සුපිරි කුරුල්ලා | දිනමිණ

සුපිරි කුරුල්ලා

මෙහි පළමු කොටස පසුගිය සතියේ පළ විය.

සුපිරි කුරුල්ලා ටිකෙන් ටික ලොකුවත්ම විද්‍යාගාරය තුළ ඔබ මොබ සැරිසරන්නට විය. මේ කුරුල්ලා අනෙකුත් කුරුල්ලන්ගේ හැසිරීම හා සසඳද්දී බොහෝ සෙයින් වෙනස් විය. ඒ අතර ඌ සමහර අවස්ථාවල දී විද්‍යාගාරයේ පුංචි කවුළුවෙන් රිංගා එලියට ද ගියේය. එසේ එළියට ගිය සමහර දවස්වල ඌ ආපසු ආවේ බොහෝ ප්‍රමාද වීය. ඒ ගැන මහාචාර්ය කැස්ෆරොව් ගෙන් ද එතරම් අකැමැත්තක් තිබූ බවක් පෙනෙන්නට නොවිණි. එසේ පැමිණෙන බොහෝ දිනවල මහාචාර්ය කැස්ෆරොව් ඌ ළඟට ගෙන බොහෝ වේලාවක් යන තුරු සුරතල් කරන්නාක් මෙන් පෙනෙන්නට විය.

ඇතැම් විටෙක මේ ගැන පැට්‍රිකාට පුංචි දූකක් ද ඇති වූයේ තමා කුරුලු පැටවා ළඟට යනවාටත් මහාචාර්යවරයා එතරම් මනාප බවක් නොපෙන්වූ හෙයිනි. කාලයත් සමඟ කුරුලු පැටවා වෙනස් වන්නට විය. සුහුඹුල් පියාපත් වෙනස් වන්නට ද ගොරහැඩි වන්නට ද පටන් ගත්තේය.

කුරුලු පැටියා නාම්බකු වෙද්දී යන එන ගමන් බිමන් ද වෙනස් වන අයුරක් පෙනෙන්නට විය. ඌ විද්‍යාගාරයේ පුංචි කවුළුවෙන් එලියට යන එන වාර ගණන එන්න එන්නම වැඩි වන්නට විය. මහාචාර්ය කැස්ෆරොව් ද උගේ හැසිරීම හොඳ හැටි සොයා බලනා අයුරක් පෙනෙන්නට තිබිණි.

‍මේ කාලය තුළ මහාචාර්ය කැස්ෆරොව් සිය කාලයෙන් වැඩි හරියක් ගත කළේ සුපිරි කුරුල්ලා ගැන සොයා බලන්නට වූයෙන් ඔහුට පැට්‍රිකා සමඟ වැඩි කතා බහක නියැළෙන්නට ද වෙලාවක් නොවිණි.

කාලය ටිකින් ටික ගෙවී යන්නට විය. එක් දිනක් පැට්‍රිකා විද්‍යාගාරයට ඇතුළු වන විටම දුටු දෙයින් බිරාන්ත වී ගියාක් මෙනි. ඇයට කිසි දෙයක් අදහා ගැනීමට තබා සිතා ගන්නටවත් නොහැකි විය. ඇය දුටුවේ මහාචාර්ය කැස්ෆරොව් විද්‍යාගාරය මැද්දෙහි සිහිසුන්ව වැටී සිටි අයුරකි. පැට්‍රිකා වහා ඔහු අසලට දිව ගියාය. ඔහුගෙන් කිසිදු සෙලවීමක‍ හෝ ලකුණු දැක ගන්නට නොහැකි විය. ඉක්බිති ඕ විද්‍යාගාරයේ සන්නිවේදන අංශයට රිංගා ආරක්ෂක අංශ ඇමැතීමට උත්සාහ කළාය. එහෙත් ඒ වන විට සියලුම සන්නිවේදන උපකරණ අක්‍රියව තිබිණි. පැට්‍රිකා මෙයින් තව තවත් බොහෝ බියට පත් වූවාය. එහෙත් තවත් තත්පර කීපයක් යන්නටත් මත්තෙන් මහාචාර්ය කැස්ෆරොව්ගේ අධි තාක්ෂණ සන්නිවේදන යන්ත්‍රයට ඇමැතුමක් එනු ඇය දුටුවාය. ඇය ගැහෙන හදවතිනුත් භීතියෙන් සැලෙන අතැඟිලිවලිනුත් එය අල්ලා ඇමතුවාය.

“ආ මිස් පැට්‍රිකා ... මම හිතුවා ඔයා කතා කරයි කියලා... දැක්කද ප්‍රොෆෙසර්...? පේනවනේ... මොකද වෙලා තියෙන්නේ කියලා...”

“ක... ක... කවුද ඔය කතා කරන්නේ..”

