මාතර ඩෙංගු පැතිරීම ශීඝ්‍රයෙන් ඉහළට | දිනමිණ

මාතර ඩෙංගු පැතිරීම ශීඝ්‍රයෙන් ඉහළට

ජයසිරි පේදුරුආරච්චි

රෝගීන් 4067ක්

රාජ්‍ය ආයතන, රාජ්‍ය නොවන හා සිවිල් සංවිධාන ඩෙංගු මැඩලීමේ වැඩසටහන් සිය දහස් ගණනින් ක්‍රියාත්මක කළ ද මාතර දිස්ත්‍රික්කයේ රෝගය ශීඝ්‍රයෙන් පැතිරී යන බව මාතර දිස්ත්‍රික් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය දීපිකා පටබැදිගේ මහත්මිය පවසයි.

ජනවාරි මස සිට ජූලි 31 දක්වා කාලය තුළ දිස්ත්‍රික්කය පුරා ඩෙංගු රෝගීන් 4067ක් වාර්තා වී ඇත. සිදුවී ඇති මරණ සංඛ්‍යාව දහයකි මින් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ මාතර නගර සීමාවෙන් වන අතර එම සංඛ්‍යාව එක්දහස් තිස් නවයකි.

මෙයට අමතරව දික්වැල්ල, දෙවිනුවර, වැලිපිටිය, වැලිගම, මාලිම්බඩ, කොටපොළ හා හක්මන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වලින් ද රෝගීන් වාර්තා වී ඇතැයි වෛද්‍ය දීපිකා පටබැදිගේ මහත්මිය පැවසුවාය.

කෙතරම් වැඩසටහන් ක්‍රියාත්මක කළ ද ජනතාවගේ සහාය නොලැඹීම ඩෙංගු රෝගය මෙලෙස වර්ධනට ප්‍රධාන හේතුව බවත් සහාය කණ්ඩායම් පැමිණ ඩෙංගු රෝගය පිළිබඳව හා එය වළක්වා ගත හැකි ආකාරය පිළිබද දැනුවත් කරන දිනයේ හෝ එලෙස කණ්ඩායම් පැමිණෙන බව ආරංචි වූ දිනයේ පමණක් ජනතාව තම නිව‍ෙස හා ගෙවත්ත පිරිසිදු කර පසු දින සිට නැවත අක්‍රමවත් කසළ බැහැර කිරීම් කිරීම බවත් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය දීපිකා පටබැදිගේ මහත්මිය පැවසීය.

ඉවතදමන ප්ලාස්ටික් බදුන්, පොලිතීන් ඇතුළු නොදිරන ද්‍රව්‍ය, වතුර එක්රැස්කරන බදුන්, මල්වලට වතුර දමන බදුන්, බැරල්, පාවිච්චි නොකරන වැසිකිළි හා ෂිස්ටන්, වැහිපීලි, පන්සල් වල බෝධිය නෑවීමට ගන්නා ප්ලාස්ටික් බදුන් හා යකඩ හා මැටි පහන් ඩෙංගු මදුරුවන්ට බෝවීමට කදිම ස්ථාන බව ද වෛද්‍යවරිය පැවසුවාය. පොඩි වැස්සකට වුව මෙම ද්‍රව්‍ය වල ජලය පිරෙන බැවින් එය මදුරු කීටයන් බෝවීමට හොදටම ප්‍රමාණවත් බැවින් මේ කෙරෙහි විශේෂ අවධානය යොමුකරන ලෙස ද වෛද්‍යවරිය ඉල්ලා සිටින්නීය.


නව අදහස දක්වන්න

Or log in with...