කුණු දුන්නොත් බ්ලොක් ගල් දෙමි | දිනමිණ

කුණු දුන්නොත් බ්ලොක් ගල් දෙමි

සටහන උදිත ගුණවර්ධන

ගොඩක් අය ගල්වල ශක්තිය බලන්න ගල් අරන් යනවා. මේ අය පස්සේ ගල් හොඳයි කියලා තමයි කියන්නේ. මෙතෙක් කිසිම ආයතනයක් ගල් බාලයි කියලා නැහැ. කසළ උපයෝගී කර ගත් මෙම ගල් සහ වෙළෙඳ පොළේ ඇති සාමාන්‍ය ගල් අතර සවි ශක්තියේ සහ ගු ණාත්මක භාවයේ කිසිදු අඩුවක් නැතත් මිල ගණන්වල ඇත්තේ අහසට පොළෙව මෙන් වෙනසකි. “කඩේ ලොකුම බ්ලොක් ගලක් රුපියල් පනස් හයක් වෙනවා. ඒ ශක්තියම තියෙන ඒ සයිස් එකේම මගේ ගලක් රුපියල් විස්සට දෙන්න පුළුවන්. අනෙක් ප්‍රමාණවල ගල් රුපියල් දොළහ, දහය, අටක් වගේ. මේ වැඩේ හරියට ප්‍රචලිත කරන්න පුළුවන් වුණොත් ගොඩනැගිලි හදන්න යන වියදමෙන් බාගයක්ම අඩු වෙනවා.

කොළඹ කුණු අපිට එපා කියා සමහරු කියති තවත් අය කියන්නේ කොළොන්නාවේ කුණු පුත්තලමට එපා කියාය. කුණු ප්‍රශ්නය අද අතින් අතට යන බෝලයක් බවට පත්ව ඇත්තේ එසේය කිසිවෙක් කුණු ප්‍රශ්නය තමාගේ ප්‍රශ්නයක් කර ගෙන එයට විසැඳුම් සොයා ගැනීමට උත්සාහ නොකරති. දේශපාලනඥයාගේ, නිලධාරියාගේ සිට සාමාන්‍ය වැසියා දක්වා එහි වෙනසක් නැත. සියලු දෙනා බලන්නේ කුණු ප්‍රශ්නය මගහැර තමන්ගේ එදිනෙදා රාජකාරිය කිරීමය. අද වන විට කුණු ප්‍රශ්නය මෙතරම් උග්‍ර හා විසැඳුම් රහිත ප්‍රශ්නයක් බවට පත්ව ඇත්තේ මේ නිසාය. අපේ මිනිසුන්ට අනුන්ගේ කුණු නොව තමන්ගේ කුණු ටික පවා මහා බරකි. මහ මග කුණු මලු පිටින් අතැර යන්නේ ඒ නිසාය. මේ කුණු ප්‍රශ්නයට විසැඳුමක් නැද්ද අප අපගේ සිත්වලින් ප්‍රශ්න කර ගත් අවස්ථාවන් අපමණය. එහෙත් පෙනෙන මානයක විසැඳුමක් හමු නොවුණි.

එහෙත් වත්තල ගොංගිතොට ප්‍රදේශයේ තරුණ පෙදරේරු මහතෙකු දිගින් දිගටම කුණු ප්‍රශ්නය තමන්ගේ ප්‍රශ්නයක් කරගෙන එයට විශ්මිත තාලයේ විසැඳුමක් සොයා ගත්තේය. වෙනත් අය අනුන්ගේ කුණු අපිට එපා යැයි කියා අත සෝදා ගනිද්දී ඔහු ඉල්ලා සිටින්නේ ලෝකයේ සියලු කුණු තමන් වෙත ගෙන එන ලෙසය. වත්තල ගොංගිතොට දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් බිම්කඩක නිවස තනාගෙන සිටින ඔහු නමින් සුසන්ත අමරසිංහය. කුණු ප්‍රශ්නය විසැඳීමට පරිසර හිතකාමී අපූරු විසැඳ­ුමක් සොයා ගත් තැනැත්තා ලෙස සුසන්ත ඉතිහාසයට එක්වේ. ඔහු කසළ ගැටලුව ආශිර්වාදයක් බවට පත් කරගෙන ඇත්තේ කසළ උපයෝගී කරගෙන බ්ලොක් ගල්, ටයිල් සහ මාර්ගවල ඇතිරිය හැකි කාපට් විශේෂයක් නිර්මාණය කිරිමෙනි. මේ සියලු නිෂ්පාදන සඳහා උපයෝගී කර ගන්නේ ඉවත දමන වීදුරු කටු, ප්ලාස්ටික්, බැටරි, ඉඳුල්, ගස්වල ද කොටස් ඇතුළු කී නොකී සියලු අප ද්‍රව්‍ය මේ සඳහා යොදා ගනී. එම අප ද්‍රව්‍ය යොදා ගනිමින් බ්ලොක් ගලක් නිර්මාණය වන අයුරු අපි සියැසින් දැක ගත්තෙමු.

