රංගනයට හැදෑරීම අත්‍යවශ්‍යයි | දිනමිණ

රංගනයට හැදෑරීම අත්‍යවශ්‍යයි

අමිල කරුණානායක

අමිල කරුණානායක අපට ප්‍රථමයෙන් හමුවන්නේ නිරූපන ශිල්පියකු ලෙසටය.ඉන් අනතුරුව නාලක විතානගේ අධ්‍යක්ෂණයකළ රූපාන්තරණය චිත්‍රපටයේ ප්‍රධාන භූමිකාවක් නිරූපනය කළ අමිල ඉන් පසුව චිත්‍රපට කිහිපයක්ම තම රංගන පෞරුෂයෙන් හැඩ කළේය.වෙළෙඳ දැන්වීම් නිරූපණ ක්ෂේත්‍රයේ ප්‍රවීනයකු වන අමිල මෑත කාලයේ කතා බහට ලක්වන්නේ රූපරචනාවක හේතුකොට ගනිමින්ය.කොළඹ නාලන්දාවෙහි ආදිසිසුවකු වන හෙතෙම කුඩා කළසිට සිහින මවා ඇත්තේ නිරුපණ ශිල්පියකුලෙස ඉදිරියට යන්නටය.මේ ඒ හීන ගැනත් වත්මන් කලා ක්ශේත්‍රය ගැනත් අමිල සහ රසමංජරිය කළ කතාබහකි

l සිනමා නළුවෙක් වෙන්නන් ඕනි කිව්ව අමිල දැන් සැහෙන්න මියුසික් වීඩියෝ වල ඉන්නවා නේද ?

මියුසික් වීඩියෝ 14ක වගේ තමයි පෙනී සිටියේ. ඒ ටිකත් තෝරාගෙන තමයි කරේ.. පහුගිය නම් එක දිගට මියුසික් වීඩියෝ කිහිපයක් කරා. දැන් පොඩ්ඩක් අඩු කරලා

l අමිල හිටපු හීන ගානේ ගීතය සැහෙන්න කතා බහට ලක් වුනා නේද ?

රුවින් මල්දෙනියගේ හීන ගානේ ගීතය ට්‍රෙන්ඩ් එකට කරපු දෙයක් කියලා ඒක මේ දවස් වල කතා බහට ලක් වෙනවා තමයි. හැබැයි ඒක එහෙම ට්‍රෙන්ඩ් එකටම කරපු දෙයක් කියලා මට නම් හිතෙන්නේ නැහැ. ඒක ලස්සන කතා තේමාවක් එක්ක යන එකක්.

l සින්දුවක් හිට් කරගන්න නිරුවත අවශ්‍යයි කියලා අමිල හිතනවා ද ?

දැන් යන ට්‍රෙන්ඩ් එක එක්ක ඒක එයාලා මාර්කටින් සම්බන්ධ අරමුණකින් කරන දෙයක් වෙන්න ඇති. අධ්‍යක්ෂකවරයා මං එක්කත් කතා කරලා සහයෝගයෙන් මගේ ලිමිට් එක ඇතුලේ තමයි මං ඒ දර්ශනවලට පෙනී සිටියේ.

l ලංකාවේ ඉන්න අංක එකේ නිරූපණ ශිල්පියෙක් සහ සිනමා නළුවෙක් විදියට අමිලගේ මෙහෙම මියුසික් වීඩියෝ වලට කොටු වෙන එක හානියක් නේද ?

ඒක ඇත්ත. මට ඒක දැනෙනවා සහ පිලිගන්නවා. ඒ වුනාට මේ රූපරචනාව අධ්‍යක්ෂණය කරේ ප්‍රියන්ත කොළඹගේ කියන සිනමා අධ්‍යක්ෂකවරයා සහ එයාගේ පුතා. මේක ලංකාවේ තියෙන හොදම කැමරා එක්ක සිනමා රූප එක්ක කරපු එකක්. මට ඕනි වුනෙත් කරන වැඩේට සාධාරණයක් කරන්න. ඉදිරියේ දී මියුසික් වීඩියෝ වල රගපාන එක සිමා කරන්න තීරණයක් ගන්න හිතන් ඉන්නවා.

l මේ හැමදෙයක්ම කරන අතරතුරේ අමිලට නිරූපණය මග හැරිලා ද ?

නිරුපණය මග හැරිලාම නැහැ.මගේම ව්‍යාපාරයක් කරගෙන යන නිසා පොඩ්ඩක් විතර එතනින් එලියට ඇවිත් ඉන්නවා. අනික නිරුපනය කියන්නේ හැමදාම කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. මන් 2006 ඉදන් අවුරුදු 11 තිස්සේ නිරූපණ ක්ෂේත්‍රයේ රැදිලා ඉන්නවා. ඉතින් ඉස්සර වගේ දැන් ගොඩක් ෂෝ වලට යන්නේ නැහැ. ඒ වගේම සිනමාවේ ඉදිරියට යන්න මට ලොකු බලාපොරොත්තුවක් තියෙනවා. අනික සිනමා නළුවෙක් වෙනවා නම් නිරූපණ ශිල්පියෙක් කියන භුම්කාව පැත්තකින් තියල එන්න ඕනි කියලා මන් හිතන්නේ එහෙම. දැනට චිත්‍රපට 6,7ක් වගේ මේ වෙද්දී ඉවර කරලා තියෙනවා. ටෙලි නාට්‍යත් තුනක් විතර එන්න තියෙනවා කරපු ඒවා. ටෙලි නාට්‍ය වුනත් දිගටම කරන්නේ නැහැ. නළුවෙක් විදියට තාම මගේ ස්ථාවරය තවම ශක්තිමත් නැහැ. ඒ නිසයි මන් අත්දැකීම් එකතු කරගන්නේ. හැම්ලට් වේදිකා නාට්‍යයත් මන් කරා. මොකද වේදිකා නාට්‍යයක අත්දැකීම ගොඩක් වටිනවා.

l නිරූපණය ක්ෂේත්‍රයේ බහුතරයක් දැන් රංගනයට එන්න පටන් අරගෙන ?