“කලබල වෙන්න එපා මිස් පැට්‍රිකා... ඔය ගොල්ල හැරෙන්න හදනකොටම අපි දන්නවා මොකක්ද කරන්න යන්නේ කියලා. සමහර විට ඔයාවත් නොදන්නව ඇති... ඒත් අන්තිම මොහොතේ හරි මේක අපි ඔයාට කියලා තියන්න ඕනෑ නිසයි මම මෙහෙම හරි කතා කළේ... ඔයා දන්නවද ඔය ප්‍රො‍ෆෙසර් සුපිරි කුරුල්ලෙක් හදල කරන්න ගියේ මොකක්ද කියලා.?”

“න්...නෑ... මම ඔය කිසි දෙයක් දන්නේ නෑ...”

ඔයා දන්නෙ නැති බව අපි දන්නවා. ඒත් ඔය සුපිරි කුරුල්ලගේ බිත්තරය ඇමසන් වනාන්තරය පැත්තේ ඉඳලා ගෙනාවෙත් ඔයා‍නේ... ඒක අපි දන්නවා... ඔයාලගේ වැඩේ වැරදුණෙත් එතනින්ම තමයි... අපි දැක්කා ඔයාලා ඕක ආරක්ෂක අංශවල ඇස් වහලා ගෙනාව හැටි... ඒ හින්දම අපි ඔය ප්‍රොෆෙසර්ගේ වැඩ ගැන ඇහැ ගහගෙනමයි උන්නේ ...”

“ක... ක... කවුද ඔය කතාකරන්නේ...? පේන්නෙ නැද්ද ප්‍රොෆෙසර්ට වෙලා තියෙන දේ...?”

“දැන් ඔය ගැන හිතලා වැඩක් නෑ ... ඔය සුපිරි කුරුල්ලම කවද හරි දවසක ප්‍රොෆෙසර්ට ඔය විනාශය කරයි කියලා අපි සැක කළා... ඔය සුපිරි කුරුල්ලා එළියට ගිහින් කළ ‍දේවල් ‍මොනවද කියලා හරියට දන්නෙ නෑනේ ... ඔය සුපිරි කුරුල්ලා එළියට ගිහින් මුලින්ම එයාගේ පරපුරේ අය විනාශ කළා. ඒකයි... මේකෙන් පස්සේ ඒ ඒ රටවල සත්ත්ව විද්‍යාඥයන් මේකට හේතුව ‍හොයලා පර්යේෂණ කරන්න පටන් ගත්තා.... මේකෙත් ඔය ප්‍රොෆෙසර්ට අවාසියට සිටියා... ඊට පස්සේ ඌ රට රටවල ගිහින් ඒ රටවල සිද්ධ වෙන තොරතුරු හොයා ගෙන ප්‍රොෆෙසර්ට ගෙනත් දුන්නා... ප්‍රොෆෙසර් ඒක කළේ ඉස්සර ලංකාවේ සංදේශ කියන සාහිත්‍යය විශේෂාංගය හොඳට අධ්‍යයනය කරලයි ... මොකද ඉස්සර ඒ කියන්නේ පණිවිඩ හුවමාරු කරපු එක ක්‍රමයක් තමයි කුරුල්ලන් යොදා ගැනීම... විශේෂයෙන්ම ලංකාවේ පරෙවියා කියන කුරුල්ලා මේ ගැන හොඳ නමක් දිනාගෙන තියෙනවා.

“හොඳයි ඔයා කවුරු වුණත් මට කමක් නෑ... කියන්න බලන්න... මේ තොරතුරු දැන ගත්තේ කොහොමද කියලා...”

“පොඩ්ඩක් ඉන්න මම තවම කියලා ඉවර වුණේ නෑනේ... ප්‍රොෆෙසර් කොහොම වුණත් බලාපොරොත්තු වුණේ සුපිරි කුරුල්ලෙක් යොදාගෙන ඒ ඒ රටවල රහස් තොරතුරු හොයා ගන්න එකයි. ඒකෙත් ඔය මුල් පියවර විතරයි තිබ්බේ...”

“මුල් පියවර...?”

