කොළ­ඹට මොනරු ඇවිත්! | දිනමිණ

කොළ­ඹට මොනරු ඇවිත්!

 තිඹිරියාගම බණ්ඩාර

"අප්පච්චි - අප්පච්චි අන්න සෙබඩක්!" දියණිය කලබලයට පත්ව මගේ අතින් අදී. මම නවතිමි. ඇස් දිස්ටි මානයේ එකකට එකක් යාබදව පිහිටි නිවාස තාප්පවලින් වෙන්කර ඇත. තාප්පයක් මත සෙබඩකි. දියණිය විස්මයට පත් ව තිබේ. මට ද එය බෝ විය. කිරිගම්පමුණුව අප පදිංචි නිවසේ සිට මත්තේගොඩ බස් නැවතුම්පළ දක්වා පයින් යන ගමනේ දී මෙය සිදු විය. දිනය 22 දා සෙනසුරාදා ය.

ගෙහිමියෝ ද කලබලයට පත්ව මිදුලට පැමිණ සිටිති. සෙබඩ අපට බියෙන් තාප්පයෙන් තාප්පයට පැන ගියා ය.

"ඇතිකරපු එකෙක් ද?" මම ගෙහිමි කාන්තාවගෙන් ඇසීමි.

"නෑ කොහෙන්ද ඇවිත්. බෝවෙන්ඩ පටන් අරං" ඇය කීවා ය.

දුර පළාත්වලට බසයෙන් යන අතර මොනරා සහ සෙබඩ දැක ඇති මගේ දියණිය තමන් ආසන්නයේ ම එබඳු දසුනක් දැකීමෙන් ප්‍රමුදිත ව සිටියා ය. බසයට නඟිනතුරු ම ඈ කතා කළේ ඒ පිළිබඳව ය. මට ද එය අපූරු අත්දැකීමක් විය. මෙයින් මට ලැබුණු සංඥාව වූයේ දිවයින පුරා ව්‍යාප්ත වෙමින් සිටින මොනරුන් කොළඹ බස්නාහිර පළාත ද ආක්‍රමණය කරමින් සිටින බව ය. මීට කලකට පෙර මහාචාර්ය සී. එම්. එම්. මද්දුම බණ්ඩාර ලියූ දේශගුණික වෙනස්කම් පිළිබඳ නිබන්ධයක් මට සිහිපත් විය. ශුෂ්ක භූමි ප්‍රදේශ පුළුල් වීමට සමාන්තර ව මොනරුන්ගේ ව්‍යාප්තිය ද සිදු වන බවට ඔහු කරුණු දක්වා තිබිණ. මගේ මතකය නිවැරදි නම් මොනරුන්ට හිතකර පාරිසරික තත්ත්ව වර්ධනය වීම මීට එක් හේතුවකි. ඔවුන් දඩයමට ලක් නොවීම දෙවැන්නයි. සොබා පරිසරයට එතරම් හානියක් නො සිදුව තිබූ 60 දශකයෙහි මා උපන් තිඹිරියාගම ගම් ප්‍රදේශයෙහි මොනරුන් දක්නට නොලැබිණ. එහෙත් වළි කුකුල්ලු, වල් ඌරෝ, මී මින්නෝ, රිලව්, වඳුරෝ එහි සුලබ වූහ.

80 දශකය වන විට වල් ඌරන් දක්නට නොලැබුණේ වනගහනය සීමාවීම හා දඩයම් තුවක්කුවලට ගොදුරු වීම අනුව ය. මා කුඩා කල අපගේ ඥාතියකු වූ හොරොම්බුවේ මාමණ්ඩි වාරියපොළ නගරයේ සිට සැතපුම් හයක් දුර ගෙවා පාපැදියෙන් ඉඳහිට අපේ නිවසට පැමිණීම සිරිතක් විය. ඔහු එන විට පතරොම් තුවක්කුවක් රැගෙන එයි. ඔහු පසුපසින් යෑම අම්මා අපට තහනම් කරයි. මාපියාණන්ට ඒ තහනම නොවීය. ඔවුන් ආපසු එන්නේ මගුරු ඔයබඩ වන තීරයෙන් වඳුරකු, ඉත්තෑවකු, තලගොයකු, මීමින්නකු, හාවකු හෝ වලි කුකුළකු දඩයම් කරගෙන ය. වඳුරා හමගසනු අපි හොරෙන් බලා සිටියෙමු. දඩ මසට ගමේ තහංචියක් නොවී ය. වඳුරකු වෙඩි කෑ පසු ව හෝ මද්දකට අසු වූ පසුව සති කිහිපයක් යනතුරු හේන්වල ධාන්‍ය හා පලවැල බේරෙන්නේ වඳුන් බියට පත් ව වනගතවන හෙයිනි.

