අනුරාධපුරට අංග සම්පුර්ණ හදිසි අනතුරු ඒකකයක් | දිනමිණ

අනුරාධපුරට අංග සම්පුර්ණ හදිසි අනතුරු ඒකකයක්

අනුරාධපුර ශික්ෂණ රෝහලට බලවත් අඩුපාඩුවක් ව තිබු හදිසි අනතුරු ප්‍රතිකාර ඒකකයක් ලබා දීමට රජය විසින් පියවර ගනී. 
 
හදිසි අනතුරු වලින් සිදු වන මරණ හා එවැනි අනතුරු නිසා අබාධිතයින් වීම වළක්වා ලීම පිණිස මෙම නව වෛද්‍ය ප්‍රතිකාර ඒකකය ඉදි කිරීමට පියවර ගෙන ඇතැයි අනුරාධපුර ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ලයනල් මොහන්දිරම් මහතා දිනමිණට පැවසීය.
 
ඉදිරි සති කීපය තුළ මෙම සිව් මහල් හදිසි අනතුරු ප්‍රතිකාර ඒකකයට අයත් ගොඩනැගිලි සංකීරණය ඉදි කිරීමේ කටයුතු සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය ආමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වන බවද ඔහු සදහන් කළේය.
 
මෙම රෝහල් ව්‍යාපෘතිය හා ඒ සදහා වන රු. මිලියන 370 ක ඇස්තමේන්තුව පසුගිය දා ආමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.
 
නව ප්‍රතිකාර ඒකකය පිළිබදව විස්තර කල වෛද්‍ය මොහන්දිරම් මහතා ප්‍රථම අදියර යටතේ පළමු වන සහ දෙවන මහත් ඉදි වන බවද පළමු වන මහළ  හදිසි අනතුරැ නිසා විපතට පත් වන පුද්ගලයින් කෙටි කාලීනව රදවා තැබිමේ ඇදන් 29 කින් සමන්විත වාට්ටුවක් වන අතර දෙවන මහත තුළ ඇදන් 29 බැගින් ස්ත්‍රි පුරුෂ දෙපක්ෂය සදහා වෙන් වන වාට්ටු දෙකක් ඉදි වේ.
 
මීට අමතරව සියලු නවීන පහසුකම් වලින් සමන්විත ශල්‍යාගාරයකින් සහ එක්ස් කිරණ ඒකකයක් ඇතුලු වෛද්‍ය පරීක්ෂණ සහ සායනික සේවා වලින් යුක්තය.
 
2018 වසර නිම වීමට පෙර මෙම සිව් මහල් ගොඩනැගිලි සංකීරණයේ වැඩ නිම කිරීමට අපේක්ෂිත බවද රෝහල් අධ්‍යක්ෂවරයා පැවසීය.
 
උතුරු මැද පලාත තුල වෙසක් , පොසොන් , ඇසල වැනි ආගමික උත්සව වලට සහ පිච්ච මල්, නෙලුම් වල් සහ දාස්පෙතියා මල් පූජාවන් සදහා වසර පුරා ලක්ෂ ගණනින් ජනතාව සහභාගී වන බවද එමෙන්ම සංචාරක කර්මාන්තය ද දියුණු වෙමින් ඇති නිසා රථ වාහන හදිසි  අනතුරු ඇතුලු වර්ධනයක් පසුගිය කාලය තුල නිරීක්ෂණය කර ඇති බවද ඔහු පෙන්වා දුන්නේය.
 
(නිමල් විජේසිංහ)

නව අදහස දක්වන්න