වත්තල ප්‍රදේශයට අයත් ප්‍රදේශයක් වුවද ගොංගිතොට සුසන්ත සිටින තැනට ගමන් කිරීමට ඇත්තේ අඩි දෙකක් පළල් නොවන අධික බෑවුම් සහිත මගකි. එ නිසා සුසන්තට අවශ්‍ය කරන අමු ද්‍රව්‍ය සියල්ල මීටර් දෙසිය පනහකටත් වඩා වැඩි දුරක් කර මතින් ගෙන යාමට සිදුව තිබේ. අපිද එම දුෂ්කර මග තරණය කර සුසන්ත සිටින තැනට පැමිණියෙමු.

“මේ විදිහේ අලුත් අදහසක් ඇති වුණේ කොයි කාලයේද.? අප සුසන්තගෙන් විමසුවෙමු. “මම අවුරුදු දොළහක් හමුදාවේ ඉංජිනේරු බළකායේ සේවය කළේ ඒ දවස්වල ඉඳන් මම කසළවලින් බ්ලොක් ගල හදන්න පුළුවන්ද කියලා පරීක්ෂණ කළා. මම හැදුව ගල් වෙරළ අයිනේ තැන් තැන්වල තිබ්බා, වතුරට නිරාවරණය වෙන තැනවල තිබ්බා, දැඩි අවු රෂ්මිය ඇති තැන්වල බොහෝ කල් රැඳෙව්වා. ඒත් කිසිදු හානියක් ශක්තියේ අඩුපාඩුවක් මතු වුණේ නැහැ. මම පුද්ගලිකව කළ පරීක්ෂණයෙන් මගේ නිර්මාණය සමත් කියලා මම තේරුම් ගත්තා.”

“බලන්න මේ ගලේ ශක්තිය” ඔහු කියූ කතාව ඇත්තය කසළවලින් තැනූ මෙම බ්ලොක් ගල සාමාන්‍ය ගලක් තරමටම බරය එයටත් වඩා එහි ඇති ශක්තිය පැහැදිලිය. අවට හිතවතුන්ගේ රජයේ නිලධාරීන්ගේ සහ පූජ්‍ය පක්ෂයේ සහයෝගය උපරිමයෙන් හිමිය. සුසන්තට අවශ්‍යව ඇත්තේ මෙම නිර්මාණය ප්‍රචලිත කර ගැනීම සඳහා රාජ්‍ය සහයෝගයයි. “මට සති දෙකෙන් කොළඹ කුණු ප්‍රශ්නය විසඳන්න පුළුවන්” ඔහු කතා කරන්නේ සැබෑ අධිෂ්ඨානයෙන්ය. ඔහුට අවශ්‍ය කරන්නේ රාජ්‍ය අනුග්‍රහය සහ අවධානය පමණි. රටට පමණක් නොව ලොවටම මෙම නිර්මාණයේ අගය සහ වාසිය ලබා දීමට සුසන්ත සූදානම්ය. “පේට්න් බලපත්‍රය ලබා ගන්න මම ඉල්ලීමක් කරල තියෙනව ඉදිරි සති කිහිපයේදී මට බලපත්‍රය ලැබේවි.” මෙම කසළවලින් බ්ලොක් ගල් නිෂ්පාදනය කිරීමේ කාර්ය මාධ්‍ය ඔස්සේ කතාබහට ලක්වීමත් සමග විවිධ සමාගම් සහ පුද්ගලයන් පැමිණ රුපියල් කෝටි දහය වැනි ඉහළ ලංසුවලට මෙම කසළ බ්ලොක් ගල් නිෂ්පාදන ක්‍රමවේදය සහ පේට්න් අයිතිය ඉල්ලා ඇත. “මට සල්ලිවලට වඩා වටින්නේ මගේ මේ නිර්මාණයෙන් රටට වැඩක් කරන්න” ඔහු විරළ ගණයේ අදහස් ඇත්තෙකි. ගොංගිතොට දුම්රිය රක්ෂිතයක දුෂ්කර දිවිපෙවෙතක් ගත කරන සුසන්තට ඉහත ලංසුවට කැමැති වූයේ නම් සියලු ගැටලු විසඳාගෙන කුමර දිවියක් ගත කළ හැකිව තිබුණත් ඔහු සියල්ලට වඩා අගයන්නේ රටට සේවය කිරීම සහ ආත්ම ගරුත්වයයි.

