පසු වස් වැසිය හැකි නිකිණි පොහොය | දිනමිණ


 

පසු වස් වැසිය හැකි නිකිණි පොහොය

ශාසනික වශයෙන් ගත් කල නිකිණි පොහොය බෞද්ධයනට වැදගත් වූවකි. බුදුරජාණන් වහන්සේ ජීවමාන සමයේදී ඒ සඳහා කරුණු කාරණා ඉස්මතු වූ බවට සාධක හෙළිදරව් වී ඇත.

බුදුරජාණන් වහන්සේ ලොව පහළ වූ කාලයේ පොහොය දිනය අන්‍යාගමිකයන් සීල වෘතවල යෙදෙමින් ආගමික මෙහෙයන් පවත්වන දිනය ලෙස පිළිගෙන තිබුණි. බුදුරජාණන් වහන්සේ ද, බිම්බිසාර මහ රජතුමාගේ ඉල්ලීම පරිදි පොහොය දිනය බෞද්ධයන්ගේ ද ආගමානුකූල පිළිවෙත් පිළිපැදීමේ හා පුද පූජා පවත්වන දිනය ලෙස අනුදැන වදාළහ. විශේෂයෙන් සතර පෝය ගිහි බෞද්ධ උපාසක උපාසිකාවන්ගේ උපෝසිත දිනය හෙවත්, ප්‍රතිපත්ති පූජාවේ යෙදිය යුතු දිනය ලෙසත් චාතුද්දසී, පණ්ණරසී හෙවත් මාසෙ පෝය, පසළොස්වක යන උපෝසථ දෙක භික්ෂූන්ගේ උපෝසථ හා භික්ෂුණීන්ගේ උපෝසථ දින ලෙසත් බුදුරජාණන් වහන්සේ අනුදැන වදාළහ.

උපෝසථ දිනයෙහි කළ යුතු මූලික කටයුතු වන්නේ ආගමික සිද්ධස්ථාන වෙත ගොස් පන්සිල්, අටසිල්, ආජිවාෂ්ටමක සිල්, ගෘහස්ථ දසසිල් ආදී සීලයන් සමාදන්වීම, බණ භාවනාවල යෙදීම, තුණුරුවන්ගේ සුවිසි මහා ගුණයන් මෙනෙහි කිරීම් ආදී උතුම් ක්‍රියා ධර්මයයි. මේ ආකාරයේ ආගමික දැනීමක් හා ආභාෂයක් සතර පෝය දින මහජනයාට ලබාදීම අපහසු නිසා “වස් කාලය” එයට ඉතාමත් සුදුසු කාලය ලෙස බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්හ.

 එකල භික්ෂුන් වහන්සේලා අවුරුද්ද පුරා මාස නවයක්ම ගමින් ගමට යමින් එමින් මහජනයාට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරමින්, වෙහෙසකාරී අවිවේකී ජීවිතයක් ගත කළහ. එබඳු භික්ෂුන් වහන්සේට නිබඳව තුන් මසක් එක් ප්‍රදේශයක එක් තැනක වසමින් එක්තරා කායික විවේකයක් හා මානසික සහනයක් ලැබීමට “වස් විසීම” අනුදැනීමෙන් අවස්ථාව ලැබුණි. මෙසේ අනුදැන වදාළේ බුදුවීමෙන් වසර විස්සකට පසුවයි. එසේ වූවද, ඇසළ පෝදා දම්සක් පැවතුම් සූත්‍රය දේශනාකොට පසුදා පස්වග මහණුන් සමඟ බරණැස ඉසිපතනාරාමයෙහි බුදුරජාණන් වහන්සේ වස් විසූ බව සඳහන් වේ.

පෙර වස් විසීමට නියමිත ඇසළ අවපෑලවියදා යම්කිසි උපසම්පන්න භික්ෂුවකට නොවැළැක්විය හැකි හේතුවක් නිසා වස් වසන්ට නොහැකි වී නම්, නිකිණි පෝදා පොහොය කොට පසුදා හෙවත් අවපෑලවියදා “පසු වස්” සමාදන් විය හැකිය. මේ අන්දමට පෙර වස් විසීම, පසු වස් විසීම කියා දෙයාකාර වූ මෙම වස් කාලය තුළ ගිහි පැවිදි දෙපක්ෂය තුළම සීල, සමාධි, ප්‍රඥා යනාදී උසස් ගුණධර්ම සංවර්ධනය කර ගනිමින් දෙපක්ෂය නිතර ඇසුරු කරමින් ආගමානුකූල කටයුතුවල යෙදෙමින් ආගමික වාතාවරණයක් තුළ වෙසෙමින් ගිහි පැවිදි සම්බන්ධතාවය වැඩි දියුණු කර ගැනීමද මෙම නිකිණි පෝය මුල්වී සිදුවෙන සුවිශේෂී ක්‍රියාවලියකි.

නිකිණි පෝය මුල්කොටගෙන පසු වස් විසූ භික්ෂුවකට කඨින චීවරයක් හෝ කඨින වස්ත්‍රයක් පිළිගැනීමට නොහැකි වූවත් වස්සාවාසික නමින් හැඳින්වෙන සිවුරක් පිළිගැනීමට හැකියාවක් ඇත. පසු වස් විසු භික්ෂුවක් මුල්කරගෙන අටමහ කුසල්වලින් පළමු වැනි කුසලය වන කඨින පින්කම් කිරීමට හැකියාවක් නොමැත. එසේ වූවත් පසු වස් විසූ සිල්වත් භික්ෂුවක් යම් ගමක වසමින්, මිනිසුන් ළඟින් ඇසුරු කරමින් බොහෝ කුසල් රැස්කර ගත හැකි බව බුදුරජාණන් වහන්සේ වදාරා ඇත.

මේ අනුව සලකා බැලීමේ වස්කාලය ගිහි පැවිදි දෙපක්ෂයේම පුණ්‍ය කාලය ලෙසත්, ගිහි පැවිදි සම්බන්ධතාව වැඩි දියුණු වන කාල පරාසය ලෙසත් බණ භාවනා මඟින් පුණ්‍යකර්මයන් තුළින් ගිහි පැවිදි දෙපක්ෂයේම දෙලොව අභිවෘද්ධියේ මල්ඵල ගැන්වෙන කාලය ලෙසත් සැලකිය හැකිය.

 

කොබෙයිගනේ පුබ්බිලිය ශ්‍රී සාරානන්ද
පිරිවෙනේ ආචාර්ය
ගලගෙදර රතනවංස හිමි

 

නව අදහස දක්වන්න