැර මිහිරි පලාඵල නොගෙනාවේ ය. කාලයක් ම මට ඔහු හමුවූයේ නැත. දෙදෙන බැහැරක ජීවත්වන බව පමණක් සැල විය. අවුරුදු කීපයකට පසු අසන්නට ලැබුණු ඔවුන් දෙදෙනාගේ ඛේදනීය ඉරණම මගේ දෑස් තෙත් කළේ ය. එවිට ඒ දුප්පත් කැදැල්ලට දරුවකු ද එක්වී සිටියේ ලු. හදිසි උණ රෝගයකින් අපේ යහළුවාගේ බිරිය මියගොස් ඇත. මියගිය බිරිය හා දරුවා සමඟ තනි වූ ඔහු දකින්නට ආවේ බිරියගේ නෑසියන් ය. කෝපයෙන් වියරු වූ ඇගේ නෑසියන්ට මුහුණ දීමට දිරියක් නොතිබුණු ශෝකයෙන් පීඩිත ඔහු වහා දිව ගොස් දිවි නසා ගත්තේ ය. තනිවුණු දරුවා නෑසියන්ගේ භාරයට ගැනිණි. යෞවන ප්‍රේමය හා ඉන් ගැනෙණ හදිසි තීරණ ජීවිතය ම ඛේදයකට පරිවර්තනය කරන ආකාරය මට මුලින් ම අත් විඳින්නට ලැබුණේ මගේ යහළුවාගේ හා ඔහුගේ තරුණ බිරියගේ අභාග්‍යවන්ත ජීවිත ඇසුරිණි.

යෞවන ප්‍රේමය මිහිර ආස්වාදනීය අත්දැකීමක් බව සැබෑ ය. එය බුද්ධිමය ගනුදෙනුවක් වන්නේ වී යහ ඇවතුම් පැවතුම් ජීවිතයට ළඟා කරයි. එහෙත් විචාරයෙන් තොර යොවුන් පෙම සාදා දෙන්නේ දුකක් ම බව යෞවන යෞවනියන් වටහා ගත යුතු ය. මේ ඛේදවාචක හමුවේ මවුපියෝ ද සදා දුකට හා තැවුලට පත්වෙත්. 1799 සිට 1837 දක්වා කෙටි කාලයක් ජීවත් වූ රුසියන් ලේඛක ‘ඇලෙක්සැන්දර් පුෂ්කින්’ ලියූ ‘තානායම්කරුවා’ කෙටිකතාව ඇතැම් විට ඔබ කියවා තිබිය හැක. දුන්යා නම් සිය එකම දියණිය සමඟ ජීවත් වූ තානායම්කරුවාගේ තානායමට එන මින්ස්කි නම් කපිතාන්වරයා තානායම්කරුවා රවටා දුන්යා රැගෙන පලා යයි. තානායම්කරුවාට දියණියගේ වියෝව දරාගත නොහැක. ඔහු මෙසේ පවසයි.

“දැනට මේක සිද්දවෙලා අවුරුදු තුනක් වුණා. ඔව් අවුරුදු තුනක්. මම මගේ දුව දුන්යා නොදැක, ඇය ගැන වචනයක් නොඅසා, ඈ ජීවත්ව ඉන්නවාද මළා ද දන්නේ දෙවියන් විතරයි. ඕන දෙයක් වෙන්න පුළුවන්. පාරේ යන ජේත්තුකාරයකුට වසඟ වී ඔහු සමඟ පැන ගිය කෙල්ල ඈ පමණක් නොවෙයි. එවැනි කෙල්ලෝ ඉස්සරත් හිටියා. මත්තටත් හිටීවි....” (රුසියන් කෙටිකතා - පද්මහර්ෂ කුරණගේ)

ජීවිතය ලැබී ඇත්තේ නිවැරදි නොවන තීරණ මත තමන්ගේ හා ස්වකීයන්ගේ ජීවිත අවාසනාවන්ත කර ගැන්මට නොවන බව යෞවන යෞවනියන් මතක තබා ගත යුතු ය. 

 


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...