අපේ කාලයේදී හොද නිරූපණ ශිල්පින් ටිකක් බිහි වුණා. අපි හේමාල් ලා වගේ ඒ කාලේ ආපු අයට පැවැත්මක් තිබුණා. අනික ඒ කාලේ ඉදන් අපිට රංගනය ගැන ආසාවක් තිබුණා. හේමාල් සහ මං වුණත් වැඩ ඉවර වෙලා ඒ දවස් වල ඉදන් ඔඩිෂන් වලට යනවා. වෙන රටවලත් මොඩ්ල් කරන අය රංගනයට ඇවිත් තියෙනවා. මන් හිතන්නේ කරන දේ හරියට ඉගෙන ගෙන කරනවා නම් ඒක ප්‍රශ්නයක් නෙවෙයි.

l මේ වෙද්දී නිරුපණ ශිල්පින් යැයි කියා ගන්න පිරිස් වැහි වැහල නේද ?

ඒක ඇත්ත. දැනට අවුරුදු පහකට හයකට කලින් ගද්දි වෘත්තිමය මට්ටමේ හොද පරිපාලනයක් මේ ක්ෂේත්‍රයේ තිබුණා. එයාලා වැඩ කරේ දේවල් ඉගෙන ගෙන. අත්දැකීම් එක්ක. පැජන්ට් වුනත් හොදට ස්ටඩි කරලා කරන්නේ. දැන් වෙලා තියෙන්නේ මේ ක්ෂේත්‍රය ගැන මොකුත්ම දන්නේ නැති අය ඇවිල්ලා මේ ක්ෂේත්‍රය පාලනය කරන්න හදනවා. ඉතින් පාලනය අඩු වුනාම එයාලා යටතේ වැඩ කරන අයගේ කොලිටි එකත් අඩු වෙනවා. වැඩ වල දී අදුරන අයව හෝ සල්ලි අරගෙන සමහර අයව වැඩ වලට එයාලා යවනවා. වැඩේට සුදුසු කෙනා නෙවෙයි යන්නේ. අපි දන්නේ නැති මේකේ හැංගිච්ච පැත්තක් තියෙනවා. එයාලගේ වෙන වෙන බිස්නස් අරමුණු මෙතැන සිද්ධ වෙනවා. ඒ දේවල් සිද්ධ වෙද්දී හොද නමක් තියෙන අය මේ ක්ෂේත්‍රය අත හැරලා යනවා මොකද මේ දේවල් වෙන ක්ෂේත්‍රයක ඉන්න එක හානියක් නිසා. පදුරකට පයින් ගැහුවොත් මොඩ්ල්ස් සැහෙන්න විසි වෙනවා කියන තත්වෙට ඇවිත් තියෙන්නේ සුදුසු නැති බොරුකාරයෝ මේ ක්ෂේත්‍රයට ඇවිත් තියෙන නිසා. අඩු තරමේ මේ ගැන නිසි පාලනයක් හැදෑරීමක් තියෙන්න ඕනි. ඒ මොකුත් නැහැ එයාලගේ බිස්නස් ටික ගොඩ දාගන්න එයාලා මේ ක්ෂේත්‍රය පාවිච්චි කරනවා. දැන් මොඩ්ල් කෙනෙක් කියලා කියන්න ලැජ්ජා තත්වෙට මේ ක්ෂේත්‍රය පත් වේගෙන එනවා.

මන් හිතන්නේ අපි වුනත් මේකට විරුද්ධව එකතු වෙන්න ඕනි. මේ දේවල් වලට එරෙහිව කතා කරන්න ඕනි.

l අමිල කියන්නේ අවුරුදු ගානක අත්දැකීම් තියෙන මෝස්තර නිර්මාණ ශිල්පියෙක් කියලා වැඩිය දන්නේ නැහැ නේද ?

ඔව්. ඇත්තටම ෆැෂන් ඩිසයින් උපාධිය අරගෙන අවුරුදු 10 විතර තිස්සේ ෆැෂන් ඩිසයිනර් කෙනෙක් විදියට මන් විවිධ ආයතන වල වැඩ කරලා තියෙනවා. ලංකාවේ කාලෝ කියන බ්‍රෑන්ඩ් එක පටන් ගත්තේ මන්. ඒක අවුරුදු 6කින් 7කින් ලොකු තැනකට ගෙන්න මට පුළුවන් වුණා. මගේ දැනුම සහ අත්දැකීම් වලින් ප්‍රයෝජනයක් ගන්න හිතාගෙන දැන් A Detail කියලා මගේම බ්‍රෑන්ඩ් එකක් පටන් අරගෙන ව්‍යාපාරයක් විදියට කරගෙන යනවා. මේක ගිය අවුරුද්දේ අගෝස්තු වගේ පටන් ගත්තේ. මේ වෙද්දී ව්‍යපාරය හොද තැනක තියෙනවා.

අරුණි කළුපහන 

නව අදහස දක්වන්න