ඩෙංගුද කියා ගෙදරදීම බලා ගන්න උපකරණයක් එයි | දිනමිණ

ඩෙංගුද කියා ගෙදරදීම බලා ගන්න උපකරණයක් එයි

සමන්මලී ප්‍රියශාන්ති

ඩෙංගු රෝගය වැළැඳී ඇත්දැයි තමන්ට නිවසේදීම පරීක්ෂා කර ගත හැකි නවතම උපකරණයක් මේ වසර අවසන් වීමට පෙර වෙළෙඳ පොළට හඳුන්වා දීමට කැලණිය විශ්වවිද්‍යාලයේ පර්යේෂණ ඒකකය සූදානම් වෙයි.

ජෛව හා නැනෝ තාක්ෂණය භාවිත කරමින් නිපදවා ඇති මේ උපකරණය සම්බන්ධ පර්යේෂණ කටයුතු මේ වන විට සිදු කර අවසන්ව ඇති අතර, මේ වන විට රෝගීන් යොදා ගනිමින් පර්යේෂණ සිදු කරන බව කාර්මික තාක්ෂණ ආයතනයේ ආචාර්ය මහේෂි අතපත්තු මහත්මිය පැවසුවාය.

ඩෙංගු රෝගයෙන් මිය ගිය බොහෝ දෙනා රෝගය පිළිබඳ බරපතළව නොසිතා සාමාන්‍ය වෛරස් උණක් ලෙස සලකා කටයුතු කර සුව නොවන නිසා රෝහල් ගත වූ අය බවත් අද බොහෝ දෙනා උණ, කැස්ස, හිසරදය වැනි රෝග ලක්ෂණ සාමාන්‍ය ලෙස සලකා කටයුතු කරන බවත් ඇය ප්‍රකාශ කළාය.

මේ නිසා රෝගය උත්සන්න වීමෙන් පසු රෝහල් ගත වූ විට මරණය පවා සිදු වන අවස්ථා තිබෙන බව පෙන්වා දුන් ඇය, මේ උපකරණය භාවිත කර ගෙදරදීම තමන්ට ඩෙංගු වැළැදී ඇත්දැයි දැන ගැනීමට ඕනෑම අයකුට හැකියාව තිබෙන බව ද කීවාය.

ගර්භිණීභාවය, අධි රුධිර පීඩනය, ලේවල සීනි ආදී තත්ත්වයන් වර්තමානයේ දී නිවෙසේදීම හඳුනා ගැනීමට හැකියාව ලැබී තිබෙන බව පැවැසූ ඒ මහත්මිය, ඩෙංගු රෝගය හඳුනා ගැනීමට ද මේ අනුව ඉදිරියේ දී හඳුන්වාදෙන උපකරණයෙන් ජනතාවට පහසුවක් වනු ඇති බවත් පැවැසුවාය.

රුපියල් 200 ක් වැනි මුදලකට මෙය වෙළෙඳ පොළෙන් මිල දී ගැනීමට හැකියාව ලැබෙනු ඇතැයි ද ඇය ප්‍රකාශ කළාය.

හෙතෙම මේ අදහස් පළ කළේ කැලණිය විශ්වවිද්‍යාලය මඟින් සිදු කරනු ලබන පර්යේෂණ පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවට එක් වෙමිනි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී මේ මාධ්‍ය හමුව පැවැත්විණි. එහි දී අදහස් පළ කළ කැලණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආචාර්ය මේනකා හපුගොඩ මහත්මිය මෙසේ කීවාය.

