මං රඟපාන්නේ සාමාන්‍ය මිනිස්සුන්ට | දිනමිණ

මං රඟපාන්නේ සාමාන්‍ය මිනිස්සුන්ට

රොහාන් විජේතුංග

රඟපෑම කියන්නෙ බොහොම අපූරු කලාවක්. හැබැයි ඉතින් රඟපානවයි කිව්වට දැනගෙන රඟන වගේ ම නොදැන රඟන අයත් ඕනතරම්. මේ එක් වර්ගයක චරිතයක් එක්ක තමා අපි අද කතා කරන්නෙ. ඔහු කොළඹ විශ්වවිද්‍යාලයෙන් නාට්‍ය හා රංග කලාව පිළිබඳව උපාධි සහතිකේතුත් අරගෙන, බොහොම හොඳට දැනගෙන රඟන දක්ෂ රංගන ශිල්පියෙක් . මේ දිනවල ස්වර්ණවාහිණියේ විකාශය වන “හාරකෝටිය” ටෙලි නාට්‍යයේ “කානුවත්තේ රංජි“ විදිහට කොයිකාගෙත් අවධානය දිනාගත් ඔහු, නමින් රොහාන් විජේතුංග.

l ඉතිං රොහාන්, මොකද මේ දවස්වල කරන්නෙ?

මේ දවස්වල ඉතිං හාර කෝටියෙ රූගත කිරීම්වලට අමතරව ආශා එදිරිසිංහ නිෂ්පාදනය කරන චිත්‍රපටියක රූගත කිරීම් කරනවා. තව “ගරු හොරු“ කියලා රොහාන් හඳුන්නෙත්තිගේ වේදිකා නාට්‍යයකත් වැඩ කරගෙන යනවා.

l ටෙලි නාට්‍ය රංගනයට ප්‍රවිශ්ට වුණේ කොහොමද?

මම මුලින් ම රඟපෑවෙ “බොහිමියානුවා” කියන ටෙලි නාට්‍යයේ. ඒකෙ මම කළේ සුළු චරිතයක්. මල් කඩේක වැඩ කරන කොල්ලෙක්ට රඟපෑවා. ඒක ලිව්වෙ නාමල් ජයසිංහ කියන මගේ විශ්වවිද්‍යාල ගුරුවරයා. ඒ මාර්ගයෙන් තමයි මට මුණගැහුණෙ ජයප්‍රකාශ් සිවගුරුනාදන් කියන අධ්‍යක්ෂවරයාව. මං ටෙලි නාට්‍ය කීපයක විතරයි තාම රඟපාලා තියෙන්නෙ. ඒවයෙන් වැඩිහරියක අධ්‍යක්ෂණය සිවගුරුනාදන් මහත්මයගෙ. “බොහිමියානුවා”, “මෙඩි සිනා”, “කළුකුරුල්ලා”, “හාර කෝටිය” වගේ නාට්‍යවල මට වෙනස් වෙනස් චරිත කරන්න ලැබුණා. ශිවා මහත්තය තමයි ඒ වෙනස රැකගන්න උදව් කරන්නෙ. මාව එක ම විදිහෙ චරිතවලට කොටු වෙන්න දෙන්නෙ නෑ. ඒ වගේ කෙනෙක් එක්ක වැඩ කරන්න ලැබුණු එක ඇත්තට ම වාසනාවක්.

l ඉස්කෝලෙ කාලෙ විස්තර ටිකකුත් කියන්නකො බලන්න

මං ගියේ ඇහැලියගොඩ ජාතික පාසලට. එතනදි ජීවිතේට ගොඩක් දේවල් එකතු වුණා. ඉස්කොලේ කාලෙ ඉඳන්ම තමයි කලා කටයුතුවලට සම්බන්ධ වුණේ. වැඩියෙන් ම කළේ නිවේදන කටයුතු. ඒ වගේ ම කථික තරගවලට, විවාද තරගවලට ජාතික මට්ටමෙන් පවා ගිහින් දිනලා තියෙනවා. ඒ දවස්වල මමත් සබරගමු පළාතෙ මුල් පෙළේ හිටපු කථිකයෙක්. කොළඹ කැම්පස් එකට ආවට පස්සෙ තමයි මම නාට්‍ය හා රංග කලාව විෂයක් විදිහට ඉගෙනගන්න පටන් ගත්තේ. කැම්පස් එකේ ඉන්න ගමන් වේදිකා නාට්‍යවලට සම්බන්ධ වුණා. ඒ වුණත් ඒ පැත්තට මගේ ඔළුව හැදුවෙ ඉස්කෝලෙන්.

l හාර කෝටියේ “රංජි”ට ප්‍රතිචාර කොහොමද?

ඇත්තට ම සාමාන්‍ය මිනිස්සු රංජිට ගොඩක් ආදරෙයි. පාරෙ දි දැක්කත් බස් එකක දැක්කත් ගොඩ දෙනෙක් කතා කරනවා. ලංකාවෙ ප්‍රවීණ නළුනිළියො පවා මූණට මුණගැහිලා කියලා තියෙනවා, “අපි නාට්ටිය බලනවා, ඔයා හොඳට කරනවා කියලා.” ගොඩ දෙනෙක් සුබ පතනවා. ඉතිං සතුටුයි. ඒ අතර ඉතිං දරුණුවට ඒ චරිතය විවේචනය කරන අයත් ඉන්නවා. කොහොම වුණත් මං රඟපාන්නේ සාමාන්‍ය මිනිස්සුන්ට. ඒ අයට රංජිගේ චරිතය දැනෙනවා නම් මට ඕනෙ එච්චරයි.

l රොහාන් චරිත තෝරනවද?