බ්ලොක් ගලක් අතින් නිර්මාණය කිරීමට සුසන්තට ගත වන්නේ විනාඩියකටත් අඩු කාලයකි. දැනට අතින් බ්ලොක් ගල් නිෂ්පාදය කළද බ්ලොක් ගල් මැෂින් කිහිපයක් සහ ප්‍රමාණවත් ඉඩක් ඇති ස්ථානයක් ලැබුණොහොත් නිෂ්පාදන ක්‍රියාවලය වේගවත් කර ගත හැකිය.

“මට ඕනෑ වෙලා තියෙන්නේ මම මහන්සියෙන් හොයා ගත්ත නිර්මාණයෙන් රටට වැඩක් කරන්න. ජනමාධ්‍ය නියෝජ්‍ය ඇමැති ලසන්ත අලගියවන්න මහතා පසුගිය දවසක ආව. ඔහු කීවා මට උදව් කරනවා කියලා. මම ඒ වචනය විශ්වාස කරනවා. ජනාධිපතිතුමාට අගමැතිතුමාට මම ඉල්ලීම් කර තියෙනවා මේ නිර්මාණය ව්‍යාප්ත කරන්න උදව් ඉල්ලලා. ආරක්ෂක ලේකම්තුමා මට උදව් කරන්න කොළඹ මහ නගර සභාවට දැනුම් දුන්නා. ඒත් නගර සභාවෙන් මේ වෙනකම් උත්තරයක් ලැබුණේ නැහැ.”

සුසන්ත මහතා නුවරඑළිය වැනි ශීත ප්‍රදේශවලට ගැළපෙන ආකාරයේ ගලක්ද නිර්මාණය කර තිබේ. මෙම ගල නිසා අධික ශීතල ගොඩනැගිල්ල තුළට කාන්දු නොවන අතර මෙය විශේෂ නිර්මාණයක් ලෙස සඳහන් කිරීමේ වරදක් නැත.

“ගොඩක් අය ගල්වල ශක්තිය බලන්න ගල් අරන් යනවා. ඒත් මේ අය පස්සේ ගල් හොඳයි කියලා තමයි කියන්නේ. මෙතෙක් කිසිම ආයතනයක් ගල් බාලයි කියලා නැහැ” කසළ උපයෝගී කර ගත් මෙම ගල් සහ සාමාන්‍ය වෙළෙඳ පොළේ ඇති සාමාන්‍ය ගල් අතර සවි ශක්තියේ සහ ගුණාත්මක භාවයේ කිසිදු අඩුවක් නැතත් මිල ගණන්වල ඇත්තේ අහසට පොළෙව මෙන් වෙනසකි. “කඩේ ලොකුම බ්ලොක් ගලක් රුපියල් පනස් හයක් වෙනවා ඒ ශක්තියම තියෙන ඒ සයිස් එකේම මගේ ගලක් රුපියල් විස්සට මට දෙන්න පුළුවන්. අනෙක් ප්‍රමාණවල ගල රුපියල් දොළහ, දහය, අටක් වගේ. මේ වැඩේ හරියට ප්‍රචලිත කරන්න පුළුවන් වුණොත් ගොඩනැගිලි හදන්න යන වියදමෙන් බාගයක්ම අඩු වෙනවා.”

කසළ යොදා ගැනීම් නිසා ගල්වලින් දුගඳක් හෝ විෂ ගතියක් ඇති නොවන අතර මේ සියල්ල පාලනය සඳහා සුසන්ත විසින්ම නිර්මාණය කරගත් බෙහෙත් විශේෂයක් යොදා ගැනේ. ඒ නිසා මෙම ගල් විශේෂය භාවිතයේදී කිසිවකු බියක් ඇති කර ගත යුතු නැත.

කසළවලින් සියයට හැත්තෑවක් ප්‍රතිචක්‍රීකරණය කළ හැකි වුවද ඉතිරි සියයට ප්‍රමාණය විනාශ කළ නොහැකි නොදිරන ද්‍රව්‍ය වන අතර සුසන්තගේ බ්ලොක් ගල සඳහා මෙම නොදිරන සියලු දේ උපයෝගී කර ගැනේ. ටී වී ‍ටියුබ්, දුරකථන බැටරි, වින්ස්ක්‍රීන්, වාහන බැටරි වැනි දේ මෙම ලැයිස්තුවට ඇතුළත්ය.

