ඇෆ්ගන් කෙල්ලන්ගේ විස්කම් රො‍බෝ වැඩ | දිනමිණ


 

ඇෆ්ගන් කෙල්ලන්ගේ විස්කම් රො‍බෝ වැඩ

 ඇෆ්ඝනිස්ථාන ශිෂ්‍යාවන් හයදෙනකු “ෆර්ස්ට් ග්ලෝබල් චැලේන්ජ් 2017” තරගාවලියට සහභාගීවීමට යාමේදී සිටි මුහුණ දුන් කටුක අත්දැකීම් පෙළක් පිළිබඳ වාර්තාවන් මාධ්‍යයෙහි පසුගියදා පළවිණ. වාර්තාවලට අනුව ෆර්ස්ට් ග්ලෝබල් චැලේන්ජ් 2017 තරගාවලියේ රොබෝ තරග අංශයෙන් තරග වැදීමට සූදානම්ව සිටි ඇෆ්ඝනිස්ථාන කණ්ඩායමට වීසා ලබාදීම ඇෆ්ඝනිස්ථානයේ අමෙරිකා එක්සත් ජනපද තානාපති කාර්යාල බලධාරීන් අන්තිම මොහොතේදී ප්‍රතික්ෂේප කර තිබුණි. මෙම ශිෂ්‍යාවන් ජාත්‍යන්තර මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ ඉරානය, සුඩානය සහ සිරියාව යන මුස්ලිම් රටවල ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට අදාළ අවස්ථාවට සහභාගී වීමට වීසා ලබා දී ඇති බවකි. ශිෂ්‍යාවන්ගේ එම ප්‍රකාශයන් ජාත්‍යන්තර මාධ්‍ය සේවාවන්හි පළවන්නට පටන් ගැනීමත් සමඟම අමෙරිකා එක්සත් ජනපදය දෙසට කාගේත් ඇස යොමු විය.

පසුගිය මාර්තු මාසයේ 7දා අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පරිපාලනය කියා සිටියේ මුස්ලිම් රටවල් හයක අයවළුන් තම රටට ඇතුළු කරගැනීම තාවකාලිකව නවතා දමා ඇති බවකි. ඔවුන් ප්‍රකාශයට පත් කර තිබුණු මුස්ලිම් රටවල් හය වන්නේ ඉරානය, සුඩානය, ලිබියාව, සිරියාව, සෝමාලියාව සහ යේමනයයි. එකී ලැයිස්තුවට ඇතුළත් රටවල ශිෂ්‍යාවන්ට වීසා ලබාදීමටත් ලැයිස්තුවට ඇතුළත් නැති ඇෆ්ඝනිස්ථානය සම්බන්ධයෙන් අමෙරිකාව වෙනස්ම පිළිවෙතක් අනුගමනය කිරීමටත් හේතුව කුමක්දැයි බොහෝ දෙනෙක් විමසූහ. රොයිටර් පුවත් සේවය මේ සම්බන්ධයෙන් අමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුවෙන් කරුණු විමසා සිටියේය. රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයකු ඒ අවස්ථාවේදී පවසා තිබුණේ එක් එක් පුද්ගලයාගේ වීසා සම්බන්ධයෙන් වන තොරතුරු සාකච්ඡා කිරීම නීතියෙන් තහනම් කර ඇති බවකි. පවත්නා තත්ත්වය සම්බන්ධයෙන් මාධ්‍යට අදහස් පළ කළ කණ්ඩායමේ එක් සාමාජිකාවක වූ ෆාතිමා කදාරි කියා තිබුණේ මෙවැනි කතාවකි.

“... අපි දන්නේ නැහැ, අපට වීසා නොදුන් හේතුව කුමක්ද කියලා. නමුත් අනෙක් රටවල තරගකරුවන්ට මේ තරගාවලියට සහභාගීවෙන්න වීසා ලබා දීලා තිබෙනවා.... අනාගතයේදී මොකක් වෙයිද කියලා අපි දන්නේ නැහැ . අපි අපට හැකි උපරිම හොඳින් අපේ රොබෝ නිර්මාණය ඉදිරිපත් කරන්න හිතාගෙන ඉන්නේ. තරගාවලිය තුළදී අනෙක් රටවල් අතර එයට තැනක් ලැබෙයි කියලා අපි විශ්වාස කරනවා....”

ඇෆ්ඝනිස්තානයෙන් අමෙරිකා එකසත් ජනපදය බලා යාමට බලාපොරොත්තුවෙන් සිටි ශිෂ්‍යාවෝ හයදෙනාම වයස අවුරුදු 18ට අඩු අය වූහ. 2001 වසරේදී අමෙරිකාව ඇෆ්ඝනිස්ථාන ත්‍රස්තයන්ට එරෙහිව ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කරන විට මේ ශිෂ්‍යාවන්ගෙන් වැඩි දෙනකු එක්කෝ උපත ලබාවත් නැත. නැත්නම් ළදරු වයසේ උන් අය වූහ. මේ නිසා ඔවුන්ට සිය තරුණ කාලයේදී දක්නට ලැබුණේ අමෙරිකාවේ බලයට හසුව අක් මුල් සිඳී බිඳී වැටුණ තලේබාන් ත්‍රස්වාදීන් ය. පාසල් අධ්‍යාපනය ගැහැනු ළමයින්ට තහනම් කළ තලේබාන් ක්‍රියාකාරිකයන් ඔවුන්ට හමු වූයේ ඉඳහිටයි. පිරිමියකු නැතිව ගැහැනියකට නිවෙසින් බැහැරට ඒමට ඉඩ නොදුන් තලේබාන් ත්‍රස්තයින් මේ දැරියන්ට දක්නට ලැබුණේ නැති තරම්ය. එනිසා ඇෆ්ඝනිස්ථානයේ පැවැති තත්ත්වය සම්බන්ධයෙන් මේ දැරියන් සතු දැනුම ඉතා අල්ප බව 'ද ගාර්ඩියන්' වෙබ් අඩවිය විටෙක පෙන්වා දී තිබිණ. තමන්ට අමෙරිකාවට ගොස් අදාළ තරගාවලියට පෙනී සිටීමට වීසා ලබා නොදීම මේ දැරියන්ගේ දැඩි දෝෂදර්ශනයට ලක්වන්නට මේ පසුබිම බලපා ඇති බැව් එකී වාර්තාව වැඩිදුරටත් පෙන්වා දී තිබුණේය.

