උමා ඔය ව්‍යාපෘතියෙන් පීඩාවට පත් ජනතාවට දැනට ලබාදෙන වන්දි මුදල වැඩි කරනවා | දිනමිණ

උමා ඔය ව්‍යාපෘතියෙන් පීඩාවට පත් ජනතාවට දැනට ලබාදෙන වන්දි මුදල වැඩි කරනවා

උමා ඔය බහු කාර්යය සංවර්ධන ව්‍යාපෘතිය නිසා පීඩාවට පත්ව කුලී නිවාසවල සිටින ජනතාවට දැනට ලබාදෙන රුපියල් 15,000ක මුදල තවත් වැඩි කිරීමට කටයුතු කරන බව බණ්ඩාරවෙල දික්අරාව ප්‍රදේශයේ හානියට පත් නිවාස නිරීක්ෂණය කිරීමේ චාරිකාවට එක් වෙමින් ධීවර, ජලජ සම්පත් හා මහවැලි රාජ්‍ය ඇමැති මහින්ද අමරවීර මහතා පෙරේදා (31) අවධාරණය කළේය.

බදුල්ල දික්අරාව ප්‍රදේශයේ ජනතාව වහාම එම ස්ථානයෙන් ඉවත් කර සුදුසු තාවකාලික ස්ථාන වෙත යොමු කිරීමට උමා ඔය ව්‍යාපෘතිය සම්බන්ධයෙන් සොයා බැලීමේ ඇමැති අනුකමිටුව අවධානය යොමු කර ඇත. මේ පිරිස් වෙනුවෙන් රජය සුදුසු පියවර ගන්නා තෙක් තාවකාලිකව වෙනත් ස්ථානයක පදිංචි කරවීම සහ ඔවුන්ට සහන සැලසීම සම්බන්ධයෙන් ද ඇමැති අනුකමිටුව කරුණු සාකච්ඡා කර තිබේ.

උමා ඔය බහු කාර්යය සංවර්ධන යෝජනා ක්‍රම ආශ්‍රිතව පැන නැඟී ඇති ගැටලු සොයා බැලීම සඳහා පත් කළ ඇමැති අනුකමිටුව පසුගිය 31 වැනි දා බදුල්ලේ දී පැවැත්විණී. ධීවර හා ජලජ සම්පත් සංවර්ධන ඇමැති මහින්ද අමරවීර, ඌව පළාත් මහ ඇමැති චාමර සම්පත් දසනායක මහත්වරුන් ඇතුළු සියලුම ක්ෂේත්‍ර නියෝජනය කරමින් නිලධාරිහු මේ අවස්ථාවට සහභාගි වුහ.

එමෙන්ම ප්‍රධාන වශයෙන් මේ ජනතාව මුහුණ පා සිටින ජල ගැටලුව, ඔවුන් නැවත පදිංචි කිරීම, වගා හානි සහ නිවාස හානි සම්බන්ධයෙන් වන්දි මුදල් ලබාදීම, උමා ඔය ජල කාන්දුව සම්බන්ධයෙන් ගනු ලබන ඉදිරි පියවර ඇතුළු කරුණු රැසක් පිළිබඳව එහි දී සාකච්ඡා කෙරිණි.

එහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැතිවරයා මෙසේ ද කීය.

"මේ ව්‍යාපෘතිය නිසා හානියට පත් වගා වෙනුවෙන් වන්දි කඩිනමින් ලබාදීමට කටයුතු කරනවා. තක්සේරු නිලධාරින් නිවාස හා දේපළ තක්සේරු කිරීමෙන් අනතුරුව එම තක්සේරු වාර්තා ලැබුණු විගස අදාළ වන්දි මුදල් කඩිනමින් ගෙවීමට කටයුතු කරනවා. බදුල්ල දික්අරාව ප්‍රදේශයට මීට සති කිහිපයකට පෙර මා පැමිණි විට වූ දේශපාලනඥයන්ගේ බාධා කිරීම් නොවන්නට මේ ජනතාවගේ ගැටලු මේ වන විටත් හඳුනාගෙන විසැඳුම් ලබාදීමට හැකියාව තිබුණා. පීඩාවට පත් ජනතාවට අවශ්‍ය සහන නොකඩවා ලබා දෙනවා. මාර්ග මඟින් අපහසු නම් ඒවා ගුවන් මඟින් හෝ ගෙනැවිත් දෙනවා.උමා ඔය බහු කාර්යය සංවර්ධන ව්‍යාපෘතිය තවදුරටත් පවත්වාගෙන යන්නේද නැද්ද යන්න පිළිබඳව සොයා බැලීමට රජය පත් කළ විශේෂඥයන්ගේ කණ්ඩායමේ වාර්තා ලැබුණු වහාම මේ පිළිබඳව ජනතාවට හානි නොවන ඕනෑම තීරණයක් ගැනීමට ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය පියවර ගැනීමට පසුබට වන්නේ නෑ. පක්ෂ පාට නොතකා දික්අරාව ජනතාවට රජය සාධාරණය ඉටු කරනවා. එමෙන්ම මේ කාරණයට අදාළව පර්යේෂණ පැවැත්වීමට රජයේ ආරාධනය මත විශේෂඥ කණ්ඩායම් කිහිපයක් පැමිණියා. ඊයේ (01) දින නෝර්වේ විශේෂඥයන් පිරිසක් ද පැමිණීමට නියමිත ව තිබුණා.