1971 කැරැල්ලෙන් පසු ව ආණ්ඩුව තුවක්කු පවරා ගත්තේ ය. නැවත බලපත්‍ර නිකුත් කිරීමක් නොවී ය. ක්‍රමයෙන් දඩයමට ද තහංචි වැටිණ. මෑත අවධියෙහි ග‍ම් ප්‍රදේශයට ගිය මට ගොවීන්ගෙන් අසන්නට ලැබුණේ දඬු ලේනුන්, වල් ඌරන් සහ මොනරුන් ව්‍යාප්තව ඇති බව ය; අස්වනු පාළුවීමෙන් ගොවීන් කරකියාගත දෙයක් නොමැති ව සිටින බව ය.

දිවයිනේ බොහෝ පළාත්වල විවිධ කටයුතු සඳහා ගමන් බිමන් යන මාගේ නිරීක්ෂණය වනුයේ වල් ඌරන්, දඬු ලේනුන් සහ මොනරුන් අසාමාන්‍ය අන්දමින් බෝවී සිටින බව ය. සතුන් දඩයම් කිරීම පහත්කොට සලකන නිසා ගම්වල තරුණයන් අතින් ද සතුන්ට අභය දානය ලැබේ. දඬුලේන්නු තරගයට පොල් පලදාව විනාශ කරති. මොනරු වී කරල් ඩැහැ ගනිති. මුවෝ සහ වල් ඌරෝ ද ඉතුරු හරිය ඉවර කරති.

මා කුඩා කල කඳන් බැඳීමෙන් ගම් තුලානට දඩමස් සැපයූ පුද්ගලයා වයෝවෘද්ධ ව දඩයම් අතහැර හතර පෝයට සිල් ගනිමින් සිටී. ඔහුගේ දරුවෝ දඩයම් නොකරති. කිසියම් සත්ත්ව වර්ගයක් අසාමාන්‍ය අයුරින් වර්ධනය වීම සත්ත්ව සන්නතියෙහි පැවත්ම අවුල් කරයි. මොසැම්බික් රටෙන් උදාහරණයක් සපයමි. මීට ටික කලකට පෙර එරට ඇතුන් මරා දැමීමට එරෙහි පරිසර සංවිධාන හඬ නැඟීමේ ප්‍රතිඵලය වූයේ ඇතුන්ගේ වාසභූමි පුළුල් කිරීම හා සුරක්ෂිත කිරීම ය. ටික කලක් යන විට අසාමාන්‍ය වර්ධන වේගය නිසා ඇත්තු වැට මායිම් බිඳ ජනාවාස ආක්‍රමණය කිරීමට පටන් ගත්හ. ඇත් ගහනය සාමාන්‍ය මට්ටමට ගැනීම සඳහා ඇතුන් දහස් ගණනක් වෙඩි තබා මැරීමට ආණ්ඩුව තීන්දු කළේ ය. එසේ කළේ පරිසර සංවිධානවල විරෝධතා මැද ය.

මෙය සිහිපත් කරමින් අපේ රට සම්බන්ධයෙන් නිගමන දීමට මම ඉක්මන් නොවෙමි. එහෙත් වල් ඌරකු මැරීමේ වරදට පොලිසියෙන් කුදලාගෙන යන ගොවියාගේ ඉරණම ගැන මම කනගාටුවට පත් වෙමි. දඩ මුදල ගෙවා ගත නොහැකි වූ විට හිරේ යන්නට ද සිදු විය හැකි ය. සත්ත්ව අවිහිංසාව පිළිබඳ ප්‍රසිද්ධියේ දේශන පවත්වන මහත්වරුන් වල් ඌරු මස් ටිකක් ලැබුණු විට තලුමරමින් කනු මම දැක ඇත්තෙමි. මෑත කාලයෙහි දානමය පින්කමක සිදුවීමක් මහාචාර්ය ලියනගේ අමරකීර්ති ලියා තිබුණි. එක් දානමය පිංකමකට වල් ඌරු මස් ටිකක් ලැබී තිබුණි. එසේ ලැබුණේ දඩයක්කරුවකුගෙනි. හාමුදුරුවරු දායකයන්ට කියා නැවත නැවත වල් ඌරු මස් බෙදා ගත්හ.

මෙබඳු කරුණු පිළිබඳ ප්‍රසිද්ධියේ කතා කරන පුද්ගලයෝ අවමනට ලක්වෙති. ප්‍රසිද්ධියේ මාළුන්, කුකුළන් මරන පුද්ගලයන් ද, හරකුන් හා ඉබ්බන් මැරීමට එරෙහි ව බණ කීම සරදමට ලක්කරමින් මම ලිපියක් ලීවෙමි. එකල 'රට යන අත' නමැති වැඩසටහන ඔස්සේ හඩු බසින් ජාතිය ඇමතූ 'හඩ්ඩා' මගේ ලිපිය විවේචනය කරමින් මා එන්ජීඕකාරයකු ලෙස හංවඩු ගැසුවේය. කවුරු මොන දේ කීවත් මට පෙනෙන්නේ මොනරුන් කොළඹ රටටත් පැමිණ ඇති බව ය. මොනරා සුන්දර සත්ත්වයෙකි. ඒ මට ය. මගේ දියණියට ය. තවත් බොහෝ අයට ය. එහෙත් ඒ සත්ත්වයා මේ රටේ ගොවීන්ට වහකදුරු වෙමින් සිටී. 

නව අදහස දක්වන්න