“ඔව් ... පළමු වැනි පියවර... දන්නවද ඊළඟට කරන්න ගියේ මොකක්ද කියලා... ඊළඟට කරන්න ගියේ මේ සුපිරි කුරුල්ලාගේ තියරිය... ඉතාමත්ම පුංචි ගුල්ලෙක් විතර පියාඹන සතෙකුට ආ‍රෝපණය කරලා... ඊට පස්සේ අර චිප් එකක් වගේ ඉතා සියුම් සංවේදී උපකරණ යොදාගෙන රොබෝවක් විදියට ඒ සතා කෘත්‍රිමව හදන්නයි... තේරුණාද එතකොට අර දැන් තොරතුරු හොයා ගන්න පා කරන ඩ්‍රෝන කැමරා වගේ දේවල් නැතිව ඉතාමත් සියුම්වත් රහසිගතවත් මේ වැඩේ කරන්න පුළුවන් කියලා ‍ප්‍රොෆෙසර් අනුමාන කළා. අනෙක ලෝකෙ ඕනෑම සියුම් තාක්ෂණ උපකරණ අභිබවා යන විදියට මේ සතා නිර්මාණය කරලා හැම තොරතුරක්ම තමන් ළඟට ගෙන්න ගන්නම එයා බලාපොරොත්තු වුණා .”

“මේක ‍මේ ඔයාලා හිතන සරල අනුමානයක් විතරනේ..”

“ඇයි එහෙම කියන්නේ...? අපි මේ හැම දෙයක්ම හොඳින්ම දන්නවා...”

“ඒක එහෙම වෙන්න බෑ... ඔයාල එළියේ ඉඳගෙන කොහොමද ඔච්චර තොරතුරු දන්නේ...?

අද ලෝකයේ සන්නිවේදනය කියන්නේ ගොඩක් අමාරුම දෙයක් නොවෙයි... විද්‍යාඥයන්ට වුණත් තව ටික කාලයකින් ඔය ‘හිත’ කියන දේ වුණත් හරියටම හොයා ගන්නත් සමහර විට ඒක කෘත්‍රිමව ‍වෙනස් කරන්නත් පුළුවන් වේවි...”

“ඒත් මම අහන්නේ කොහොමද මේ ප්‍රොෆෙසර්ගේ අනාගත සිතුවිලි තේරුම් ගත්තේ කියලයි... අනෙක මම දන්න තරමින් ප්‍රොෆෙසර් තමන්ගේ කිසිම පර්යේෂණයක අංග සම්පූර්ණ බලාපොරොත්තුව කිසි කෙනකුට කියන්නේ නෑ....”

“හඃ ...හඃ .... හා ඒක දැන ගන්න අපි කළේ එකම එකම පුංචි දෙයක් විතරයි..”

‍”මොකක්ද ඒ.. ?”

“ඔයාලා සුපිරි කුරුල්ලෙක් හදන්න යනවැයි කියලා ඉව වැටුණු ගමන්ම අපි කළේ සුපිරි කිරිල්ලියක් හදපු එක විතරයි .

“සුපිරි කිරිල්ලියක්...”

“ඔව්... අපි දන්නවා කොච්චර සුපිරි කුරුල්ලෙක් හැදුවත් සුපිරි කිරිල්ලියකට වහ වැටෙන්න ඉඩ තියෙන විත්තිය... ඒ හින්ද අපි කළේ සුපිරි කිරිල්ලියක් හැදුව එකයි... ඊට පස්සේ අර සුපිරි කුරුල්ලගේ ‍‍තොරතුරු ඔක්කොම ටික අර කුරුල්ලගෙන් ලබා ගත්ත එකයි විතරයි... අනෙක මහාචාර්යතුමා වුණත් ඕනෑවට වඩා සුපිරි කුරුල්ලා ගැන විශ්වාසයක් තියලා තිබුණා... එයා අනාගතයේ කරන්න හිතාගෙන හිටි හැම දේකම දත්ත සුපිරි කුරුල්ලට ලබා දීලා තිබුණා...”

“ඒත් එහෙම නම් ඇයි මේ සුපිරි කුරුල්ල අපේ ප්‍රො‍ෆෙසර්ට ‍මෙච්චර මේ විපතක් කළේ..?”

“ඒ ප්‍රශ්නයට තියෙන්නේ බොහෝම සරල උත්තරයක් විතරයි...”

“මොකක්ද ඒ...?”

“ගොඩක් පිරිමි සත්තු ගැහැනු සත්තුන්ට වහ වැටෙනව වැඩියි... ඒ හින්ද උන් කොච්චර සුපිරි වුණත් හොඳ නරක බලන්නේ නැතුව ඕනෑම දෙයක් කරන්න පෙළැඹෙනවනෙ...”

පැට්‍රිකාට කිසිත් අදහා ගත ‍නොහැකිය. එහෙත් එසැණින්ම ඇය එක් වරම ආ ශබ්දයෙන් තිගැස්සී එදෙස බැලුවාය. එවිට ඇයට දැක ගන්නට ලැබුණේ විද්‍යාගාරයේ කුඩා කවුළුවෙන් රිංගා ආ සුපිරි කුරුල්ලා මාරා‍වේශයෙන් ඇය දෙසට වේගයෙන් පියාඹා එන අයුරු ය.

උපුල් වික්‍රමනායක

නව අදහස දක්වන්න