ඇමැති අනුකමිටුවේ යෝජනා අනුව උමා ඔය ව්‍යාපෘතිය නිසා විපතට පත් ජනතාවට ගාස්තු රහිතව ජලය ලබාදෙන ලෙස ජලසම්පත් මණ්ඩලයට උපදෙස් දී තිබෙනවා. මෙයට අමතරව දැනට දෙමෝදර ප්‍රදේශයේ ඉදි වන ජල ව්‍යාපෘතිය තව නොබෝ දිනකින් විවෘත වෙනවා. එම ජලය උමා ඔය ව්‍යාපෘතිය හේතුවෙන් පීඩාවට පත් ජනතාව වෙනුවෙන් බව්සර් මඟින් ලබාදීමට කටයුතු කරනවා. කරඳගොල්ල ජල කාන්දුව සිදු වන ස්ථානයට ගිය මා එහි දැනට පවතින තත්ත්වය නිරික්ෂණය කළා. ඉන් අනතුරුව මේ ජල කාන්දුව නැවැත්වීමට මේ වන විට ගෙන ඇති ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් එම පිරිස සමඟ සාකච්ඡා කළා.

ඒ අනුව විශේෂඥයන්ගේ අදහස වී තිබෙන්නේ මේ වන විට ජල කාන්දුව නැවැත්වීමට ගෙන ඇති ක්‍රියාමාර්ග හේතුවෙන් ඉදිරි දින කිහිපයේ එම ජල කාන්දුව නවත්වා ගැනීමට හැකියි. උමා ඔය බහුකාර්ය ව්‍යාපෘතිය හේතුවෙන් දැනට හානියට පත්ව ඇති බණ්ඩාරවෙල ප්‍රදේශය වසර තුනක් යන්නටත් පෙර එය තිබූ තත්ත්වයටත් වඩා අලංකාර සංවර්ධිත නගරයක් බවට පත් කරනවා. කෙසේ වුවද අගතියට පත්ව සිටින ජනතාවට සහන සැලසීම මෙන්ම මේ දැවැන්ත සංවර්ධන ව්‍යාපෘතිය ඉදිරියට පවත්වාගෙන යෑම හෝ අත්හැර දැමීම හෝ සිදු කරන්නේ විශේෂඥයන්ගේ අදහස අනුවයි.

එමෙන්ම මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන ලද්දේ කවුරුන්ද යන්න හෝ ඔවුන්ට දොස් තැබීමෙන් හෝ පලක් වන්නේ නෑ. දැන් සිදු විය යුත්තේ එයින් අගතියට පත් ජනතාවට සහන සැලසීම හා මේ ගැටලුවට විසැඳුම් සෙවීමයි. ඒ සම්බන්ධයෙන් රජය සියලුම වගකීම් භාර ගන්නවා."

මෙහි දී ඇමැති මහින්ද අමරවීර මහතා සහ ඌව පළාත් මහ ඇමැතිවරයා ජනතාවට ප්‍රතිඥා ලබා දුන්නේ තමන් ඉදිරියේ දී එම නිරිදේශ ඇත්ත ඇති සැටියෙන් ම හෙළි කරන බවයි. ඌව පළාත් සභා මන්ත්‍රී සුදර්ශන දෙනිපිටිය මහතා ඇතුළු පිරිසක් ද මේ අවස්ථාවට එක් වූහ. 

බුද්ධිකා ඉඹුලාන, ඌව පළාත් සමූහ සහ සොරණාතොට සමූහ


නව අදහස දක්වන්න

Or log in with...