තෝර තෝර කරන්න තරම් මට චරිත ගොඩක් ලැබිලා නෑ. හැබැයි මම විශ්වාස කරන විදිහට අපිට කරන්න පුළුවන් චරිත සහ කරන්න බැරි චරිත තියෙනවා. මගේ ඇගේ නම්‍යශීලිත්වයත් එක්ක මට කරන්න බැරි චරිත තියෙන්න පුළුවන්. බයික් රේස් පදින චරිතයක් කරන්න ආවයි කියමුකෝ... මට බයික් පදින්න බැරි නම් මම ඒ චරිතය නොකර ඉන්න එක තමයි හොඳ ම. ඒ වගේ තැන්වලදි නිකං ඇදගෙන නාගන්න යන්න ඕනෙ නෑනෙ. මට එහෙම හම්බ වෙලත් නෑ. හම්බුණත් කරන්නත් බෑ. මං සියල්ල දන්න කෙනෙක් නෙවෙයි. මං ඉතාම අල්ප දෙයක් දන්න කෙනෙක්. මට වඩා දැවන්තයො ඉන්නවානෙ ලංකාවෙ. මං ඒ අය කරනකියන දේවල් බලනවා. බලලා ඉගෙන ගන්නවා. ඒ වුණත් බැරි ඒවා කරන්න යන්නෙ නෑ. ඒ වගේ ම කරලා තියෙන චරිතයක් වගේ ම එකක් ආයෙ ලැබුණොත් නම් බාරගන්නෙ නෑ. දැන් මේ රංජි විදිහෙම චරිතයක් තව කොහෙන් හරි ආවොත් එහෙම ඒක කරලා වැඩක් නෑ. එහෙම කරනවා කියන්නෙ ම රංජිගෙන් ඇති වැඩකුත් නෑ.

l රොහාන් විජේතුංග වගේ නිවිච්ච චරිතයක් කොහොමද රංජි වගේ ඇට්ටර චරිතයකට පෙරළෙන්නෙ?

ඒක ඉතිං චරිතය ගැන හැදෑරීම තමයි. ශිවගුරුනාදන් මහත්මය කොහොමත් චරිතයක් දෙන්න කලින් ම ඒ චරිතෙ ගැන අදහසක් දීලා තියනවා. එතකොට මට පුළුවන් ඒකට ලෑස්ති වෙන්න. රංජිගෙ චරිතෙදිත් එහෙමයි. ගොඩක් දේවල් ඉගෙනගන්න වුණා. මං ගියාම පොල්වත්තට, එහෙ අයගෙන් පුදුම විදිහෙ සහයෝගයක් ලැබුණා රංජිගේ චරිතෙ හදාගන්න. එයාලා හාර කෝටියට ගොඩක් ආදරෙයි. හැමෝගෙන් ම ඉගෙනගත්ත දේවල් ශිවා මහත්මය ළඟ ඇවිත් කියලා කරලා පෙන්නුවම එතුමා තමයි ඉතිං කපලා කොටලා, අඩුවැඩිය දාලා, චරිතෙ හරියට ම හරිගස්සලා දෙන්නෙ. ඒකට ම හරියන්න සද්ධා අයියා පිටපත ලියනවා. වාසනා බණ්ඩාරගේ වේෂනිරුපණය ගැනත් ඉතින් කතා කරන්න දෙයක් නෑ. ඔය හැමෝගෙම උදව්වෙන් තමයි ඉතිං රොහාන්, “රංජි” වෙන්නෙ.

l පහුගිය දවස්වල රයිගම් ටෙලීස්වල ජනප්‍රිය ම නළුවා සම්මානයටත් නිර්දේශ වෙලා හිටියා නේද?

ඔව්. ඒක ඇත්තට ම මගේ යාළුවෙක් ෆේස්බුක් එකේ දාන පෝස්ට් එකක් හින්දා වෙන දෙයක්. පස්සෙ කැම්පස් එකේ යාළුවො, ඉස්කෝලෙ යාළුවො ඔක්කොමලා එකතු වෙලා තමයි ඒ කැම්පේන් එක අරන් යන්නේ. ඇත්ත ම කියනවා නම් මම මං වෙනුවෙන් එක එස් එම් එස් එකක්වත් ගහලා නෑ. රුපියලක්වත් වියදම් කරලත් නෑ ඒ වෙනුවෙන්. ජනප්‍රියත්වය මොහොතින් මොහොත වෙනස්වන දෙයක්. පාරෙ යනකොට අම්මලා, ආච්චිලා කතා කරලා, පුතේ අපි කතාව බලනවා කියලා ආදරෙන් කියනවා. ඒ ජනප්‍රියත්වය මට හොඳට ම ඇති. රයිගම් නැගී එන නළුවාට හිමි සම්මානය මම කොහොමටවත් බලාපොරොත්තු වෙච්ච සම්මානයක් නෙවෙයි.

l කොහොමද ඉදිරිය

විශේෂයක් නෑ.මම හැමවෙලාවෙම දෙයක් ඉගෙනගන්නවා, ඒක නිසා දවසින් දවස මම දැනුම්වත් වෙනවා. ඉදිරියේදී ඒ දැනුමත් ප්‍රයෝජනයට අරන් ඉදිරියට යනවා.

කාංචනා සිරිවර්ධන

නව අදහස දක්වන්න