මේ දේවල් කුඩු කරන්නේ කොහොමද.? අප සුසන්තගෙන් විමසුවෙමු. “මේ දේවල් කුඩු කරන මැෂිමක් ගන්න සල්ලි මදි. කාලයක් මම යාළුවෙක්ගෙන් ඉල්ලා ගත්ත උපකරණයකින් කුඩු කිරීම් කළා. පස්සේ යාළුවා ඒ මැෂිම ඉල්ල ගත්තා. ඒ හින්දා දැනට මම මේ හැම දෙයක්ම කරන්නේ අතින්. ඇත්තටම මේ හරිම අමාරු වැඩක්. ඒත් කරනවා...”

මේ වන විට ඔහුට ඇණවුම් දසතින් ගලා ආවද තිබෙන පහසුකම් අවම වීම නිසා මට ඒ ඇණවුම් සපුරන්නට නොහැකිය. “ළඟදී මට ගල් දසදහසක ඕඩර් එකක් ආවා ඒත් මම බාර ගත්තේ නැහැ.”

ඔහුගේ නිර්මාණ අතර ටයිල්වලට සමාන කැටයක්ද ඒ සඳහා තිබේ. ඇස්තමේන්තු වියදම් වන්නේ රුපියල් තිස් හතරකි. සාමාන්‍ය ටයිල් කැටයක් මිලදී ගැනීමට රුපියල් දෙසීයකට ආසන්න මුදලක් වැයවේ. ඒ අනුව ගත්තද මෙම නව නිර්මාණය නිසා විශාල ආර්ථික පහසුවක් මෙන්ම පරිසරයටද සේවයක් සිදුවේ.මාර්ග සඳහා කොන්ක්‍රීට් ඇතිරීම සඳහා අති විශාල මුදලක් වැයවෙන අතර සුසන්ත නිර්මාණය කර ඇති විශේෂ කොන්ක්‍රීට් මිශ්‍රණය මාර්ගවල ඇතිරීමෙන් වැය වෙන මුදල සියයට පනහකින් පමණ අඩු කර ගත හැකිය. ඒ නිසා මේ ආකාරයේ දේ සඳහා අවධානය වැඩි කර ගත හැකිය.

ගොංගිතොට සුසන්තට තම කාර්ය ඉටු කර ගැනීමේදී විශාල සහායක් ලැබේ. “මට මේ හැමදේටම ගෙදර අයගෙන් ලොකු සහායක් ලැබෙනවා ගෙදරින් සහායක් නැතිනම් මේ වගේ දෙයක් නිදහසේ කරන්න ලැබෙන්නේ නැහැ.” ගෙදරින්, ගමෙන් ලැබෙන සහාය ඔහු බලධාරීන්ගෙන්ද බලාපොරොත්තු වේ. සුසන්ත කියන ආකාරයට සහ අප කළ සොයා බැලීම් අනුව කුණු මූල ද්‍රව්‍යක් ලෙස යොදා ගනිමින් බ්ලොක් ගල් නිෂ්පාදනය කරන කිසිදු ව්‍යාපෘතියක් ලෝකයේ කිසිදු රටක නැත. කුණු ප්‍රශ්නය ඔඩු දිවු සහ ගොඩනැගිලි ඉදිකිරිමේ අමුද්‍රව්‍ය මිල ගණන් අහස උසට ගිය අප වැනි රටකට කුණුවලින් සදන බ්ලොක් ගල කදිම විසැඳුමක් ලෙස සඳහන් කිරීමේ වරදක් නැත. කළ යුතුව ඇත්තේ මෙවැනි නිෂ්පාදකයන් සොයා ගොස් ඔවුන් දිරිමත් කිරීමයි.අවශ්‍යනම් තව දුරටත් තාක්ෂණික දැනුම ලබා දී නිෂ්පාදකයා දැනුමෙන් තව දුරටත් සවිමත් කිරීමයි. සුසන්තලාගේ පරපුරේ අය දෑස් දල්වා බලා සිටිනුයේ මේ කාර්ය ඉටුකිරීමට රාජ්‍ය මට්ටමේ මැදිහත් විමක් සිදුවන තෙක්ය.

“මට පුළුවන් රටේ කුණු ප්‍රශ්නය විසඳන්න ඒකට අවස්ථාවක් දෙන්න”

දැන් කළ යුතුව ඇත්තේ කල් මරමින් නොසිට මේවැනි පරිසර හිතකාමී නිෂ්පාදනය සඳහා අවශ්‍ය සවිය සහ පිටු බලය ලබා දීමය. මේ ඒ සඳහා සුදුසුම කාලයයි.


ඡයාරූප - ලයනල් පී පෙරේරා

අදහස් 1ක් ඇත

This concept is very important... I want to know more information about Mr.Susantha

නව අදහස දක්වන්න