පසුගිය කාලය පුරා මදුරු ඝනත්වයේ වර්ධනයක් සිදුව තිබෙන බව පර්යේෂණවලින් තහවුරු වුණා. නගර ආශ්‍රිතව මෙන්ම ගම්බදවත් මදුරු ඝනත්වය ඉහළ ගිහින් තිබෙනවා. මේ වෛරසය විවිධ ආකාරයෙන් ක්‍රියාත්මක වීමට පටන් ගෙන තිබෙන නිසා ඩෙංගු රෝගීන් තුළින් ද මතු කරන රෝග ලක්ෂණ වෙනස් වෙලා තිබෙනවා. අපි අධිතාක්ෂණික ක්‍රමයක් යටතේ ඩෙංගු සම්ප්‍රේෂණය කළ නොහැකි මදුරු වර්ගයක් ඇති කළා. ඒ සඳහා ශ්‍රී ලංකාවේ සිටින ඩෙංගු කාණ්ඩ හතරම ආවරණය වන අනුවක් සකස් කළා. මෙය ජාන විකෘති කර සිදු කරනු ලබූ නිෂ්පාදනයක්. අපි මොවුන් පරිසරයට මුදා හැර තිබෙනවා. ඩෙංගු ඝනත්වය පාලනය කිරීම සඳහා මේ වැඩපිළිවෙළ ආරම්භ කළා.

කැලණිය විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා පර්යේෂණ ඒකකයේ අධ්‍යක්ෂ, ආචාර්ය එම්.පී. කුලරත්න මහතා-

අපි කසළ කළමනාකරණය සඳහා ජපන් උසස් තාක්ෂණයෙන් පෝෂිත නව පාරිසරික ප්‍රතිචක්‍රීකරණ පද්ධතියක් හඳුන්වා දීමට කටයුතු කළා. මේ වැඩපිළිවෙළ අපද්‍රව්‍ය ස්වාභාවිකව දිරාපත් වීමේ ක්‍රියාවලිය වඩාත් වේගවත් කිරීමේ ජීව තාක්ෂණික වැඩපිළිවෙළක් ලෙස පවත්වාගෙන යා හැකියි. මෙමඟින් කාබනික පොහොර නිෂ්පාදනයක් සිදු කළ හැකි අතර, මත්ස්‍ය ආහාර නිෂ්පාදනයක් ද සිදු කළ හැකි වෙනවා. මේ සම්බන්ධයෙන් සම්පූර්ණ පර්යේෂණ වාර්තා අපි ජනාධිපතිවරයාට පවා බාර දී තිබෙනවා. මධ්‍යම පරිසර අධිකරියට ද මේ වාර්තා යවා තිබෙනවා. නමුත් තවමත් මේ වාර්තා පිළිබඳව නිසි සාකච්ඡාවක් සිදු වෙලා නැහැ. අපේ රටට සුදුසුම ක්‍රමවේදය මෙයයි.

ගම්පහ වික්‍රමාරච්චි ආයුර්වේද වෛද්‍ය විද්‍යායතනයේ මහාචාර්ය ජනිතා ලියනගේ මහත්මිය-

භගන්දරා රෝගය සම්පූර්ණයෙන් සුව කිරීම සඳහා ක්ෂාරසුත්‍ර නමින් ප්‍රතිකාර ක්‍රමයක් අප විසින් පර්යේෂණ කර සොයා ගනු ලැබුවා.

මෙය ගුද මාර්ගය ආශ්‍රත රෝගයක් වන අතර, ගුද මාර්ගයේ සිට විහිදෙන කුඩා නාල සමූහයක් මාංශමය පටක අතරින් ගමන් කර පශ්චාත් ප්‍රදේශය ආශ්‍රතව සම මතුපිටට පැමිණීම මේ රෝගයයි. මෙහි දී රෝගියාට අධික වේදනාවක් දැනෙන අතර, බටහිර වෛද්‍ය ක්‍රමය අනුව ශල්‍යකර්මයක් මඟින් හානියට පත් පටක ඉවත් කරනු ලබනවා. නමුත් රෝගය නැවත මතු වෙනවා. ක්ෂාරසූත්‍ර ක්‍රමය භාවිත කරමින් සිදු කරන ප්‍රතිකාරය මඟින් මේ රෝගය සම්පූර්ණයෙන් සුව වෙනවා. මේ ක්‍රමය දැනට අපි ආයුර්වේද රෝහලේ සිදු කරගෙන යනවා යැයි කීවාය.

මේ අවස්ථාවට මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස, මහාචාර්ය නිල්මිණි ගුණවර්ධන, ආචාර්ය නයන ගුණතිලක, ආචාර්ය හේමන්ත ප්‍රේමරත්න මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් එක්ව සිටියහ. 

නව අදහස දක්වන්න