උමා ඔය ව්‍යාපෘතිය නිසා ඉවත් කරන පවුල්වලට තිස් දහසක නිවාස කුලියක්වත් ගෙවන්න | දිනමිණ

උමා ඔය ව්‍යාපෘතිය නිසා ඉවත් කරන පවුල්වලට තිස් දහසක නිවාස කුලියක්වත් ගෙවන්න

අනුර ප්‍රේමලාල්

"උමා ඔය ව්‍යසනයෙන් ඉවත් කරන පවුල් සඳහා රු. 30,000කවත් නිවාස කුලියක් ගෙවන්න. දැන් ගෙවන මුදලට හරක් මඩුවක්වත් ගන්න බෑ." යැයි ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රයේ සහ කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතා ප්‍රකාශ කරයි.

මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දක්වන ඒ මහතා මෙසේ ද කීය.

"ඊසාන දින මෝසම් වැසි ඇරැඹීමට පෙර උමා ඔය විනාශය හේතුවෙන් ඉවත් කිරීමට සුදානම් විය හැකි 1600කට වැඩි පවුල් සඳහා අවම වශයෙන් රු. 30,000ක නිවාස කුලියක් ලබා දෙන ලෙස ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍ර‍ය පරිසර සහ මහවැලි සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් අනුර දිසානායක සහ බදුල්ල දිස්ත්‍රික් ලේකම් නිමල් අබේසිරි මහත්වරුන්ගෙන් ඉල්ලා සිටිනවා.

මේ වන විට බණ්ඩාරවෙල ඇල්ල, වැලිමඩ ප්‍රදේශවල නිවාස 4500ක් හානි වී හෝ ගිලා බැස හෝ ඇතැයි පවසන ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍ර‍ය අද රජය විසින් ලබාදෙන රු. 15,000ක මුදලින් ගිලා නොබසින, ආරක්ෂිත නිවසක් නොව හරක් මඩුවක් හෝ කුලියට ගත නොහැකියි. 2000කට වැඩි නේවාසික පාසල් දරුවන් ගිලා නොබසින නගරයේ පාසල්වලට ආසන්න නිවෙස් වෙත මාරු කිරීමට මවුපියන් දරණ උත්සාහය නිසා කුලී නිවාස මිල දෛනිකව ඉහළ යමින් තිබෙනවා.

2014 දෙසැම්බර් මස 26 වැනි දා ජල කාන්දුවත් සමඟ ඇති වූ තත්ත්වයට මුහුණදීමට එවකට බදුල්ල දිසාපතිවරයා වූ රෝහණ කීර්ති දිසානායක මහතා එදා නිවාස 20ක් හානි වන විට රු. 15,000ක දීමනාවක් ගෙවීම ඇරැඹුවා. එය අනතුරු රහිත ප්‍රදේශවල විපතට පත් වූ පිරිස් ස්වේච්ඡාවෙන්ම පදිංචිවීමට හේතු වුණා. නමුත් මෑත භාගයේ දී නිවාස කුලිය එම මට්ටමේම පැවැතීමත්, නිසි වේලාවට නිවාස කුලී නොගෙවීම නිසා මේ වන විට ඇල්ල - බණ්ඩාරවෙල ප්‍රදේශවල දැවැන්ත ගැටලු මතුව තිබෙනවා.

ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍ර‍ය පවසන්නේ නිවාස 1600කින් මිනිසුන් ඉවත් කිරීමට සිදු වන්නේ නම්, ඔවුන් කඳවුරුගත කිරීමෙන් තොර අභිමානවත් මිනිසකු ලෙස ජීවත්වීමට සුදුසු නිවසක් ලබා දිය යුතුව ඇති බවයි. එවිට ඔවුන් මේ අවදානම් කලාපයෙන් බැහැරට ගොස් දිවි ගලවා ගනු ඇති. එය ඔවුන්ගේ ජීවිත සුරක්ෂිත කිරීමක්. නිවාසවලින් ඉවත්වීමට දැනුම් දී මාස 6කට පසුව සිවිල් සංවිධාන වෙතින් එල්ල වූ පීඩනය හේතුවෙන් නිවාස 40කට පමණ වන්දි ගෙවනු ලැබූ බව නැවත සිහි කළ යුතුයි. රජයේ නිල නිවාස අලුත්වැඩියා කිරීමේ යෝජනාවට මාස 7ක් ගත වී ති්බෙනවා. පළාත් සභාවෙන් ලබා දුන් නිවාස 3 හැර එකම නිවාසයක් හෝ තවමත් ජනතාවට ලැබී නෑ.

මේ සඳහා වන අරමුදල්, කොන්ත්‍රත් සමාගම විසින් අය කරගැනීමේ පහසුව තිබෙනවා. ඒ අනුව මේ මුදල් වැය වන්නේ ලංකා රජය විසින් දැනටමත් වෙන් කර දී ඇති මුදලින්. අනෙක් අතට මේ මුදල් ප්‍ර‍තිරක්ෂණ සමාගම් හරහා නැවත ලබාගැනීමට කොන්ත්‍රාත් සමාගමට හැකියාව තිබෙනවා. උමා ඔය ව්‍යාපෘතියේ ඇස්තමේන්තුව ඩොලර් මිලිනය 300 සිට 512 දක්වා වැඩි කිරීමට අවස්ථානෝචිතව කටයුතු කළ රාජ්‍ය යාන්ත්‍ර‍ණය ඒ හා සමාන කාර්යක්ෂමතාවකින් මේ විනාශකාරී ව්‍යාපෘතියෙන් එපා යැයි කියු මිනිසුන් මහ මඟට වැටුණු පසුව ඔවුන්ට සාධාරණ නිවාස කුලියක් ලබාදීමට කටයුතු කළ යුතුව තිබෙනවා. එසේ නොවන්නේ නම් එය මුලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝණය කිරීමක්. පානීය ජලය ලබාගැනීමට, වගා සහන ලබාගැනීමට ඉහළ ඌවේ ජනතාවට අධිකරණයේ පිහිට පැතීමට (නඩු අංක එස්.සී. එෆ්ආර් 273/15) සිදු වුණා. නමුත් උපරිමාධිකරණය විසින් ලබා දුන් නඩු තීන්දුවට අනුව යමින් හෝ අද දක්වාම සවි කළ ජල නලවල ජලය නෑ. වැලිමඩ, හාලිඇල, ඌවපරණගම ජනතාවට වගා සහන නෑ. බණ්ඩාරවෙල, ඇල්ල, වැලිමඩ, හාලිඇල සහ උමා ඔය ව්‍යසනයේ බලපෑමට යටත් වී ඇති අනෙකුත් ප්‍රදේශවල නිවාසවලින් ඉවත් කරනු ලබන පවුල් සඳහා අවම වශයෙන් රු. 30,000ක උපරිමයකට යටත්ව නිවාස කුලී ලබාදීමේ වැඩසටහනක් සකස් කරන්න."

මේ සම්බන්ධයෙන් බදුල්ල දිස්ත්‍රික්ක අතිරේක ලේකම් ගාමිණි මහින්ද පාල මහතාගෙන් සිදු කළ විමසුමක දී පැවැසුවේ මේ සම්බන්ධව සාකච්ඡාවක් පසුගිය දා (31) ඇමැති මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක් පැවැති අතර එහි දී මේ කුලි ප්‍රමාණය ගෙවීම වැඩි කිරීම ගැන තීරණයක් ගැනීමට තක්සේරු දෙපාර්තමේන්තුවට පවරා වත්මන් තත්ත්වය ගැන තක්සේරු කොට කුලි දීමනාව ලබාදීමට පියවර ගන්නා බවයි. 

නව අදහස දක්වන්න