දැරියන්ට අමෙරිකාවට ඇතුළු වීමට වීසා ලබා නොදීම විවිධ සංවිධානවල දැඩි විවේචනයට ලක් විණ. ඒ සමඟම ගැටලුවට ඍජුව මැදිහත් වන්නට අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට සිදු විය. ඒ අනුව 'ෆර්ස්ට් ග්ලෝබල් චැලේන්ජ් 2017' රොබෝ තරගාවලියට සහභාගී වීම සඳහා අමෙරිකාවට පිවිසීමට අවසර ලබාදෙන බව ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මාධ්‍ය ඒකකය කීවේ ය. ඒ වනවිට තරගාවලිය ආරම්භ වන්නට ඉතිරිව තිබුණේ දින තුන හතරක කාලයක් පමණි. කෙසේ වුවද මේ දැරියන්ට අමෙරිකා එක්සත් ජනපදයේ රැඳී සිටින්නට අවසරය ලැබුණේ දින දහයක කාලයකි. වීසා ලැබීමට අනුමැතිය ලැබීමත් සමඟම කණ්ඩායමේ සාමාජිකාවන් මාධ්‍යට අදහස් දක්වමින් සිය සතුට ප්‍රකාශ කර තිබිණ.

“... ඇත්තටම අපට හරිම සතුටුයි. ඒ ගැන කියන්න වචන නැහැ. අපි දවස් හතක් අපමණ අමෙරිකාවේ රැඳී ඉන්න බලාපොරොත්තු වෙනවා. ඒ කාලය තුළදී දෙරටේ සංස්කෘතීන් ගැන අවබෝධයක් ලබාගන්න බලාපොරොත්තුවෙන් සිටිනවා. ඒ වගේම අමෙරිකා එක්සත් ජනපදයේ ඇති වැදගත් ස්ථාන කිහිපයක් නරඹන්නත් යනවා. ...” යැයි පවසා තිබුණේ දාහතර හැවිරිදි රොඩාබා නූරි ශිෂ්‍යාවයි.

අමාරුවෙන් වීසා බාධකය ජයගත් ඇෆ්ඝනිස්ථාන රොබෝ තරගකරිනියෝ කණ්ඩායම පසුගිය 16 වැනිදා සිට 18 වැනිදා දක්වා පැවැත්වුණු 'ෆර්ස්ට් ග්ලෝබල් චැලේන්ජ් 2017' තරගාවලියට සහභාගී වූහ. ඔවුන් ඉදිරිපත් කර තිබුණේ 'රොබෝගී' යනුවෙන් හඳුන්වනු ලැබූ රොබෝ නිර්මාණයකි. රටවල් 150ක් පමණ තරගාවලියට සහභාගී වී සිටියේය. සමස්ත තරගාවලියට සහභාගී වී සිටි තරගකරුවන් සංඛ්‍යාව අටසියයකට අධික බව 'අල් ජසීරා' වර්තාවක සඳහන්ව තිබිණ. එයින් 209ක් තරගකාරිනියෝ වූහ. විවිධ රටවල තරගකරුවන් රොබෝ යන්ත්‍ර ඉදිරිපත් කර තිබුණේ විවිධ ඉසව් යටතේය. 'ධෛර්ය සම්පන්නම සාධනය' වෙනුවෙන් පිරිනැමෙන රිදී පදක්කම දිනාගන්නට අවසානයේදී සමත් වූයේ ඇෆ්ඝනිස්ථාන කණ්ඩායමයි. ජයග්‍රහණයෙන් පසු මාධ්‍යට අදහස් දක්වමින් ෆාතිමා කදාරි පවසා තිබුණේ ඇෆ්ඝනිස්ථානය යුද්ධයක් පවතින එමෙන්ම සම්පත් හිඟ රටක් වුවත් සීමාවන්ට යටත්ව තම හැකියාවන් සඟවාගෙන සිටිය යුතු නැති බවයි.

මේ ජයග්‍රහණය ඇෆ්ඝනිස්ථාන ඉතිහාසයේ ඉතා වැදගත් ජයග්‍රහණයක් හැටියට සනිටුහන් වනවාට සැකයක් නැත. එයට හේතුව එය, බාධක රැසක් ජයගෙන ජාත්‍යන්තරයට පිවිසි ඇෆ්ඝන් කාන්තාවන් පිරිසක් ලත් ජයග්‍රහණයක් වීම නිසාය.

මංජුලා විජයරත්න 

නව අදහස දක්වන්න